
ශ්‍රී ලංකාවට නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දුන් ගුණවතාණෙනි, සුබ උපන්දිනයක් වේවා
අප රටේ ඉහළම ජාතික සම්මානය වන ‘ශ්‍රී ලංකාභිමානී’ ගෞරව නාමයට ද සම්මානයක් වූ පුරවැසියෙක් ලෙස කරු ජයසූරිය මහතා අද (29) සිය උපන් දිනය සමරන්නේය.
මෑත කාලයේ වසර ගණනාවක තිස්සේ ඔහු සිය උපන් දිනය යොදා ගත් පරිදිම මෙවර ද ගතකරන්නේ යාපනයේ දෙමළ දරු දැරියන් අතර ඔවුන්ගේ බුහුමන් මැද ය. උතුරේ තරුණ පිරිස වෙත සිංහල භාෂා දැනුම ප්‍රගුණ කරවීමේ ඔහුගේ වෑයම හේතුවෙන් දැනුම ලද සිය ගණනාවක් වූ සිසු පිරිසක් අතර සතුටින් හා සැහැල්ලුවෙන් ජයසූරිය මහතා ගෙවන අද දවස මෙරටේ සාධුජන සමූහය තුළ ද ප්‍රසාදය ජනිත කරවන්නේ කරු ජයසූරිය භූමිකාව රටේ යහපත වෙනුවෙන් සිදුකර ඇත්තා වූ මැදිහත්වීම සිහිපත් කරමිනි. යාපනයේ දරුවන්ට සිංහල භාෂාව මෙන්ම දකුණේ දරුවන්ට දමිළ බස ඉගෙනුම සඳහා ගම්පහ ප්‍රදේශයේ සූර්ය පදනම ආයතන පවත්වාගෙන යනු ලබන්නේ ද ජාතික සමඟිය උදෙසා පාළම් බඳින්නටය.
‘කරු ජයසූරිය’ යනු වචනයේ පරිසමාප්ත අරුතින්ම ප්‍රජාතන්ත්‍රවාදියෙකි. ප්රජාතන්ත්රවාදය ඉංග්‍රීසි බසින් Democracy ලෙස හැඳින්වේ. එය ග්‍රීක බසින් බිඳී ආ වචනයකි. ග්‍රීක භාෂාවෙන් ‘demos’ යනු ජනතාවය. ක්රසි යන්නෙන් කියවෙන්නේ බලය හෝ පාලනය යන්නය. ඔහු පුරවැසියෙකු ලෙස විශ්වාස කරන හා ගරු කරන ජනතා බලය දේශපාලනඥයෙකු ලෙස අභ්‍යාස කරන ලද්දේ ජනතා කැමත්ත මත පදනම් වෙමිනි. ඒ අනුව ඔහු මේ රටේ ජනතාව මැනවින් හඳුනාගත් ඔහුගේ දේශපාලන භූමිකාව ප්‍රථමයෙන් විමසා බැලීම වැදගත් ය.
ඔහු මුලින්ම දේශපාලන කේෂ්ත්‍රයට යොමු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබමිනි. එසේ පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වී ඉතා කෙටි කාලයකින් පසු ඔහු විසින් කරන ලද ආරාධනය හේතුවෙනි. ඒ 1994 වසරේදීය. පක්ෂ සාමාජිකත්වය ලබා වසරක් ගතවීමටත් පෙර එම පක්ෂයේ සභාපති ධුරයට කරු ඔසවා තබන්නේ සියලු සාමාජිකයන් විසින් ඒකමතිකව ගනු ලැබූ තීන්දුවකිනි. එයිනුත් වසරක් ඉක්මවීමට පෙර පොදු ජන වරමින් ඔහු කොළඹ නගරාධිපති ලෙස තෝරා පත්කර ගනු ලැබීය. වසර දෙකකට ආසන්න කාලයක් නගරාධිපති ලෙස කටයුතු කළ එම කාලය මෑත ඉතිහාසයේ කොළඹ නගර සභා පාලනයේ ස්වර්ණම යුගය ලෙස සටහන් වී තිබේ.
අනතුරුව 1999 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීමකට අනුව පළාත් සභා මැතිවරණයේදී බස්නාහිර පළාත් සභාවට තරඟ වැදුණු කරු පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කෙටි කලක් කටයුතු කරන ලදී. ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට පත්වූ හෙතෙම 2001 වසරේ පැවැත්වූ මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. එදා බලයට පත්වූ එක්සත් ජාතික පෙරමුණ රජයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වූ කරු ජයසූරිය මහතාට ජයගත යුතුව තිබූ ප්‍රථම හා දැවන්තම අභියෝගය වූවේ ඒ වනවිට රට මුහුණ දී සිටි බලපතළ විදුලි අර්බුදයට විසඳුම් ලබාදීමය. ඔහු එහිදී රටට ලබාදුන් ප්‍රතිඥාව වූවේ රටපුරා පවත්නා විදුලි කප්පාදුව දින 180ක් ඇතුළත අවසන් කරන බවය. පොරොන්දු වූ පරිදි දින 180 ක් පවා කල්ගත නොකර දින 150 ක් ඇතුළත රට වෙලාගෙන පැවැති දැවැන්ත අර්බුදයට සාර්ථකව විසඳුම් ලබාදුන් කරු එදා රටටම ප්‍රදර්ශනය කරන ලද්දේ ඔහු සතුව නිසර්ඝයෙන්ම පවත්නා ඉහළම මට්ටමේ කළමනාකරණ කුසලතාවයයි.
මේ රටේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම සමාගම් 52ක සභාපති සහ කළමණාකරණ අධ්යක්ෂ තනතුරු සහ තානාපති පදවි හොබවමින් රටේ ආර්ථික ක්ෂේත්රයට දැවැන්ත ශක්තියක් ලබා දෙමින් විදේශ සබඳතා හැසිරවීම පිළිබඳව ලබාගත් අත්දැකීම් තුළ කරු ජයසූරිය සතු මහා ශක්තිය තුළින් රට ඔහුගෙන් සැබෑ සේවයක් ලබාගත්තේ ද යන්න අනාගතය විසින් විනිශ්චය කරනු ඇත. එහෙත් ඔහු වෙත පැවරුණ සෑම වගකීමකදීම ඔහු කළ හැකි උපරිමය රට වෙනුවෙන් කර ඇත්තේ කිසිදු ලාබ හෝ වෙනත් තනතුරු අපේක්ෂාවලින් තොරවය. අද පවා තම ජීවිතයේ වැඩිම කාලයක් කැපකමින් සිදුකරන නිහඬ සේවය එයට මනා නිදසුන් ය. තම කැපකිරීම් බලය සඳහා වන අරමුණකින් නොව රටේ හා පොදු සමාජයේ යහපත උදෙසා වන බවට ඔහුගේ හෘද සාක්ෂිය ඔහුගේ සිතට මහත් සාමයක් ගෙන දෙන බව ඔහුගේ වර්තමාන දිවි පැවැත්ම තුළම රටට ප්රත්යක්ෂ කරමින් සිටී. එතුමාගේ චරිතයේ විනයගරුක පරිචයට වසර 07 ක හමුදා සේවයෙන් ලද පන්නරය හේතුවෙන් වන්නට ඇත.
කරු ජයසූරිය මහතා සිය ජීවිත කාලය පුරා ප්‍රකට කරමින් සිටින සරල, සැහැල්ලු හා අනතිමානී ජීවන ප්‍රතිපදාව තුළම අභිමානවත් මහා පෞරුෂයක් ප්‍රදර්ශනය කරන්නෙකි. පසුකාලයක මේ රටේ ස්වදේශ කටයුතු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස කරයුතු කරත්දී ග්‍රාම නිළලධාරීන් බඳවා ගැනීමේදී තරග විභාග ලකුණු අනුපිළිවෙළ පසකලා පාක්ෂිකත්වයට ප්‍රමුඛත්වය දෙන ලෙසට ආ බලපෑම් හමුවේ ප්‍රකට කළ අදීන බව තුළ මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ලෙස කටයුතු කරද්දී 2018 වසරේදී ජීවිත තර්ජන නොතකා පාර්ලිමේන්තුව තුළ ප්රජාතන්ත්රවාදය රැකගැනීම උදෙසා දේශපාලන මැර බලයට එරෙහිව සිදුකළ අභීත පෙනී සිටීම මඟින් ඒ බව මැනවින් තහවුරු කර ඇත.
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන චරිත විවරණය කරත්දී කරු ජයසූරිය භූමිකාව රටට වැදගත් වන්නේ පිරිසිදු නව දේශපාලන සංස්කෘතියක් උදෙසා ඔහු ලබා දී ඇති දායකත්වය හා ඒ සඳහා සිදුකර ඇති මැදිහත්වීමය. 1999 වයඹ පළාත් සභා මැතිවරණය දක්වා පැවති සෑම මැතිවරණයක්ම දූෂිත ප්‍රචණ්ඩත්වයෙන් පිරී පැවති ආකාරය රටම දැකගනු ලැබීය. ඡන්ද පොළට කඩා වැදී බලහත්කාරයෙන් ඡන්දය පාවිච්චි කිරීම, ඡන්ද නියෝජිතයින් බලහත්කාරයෙන් පැහැරගැනීම ආදී විවිධ දූෂණයන් ඒ තුළ පිරී තිබිණි. සමහර අපේක්ෂකයින්ට ප්රචාරක කටයුතු සිදු කිරීමටත් බාධා පමුණුවනු ලැබිණි.
එවැනි ත්ත්වයක් යළි උදා නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ජාතික අවශ්‍යතාවයක් විය. එහිදී ජනතාව අතරින් මතුවූ ඉල්ලීම්වලට ද කන් දෙමින් එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා සිවිල් සමාජයේ නියෝජිතයින් හා සර්ව ආගමික පැවිදි නියෝජිතයින්ගෙන් සමන්විත පුරවැසි කමිටුවක් පත් කරන ලදි. එහි සභාපතිත්වය දැරුවේ එකල කොළඹ නගරාධිපතිවරයා වූ කරු ජයසූරිය මහතා ය. ලේකම්වරයා වශයෙන් කටයුතු කරන ලද්දේ හිටපු ජනාධිපති ලේකම් කේ.ජේ.එච් විජේදාස මහතාය. විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ දායකත්වය සහිතව එල්මෝ පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුත් විද්වත් කමිටුව සිදුකළ යෝජනා රටේ වැදගත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට පදනම සැකසීය. ජනතා විමුක්ති පෙරමුණ ද දායක වූ 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීම එහි එක් වැදගත් ජයග්‍රහණයක් විය.
17 වන සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස ස්වාධීන කොමිෂන් සභා, ව්‍යවස්ථාදායක සභාව වැනි වටිනා ආයතන ඒ තුළ බිහිවිණි. ලංකාවේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් ගෙන ඒමට හැකි වූයේ මෙම වැදගත් නීති – රීති ක්‍රියාත්මක වීමත්, එමෙන්ම රාජ්‍යතන්ත්‍රයට, නීත්‍යානුකූල පරිපාලනයට ස්වාධීනව සේවා ලබා දීමට ශක්තිය ලැබිණි. ඒ සෑම කටයුත්තකදීම කරු ජසූරිය භූමිකාව අතිශයින්ම වැදගත් විය.
අද වන විට යථාර්තයක් වී තිබෙන තොරතුරු දැනගැනීමේ පනත ජයග්‍රහණය කර ගැනීම උදෙසා කරු ජයසූරිය මහතා ගෙනගි ය සටන ද තවත් එවැන්නකි. ඒ සඳහා වූ ප්රයත්නය 2003 වර්ෂයේ ආරම්භ කළත් එදා පැවති රජයන්ගෙන් ඊට සහායක් නොලැබුණු බැවින් අවසානයේ එය කරළියට පැමිණියේ කරු ජයසූරිය මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙනි. ඒ සඳහා සිදුකල අනවරත මැදිහත්වීම්හි ප්‍රතිථලයක් ලෙස 2016 වසරේදී එය ද ජයග්‍රහණය කරලීය.
කොළඹ නගරාධිපති මැතිවරණයෙන් පසුව ඔහු කිසි දිනක පෝස්ටර්, බැනර්, කටවුට් හා පොලිතීන් පාවිච්චි නොකළේය. සිය දේශපාලන ප්‍රතිවාදින් විවේචනය කිරීම වෙනුවට ඔවුන් සමග සාමයෙන් හා සහයෝගයෙන් කටයුතු කළේය. තමන් වෙනුවෙන් රැස්වීම් පැවැත්වීම වෙනුවට සෑම නිවසකටම සිය ප්‍රතිපත්ති ප්රකාශනය තැපැල් මගින් හෝ අතින් බෙදා හැරීම සිදු කෙරිණ. පාර්ලිමේන්තුවෙන් සැපයෙන මුද්දර වෙනුවට සිය මුදලින් මිලදී ගත් මිලදීගත් මුද්දර මෙහිදී භාවිතාා කෙරිණි.
එපමණක් නොව ව්‍යවස්ථාදායක සභාවේ අරුතට නිසි ගරුත්වයක් ලබාදීමට සර්ව පාක්ෂික දායකත්වය සහතික කරමින් හඳුන්වා දුන් ‘ආංශික අධීක්ෂණ සභා’ පාර්ලිමේන්තුව තුළ ස්ථාවර කරගැනීම සඳහා ද ජාතික හා ආගමික සංහිදියාව තහවරු කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ වගකීම සනිටුහන් කරමින් වැදගත් යෝජනා 24කින් සමන්විත “දියවන්නා ප්‍රකාශය” නමින් වූ එකඟතා ගිවිසුමකට එළඹීම ද කරු ජයසූරිය මහතා කතානායක ධුරය දැරූ සමයේදී ලබා දුන් වැදගත් දායකත්වයන් ය.
අද වන විට පක්ෂ දේශපාලනයෙන් සපුරාම බැහැරව නිදහස් පුරවැසියෙක් ලෙස කරු ජයසූරිය මහතා සිය පූර්ණ කාලීන දායකත්වය ලබා දෙමින් සිටින්නේ රටේ මතු යහපත පිණිස වන ව්යායාමයන්ටය. බල දේශපාලන ක්‍රියාකාරකම්හි යෙදුණ කාලයේ තරමටම අද ද කාර්ය බහුලව සංවිධාන ගණනාවකට හෙතෙම නායකත්වය ලබා දෙන්නේ කුමන හෝ ආකාරයක ලාභ අපේක්ෂාවන්ගෙන් තොරවය. එවැන්නෝ ලොව ඉතා දුලබය.
