ආසියාවේ ප්‍රමුඛ මානව හිමිකම් ආරක්ෂක සහ නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතාගේ අභාවය පිළිබඳ අනුස්මරණ සටහන


ආසියාවේ ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ආරක්ෂකයකු සහ නීතිඥවරයකු වූ අභාවප්‍රාප්ත බැසිල් ප්‍රනාන්දු මහතාගේ අභාවය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු.

බැසිල් ප්‍රනාන්දු මහතා දශක දෙකකට පෙර සිට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය පිහිටුවීම සහ ශක්තිමත් කිරීම සඳහා අතිමහත් දායකත්වයක් සැපයූ නායකයකු බව කෘතගුණ පූර්වකව ප්‍රකාශ කරන්නෙමු.

ආසියාව පුරා කෲර සහ වධහිංසාවට එරෙහිව දැවැන්ත ව්‍යාපාරයක් ගෙන ගිය ඔහුගේ ‘හදිසි ප්‍රතිචාර ආයාචනා’ (Urgent Appeals) සැමගේ අතිමහත් ගෞරවයට පාත්‍ර විය.

පීඩිතයන්ගේ අයිතිවාසිකම් මෙන්ම, ඔවුන්ගේ දැනුම හා අවබෝධය ඉහල දැමීම සදහා ජන පාසැල් සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීමට ද බැසිල් ප්‍රනාන්දු මහතා කටයුතු කළේය.

1989 වසරේ සිට හොංකොං දේශයේ ජීවත් වූ එතුමා, මානව හිමිකම් ආරක්ෂකයන් සහ නීතිඥවරුන් පුහුණු කිරීමටත්, සමාජය දැනුම්වත් කිරීමටත් සුවිශාල වැඩ කොටසක් ඉටු කළේය. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව තුළ සිදුවූ ක්‍රෑර හා අමානුෂික වධහිංසන නඩු විශාල සංඛ්‍යාවකට ඔහු සහාය ලබා දුන්නේය.

පසුගිය වසර 35කට අධික කාලය තුළ ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ මානව හිමිකම් සම්බන්ධයෙන් ආසියාවේ මෙන්ම ලෝකයේ ද ඔහු කළ බලපෑම සුළුපටු නොවේ. දකුණු කොරියාවේ මෙන්ම ආසියාවේ වෙනත් රටවල ද එතුමාට විශාල පිළිගැනීමක් හිමි වී තිබුණි.

බැසිල් ප්‍රනාන්දු මහතා මුළුමහත් ලෝකයටම දායාද කළේ මානව හිමිකම් සහ ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් පිළිබඳ ඔහු තුළ වූ නො සැලෙන කැපවීමයි. කිසිදා වෙනස් නොවූ ඒ සුවිශේෂී කැපවීම අනාගත පරපුරට ද මහඟු ආදර්ශයකි.

කවියකු, ලේඛකයකු, දේශකවරයකු සහ පුහුණුකරුවකු ලෙස ද ඔහු සමාජයට විශාල දායකත්වයක් සපයා ඇත.

මානව අයිතිවාසිකම් වෙනුවෙන් ජීවිත කාලය පුරාවටම හඬ නැගූ ඒ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියාට අපගේ උත්තමාචාරය හිමි වේවා!

– රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය

Social Sharing
අවකාශය පුවත්