
අක්කරෙයිපත්තු මුස්ලිම් ජාතික පාසලේ 80 වැනි සංවත්සර සැමරුමට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළේ දරුවෙකුගේ මූලික අයිතිවාසිකම වන්නේ හුදෙක් පාසලකට හෝ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීම පමණක් නොව සුදුසු පරිසරයක් තුළ ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීම බවයි. එබැවින් වසර 13ක අනිවාර්ය පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කිරීම තහවුරු කිරීමටත්, විශේෂයෙන්ම ඉහළ පන්තිවල දරුවන් පාසල් යැවීමටත් දෙමව්පියන් වගකීමෙන් කටයුතු කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවලට එළඹෙත්ම දරුවන් පාසල් යාම අතහැරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින්, අධ්‍යාපනයේ මූලික අරමුණ විභාග සමත්වීමට එහා ගිය හොඳ ජීවන කුසලතා, සමාජීය හැකියාවන් සහ යහපත් ආකල්ප දරුවා තුළ වර්ධනය කිරීම බව ඇය මෙහිදී අවධාරණය කළාය.
සෑම දරුවෙකුටම තමන්ගේ සිහින සැබෑ කරගත හැකි ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම රජයේ වගකීමක් ලෙස සලකමින්, ශ්‍රී ලංකා ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ ඉහළම ප්රතිපාදනය වන රුපියල් බිලියන 749ක මුදලක් 2027 අයවැය මගින් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍යවරිය අනාවරණය කළාය. මෙම මුළු මුදලින් රුපියල් බිලියන 562.4ක්ම වෙන් කර ඇත්තේ පාසල් අධ්‍යාපනය නැංවීම උදෙසාය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026දී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය මාලාව 2027 වන විට දෙවන සහ හයවන වසර දක්වා ව්‍යාප්ත කිරීමට නියමිත අතර, දරුවන්ට නව විෂයන්, තාක්ෂණය මෙන්ම පාසල තුළදීම වෘත්තීය පුහුණුව ලබාගැනීමට අවශ්‍ය වටපිටාව මේ වන විටත් සකස් කරමින් පවතින බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
