
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරය ඉකුත් 07 වන දා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය.
එහි දෙවැනි දිනය වූ ඊයේ (08) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කර ඇති පිටු 16කින් සමන්විත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ යාවත්කාලීන වාර්තාව කවුන්සිලය වෙත ඉදිරිපත් කෙරිණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීම, එම පනත යටතේ දිගුකාලීනව රඳවා සිටින පුද්ගලයන් නිදහස් කිරීම, හමුදාව යටතේ පවතින උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් නිදහස් කිරීම ඇතුළු නිර්දේශ කිහිපයක් වාර්තාවට ඇතුළත් කර තිබේ.
එමෙන්ම අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය, ධුරයේ ස්ථාවරත්වය සහ අධිකරණයේ සංයුතිය දේශපාලන බලපෑම්වලින් තොරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද වාර්තාවේ අවධානය යොමු කර ඇත.
ශ්‍රී ලංකාවේ ණය බර මානව හිමිකම් ගැටලුවක්
වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජ්‍ය මහකොමසාරිස් ආවා ඩාබෝ මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාව බරපතළ ගැටලු රැසකට මුහුණ දෙමින් සිටින බවයි.
ශ්‍රී ලංකාවේ ණය බර සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇය පෙන්වා දුන්නේ 2026 අයවැයට අනුව රජයේ ආදායමෙන් සියයට 82ක් පමණ ණය ගෙවීම සඳහා වෙන් කර ඇති බවත්, එය සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණය සඳහා වෙන් කරන මුළු මුදල මෙන් දෙගුණයකට ආසන්න බවත්ය.
එය හුදෙක් ආර්ථික ගැටලුවක් නොව මානව හිමිකම් ගැටලුවක් ද වන බව ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකාවට කඩිනමින් සංවර්ධන සහාය අවශ්‍ය බවත්, රට තුළ වෙනසක් ඇති කිරීම සඳහා මීට වසර දෙකකට පෙර උදාවූ අවස්ථාව තවමත් පවතින බවත් ඇය ප්‍රකාශ කළාය.
සැබෑ වගවීමක් සහ ජාතික සංහිඳියාවක් ඇති කිරීම සඳහා අවශ්‍ය නීතිමය හා ආයතනික ප්‍රතිසංස්කරණවලට සහාය වීමට සිය කාර්යාලය ඕනෑම අවස්ථාවක සූදානම් බවද ආවා ඩාබෝ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
ශ්‍රී ලංකාවෙන් වාර්තාවට ප්‍රතිචාර
මේ අතර, අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද ඊයේ (08) ප්‍රතිචාර දක්වා තිබේ.
ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා විසින් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඉදිරිපත් කරමින් සඳහන් කළේ බාහිර සාක්ෂි සෙවීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවයි.
පසුගිය වසර තුළ සංහිඳියාව සහ මානව හිමිකම් තහවුරු කිරීම සඳහා රජය විවිධ පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර පාර්ශ්වවල උපදෙස් ලබාගනිමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර ඒ වෙනුවට නව පනතක් ගැසට් කර ඇති බවත්, එය ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් තානාපතිවරයා සඳහන් කළේය.
සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් රජයේ පියවර
මාර්ගගත සුරක්ෂිතතා පනතේ සංශෝධන කටයුතු අවසන් කර ඇති බවත්, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ ජාතික සහයෝගීතා හා සංහිඳියාව පිළිබඳ කාර්යාලය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් ශ්‍රී ලංකා නියෝජිතයා පැවසීය.
එමෙන්ම පවතින සත්‍ය සහ සංහිඳියා කොමිසමේ ක්රියාවලියද සංශෝධනයට ලක් කර ඇති බව ඔහු සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ නායකත්වයෙන් ස්වාධීන නීතිපති කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහාද රජය කටයුතු කරමින් සිටින බව තානාපතිවරයා ප්‍රකාශ කළේය.
උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් නිදහස් කිරීම, ඒවා තක්සේරු කිරීම සහ වන්දි ගෙවීම සම්බන්ධයෙන් අන්තර් අමාත්‍යාංශ කමිටුවක් පත් කර ඇති බවද ඔහු පැවසීය.
අධිකරණයේ ස්වාධීනත්වය පවත්වාගෙන යාමට මෙන්ම ජනතාවට නීතියට ප්‍රවේශ වීම පහසු කිරීම සඳහා රජය බැඳී සිටින බවත් ඔහු අවධාරණය කළේය.
සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙන එන නව නීති ප්‍රතිපාදනවල අරමුණ අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාද වීම වැළැක්වීම බවද ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
