
යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම සහ එහි කටයුතු අවසන් කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට යුරෝපීය කොමිසම විසින් එම ගිවිසුම යුරෝපා සංගමයේ කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබේ.
යුරෝපා සංගමයේ කවුන්සිලයේ අනුමැතිය හිමිවුවහොත්, මෙම ගිවිසුම දෙපාර්ශ්වය අතර මෙතෙක් ඇතිකරගැනීමට යන විශාලතම වෙළෙඳ ගිවිසුම බවට පත්වනු ඇතැයි යුරෝපීය කොමිසම සඳහන් කරයි.
යෝජිත ගිවිසුම යටතේ යුරෝපා සංගමය ඉන්දියාවට අපනයනය කරන භාණ්ඩවලින් 96%කට අදාළ තීරුබදු ඉවත් කිරීම හෝ සැලකිය යුතු ලෙස අඩු කිරීම සිදු කිරීමට නියමිතය. ඒ හරහා යුරෝපීය ව්‍යාපාරවලට වාර්ෂිකව යුරෝ බිලියන 4ක පමණ තීරුබදු වියදම් ඉතිරි කරගැනීමට හැකිවනු ඇතැයි යුරෝපීය කොමිසම පෙන්වා දෙයි.
මේ වන විටත් යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර වාර්ෂිකව යුරෝ බිලියන 180කට වැඩි භාණ්ඩ හා සේවා වෙළෙඳ ගනුදෙනු සිදුවන අතර, එම වෙළෙඳ සබඳතා හරහා යුරෝපයේ රැකියා අවස්ථා 800,000කට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය වී ඇති බවද වාර්තා වේ.
ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් පසු යුරෝපීය සමාගම් සඳහා ඉන්දීය වෙළෙඳපොළ තුළ ව්‍යාපාර කටයුතු කිරීමට වැඩි අවස්ථා හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් ඉන්දීය වෙළෙඳපොළට එක්වීම හරහා පාරිභෝගිකයන්ට වැඩි තේරීම් අවස්ථා මෙන්ම තරගකාරී මිල ගණන් යටතේ භාණ්ඩ ලබාගැනීමේ අවස්ථාවද පුළුල් වනු ඇතැයි යුරෝපීය කොමිසම සඳහන් කර තිබේ.
