
වැල්ලවත්ත වෙරළ තීරයේ අනවසර ඉදි කිරීම් කඩා ඉවත් කරන්නැයි ජනාධිපතිතුමාගෙන් වෙරළ සංරක්ෂණ අධ්යක්ෂ ජෙනරාල්වරයාට නියෝගයක් ලැබී තිබේ.
නියෝගය තදට ලැබුණද, එය ක්‍රියාත්මක කරන්නට ගිය විට මොරටුව කාර්යාලයේ නිලධාරීන්ට සිදු වී ඇත්තේ පඹ ගාලක පැටලුණු නරියාට සිදු වූ දේමය.
වසර ගණනාවක් තිස්සේ ‘අත යටින්’ සහ අවිධිමත් ලෙස පිරිනමා ඇති බලපත්‍ර තොගයේ තරම දෙස බැලූ විට කාර්යාලයේ ලේඛන හුදෙක් කඩදාසි ගොඩක් පමණක් නොව, විසඳිය නොහැකි අභූත නාට්‍යයක පිටපතක් බවට පත් වී ඇත.
කොළවල ලියැවී ඇති දේ එකකි. වෙරළේ ඉදිකර ඇති දේ තව එකකි. බලපත්‍ර නිකුත් කිරීමෙන් පසු කිසිදු පසු විපරමක් සිදු කර නැති නිසා, ව්‍යාපාරිකයන් වෙරළ සීමාවන් පසුකරගෙන ගොස් මුහුදටත් බදු අයකිරීමට ආසන්න තත්ත්වයකට ඉදි කිරීම් ව්‍යාප්ත කරගෙන අවසන්ය.
දැන් ඉතින් කඩන්න ඕනේ මොනවාද ?, ඉතිරි කරන්න ඕනේ මොනවාද? කියා ලේඛනයක් හදාගැනීමට යෑම, හරියට අඳුරේ අතපත ගාමින් කළු පූසන් ඇල්ලීමටත් වඩා අමාරු කාර්යයක් වී ඇති බව, එහි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් කියැවේ. එදා ජනාධිපතිවරයා පැවසුවේ අනවසර ඉදිකිරීම් 26ක් හඳුනා ගෙන ඇති බවය. මේ වන විට එය 26 ක් නොව 87ක් වී ඇත.
මෙම අර්බුදය අස්සේ අධ්යක්ෂ ජෙනරාල්වරයා වන ටර්නි ප්‍රදීප් කුමාරට ඇත්තේ වෙනම ම මෙහෙයුමකි. තමන් වෙත එල්ල වී ඇති විවිධ චෝදනා, කළු පැල්ලම් සෝදා පවිත්‍ර කර ගැනීමටත්, ජනාධිපතිතුමා ඉදිරියේ ‘වැඩ පෙන්වා’ ලකුණු දමා ගැනීමටත් ඔහු මහත් වෙහෙසක් ගනිමින් සිටී.
නමුත්, පාමුල අඩිතාලම ම කුණු වී තිබියදී, නීති විරෝධී ඉදි කිරීම්වලට එරෙහිව මෙවැනි අවුල් සහගත පසුබිමක ක්‍රියාත්මක වන මෙහෙයුමක් සාර්ථක වුවහොත්, එය සැබවින්ම ‘වෙරළේ සිදුවූ අටවන ආශ්චර්යය’ ලෙස ඉතිහාසයට එකතු වෙනු නොඅනුමානය.
2026 සැප්තැම්බර් 10 දින News 1st වාර්තා කළේ බම්බලපිටිය Marine Drive සිට වැල්ලවත්ත වසල ඇළ දක්වා වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් 87ක් හඳුනාගෙන ඇති බවයි. ඒවා ඉවත් කිරීමට මේ මාසය තුළ පියවර ගන්නා බව පරිසර අමාත්‍යවරයා පවසා තිබේ. මෙම ප්‍රදේශය ආරක්ෂා කිරීමේ වගකීම වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට පැවරී ඇති බවද සඳහන් කර තිබේ.
වැල්ලවත්ත වෙරළේ ඉදිකිරීම් ඉවත් කිරීමේදී නීතිමය ගැටලුවක් දැනටමත් මතු වී ඇති බව මේ වන විට තහවුරු වී තිබේ.
ඉතා වැදගත් නව සිදුවීමක් මේ වනවිට සිදු වී තිබේ. එනම් අධිකරණය එක් අවන්හලක් ඉවත් කිරීම තාවකාලිකව නවතා තිබේ.
2026 සැප්තැම්බර් 9 දා වැල්ලවත්ත වෙරළේ Beach Wadiya Private Limited නම් අවන්හලක් කඩා ඉවත් කිරීම සඳහා වෙරළ සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ දැනුම්දීම ක්‍රියාත්මක කිරීම සැප්තැම්බර් 21 දක්වා අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් ලබා දී තිබේ.
මෙය ඉතා වැදගත් කරුණකි. මන්ද මෙයින් පෙනෙන්නේ “අනවසරයි කියා හඳුනාගත් සෑම ඉදිකිරීමක්ම කිසිදු නීතිමය ක්‍රියාවලියකින් තොරව කඩා දැමිය හැකිය” යන තත්ත්වයක් නොමැති බවයි.
අදාළ සමාගම එම ඉවත් කිරීමේ දැනුම්දීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන අතර, එම අවන්හල නීතිවිරෝධී ඉදිකිරීමක් නොවන බවට පෙත්සමෙන් කරුණු ඉදිරිපත් කර ඇති බව නීතිඥ පාර්ශ්වය සඳහන් කර තිබේ.
නමුත් මෙම අවන්හල නීත්‍යානුකූල බව අධිකරණය අවසන් වශයෙන් තවමත් තීන්දු කර නොමැත. දැනට තිබෙන්නේ ඉවත් කිරීමේ නියෝගය තාවකාලිකව ක්‍රියාත්මක කිරීම වැළැක්වූ අතුරු නියෝගයක් පමණය.
බලපත්‍ර තිබීම සම්බන්ධයෙන් නීතියේ තත්ත්වය…..

මෙහි තවත් වැදගත් කරුණක් තිබේ… වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව, Coast Conservation Act No. 57 of 1981 හි Section 14 යටතේ වෙරළ කලාපයේ development activity එකක් සිදු කිරීමට සාමාන්‍යයෙන් Director/Director General විසින් නිකුත් කරන permit එකක් අවශ්‍යය ය.
2024–2029 වෙරළබඩ කලාපය සහ වෙරළබඩ සම්පත් කළමනාකරණ සැලැස්මේ (Coastal Zone and Coastal Resource Management Plan) ද නිවාස, වාණිජ ගොඩනැගිලි, සංචාරක පහසුකම් ආදී විවිධ ඉදිකිරීම් සඳහා වෙරළ සංරක්ෂණ අධිකාරියේ අවසර අවශ්‍ය වන බව සඳහන් කරයි.
ඒ අනුව යම් ස්ථානයක “බලපත්‍රයක් තිබෙනවා” යන්න තනිවම ප්‍රමාණවත් ප්‍රශ්නයක් නොවේ. පරීක්ෂා කළ යුත්තේ, බලපත්‍රය නිකුත් කළේ කුමන ආයතනයද?
එය වෙරළ සංරක්ෂණ බලපත්‍රයක් ද? නිකුත් කළ දිනය කුමක්ද? එය කුමන ඉදිකිරීමටද? බලපත්‍රයේ කොන්දේසි මොනවාද? ඉදිකිරීම සිදුකර ඇත්තේ අනුමත සැලැස්මට අනුවද?
පසුව අමතර කොටස් එකතු කර තිබේද? බලපත්‍රය තවමත් වලංගුද? වෙරළ setback සීමාව උල්ලංඝනය කර තිබේද?
යන්නයි.
එතැනින් තවත් බරපතළ ප්‍රශ්නයක් මතුවෙනවා….
රාජ්‍ය ආයතනයක් බලපත්‍රයක් ලබා දී තිබුණත්, එම බලපත්‍රය නීතියට පටහැනිව ලබා දී තිබුණේ නම් කුමක්ද? එවිට ප්රශ්නය ඉදිකිරීම කළ පුද්ගලයා සම්බන්ධයෙන් පමණක් නොවේ.
“කවුද බලපත්‍රය දුන්නේ?” යන්නත් විමර්ශනය කළ යුතුය.
උදාහරණයක් ලෙස, වෙරළ සංරක්ෂණ නීතියට පටහැනි ස්ථානයකට කිසියම් නිලධාරියකු අවසර ලබා දී ඇත්නම්, එම අවසරය පසුව අවලංගු කිරීමේ හැකියාව සහ එය නිකුත් කළ ක්‍රියාවලියේ වගකීම වෙනම විමර්ශනය කළ යුතු කරුණු වේ.
ඒ නිසා “අනවසර ඉදිකිරීම් කඩා දමනවා” කියන ප්‍රකාශයට අමතරව, “එම අනවසර ඉදිකිරීම් වසර ගණනාවක් පැවතීමට ඉඩ දුන්නේ කවුද? බලපත්‍ර දුන්නේ කවුද? පරීක්ෂණ නොකළේ කවුද?” යන ප්‍රශ්නද ඇසිය යුතුයි.
රජයට නීතිමය උපදෙස් ලබාගෙන තිබෙනවා…
පරිසර අමාත්‍යවරයා සැප්තැම්බර් 5 දා සඳහන් කර තිබුණේ කොළඹ දිස්ත්‍රික් වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ ක්‍රියාවලිය සඳහා නීතිපතිවරයාගෙන් නීති උපදෙස් ලබාගෙන ඇති බවයි.
ඒ නිසා දැන් ඇති තත්ත්වය සරල “කඩා ඉවත් කිරීමේ මෙහෙයුමක්” නොවී නීත්‍යානුකූල අවසර, ඉවත් කිරීමේ බලය, අධිකරණ ක්‍රියාමාර්ග සහ රාජ්‍ය නිලධාරීන්ගේ පෙර තීරණ යන සියල්ල සම්බන්ධ ක්‍රියාවලියක් බව පෙනේ.
අල්ලස් ලබා ගැනීමෙන් හෝ වෙනත් ලාභාපේක්ෂාවන් වෙනුවෙන් අනවසර ඉදිකිරීම් වලට උදව් උපකාර කළ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ දූෂිත නිළධාරීන්, මේ වන විට “මං සුදනා” න්‍යායෙන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙමින් තිබේ.
විශේෂයෙන් වැල්ලවත්ත ඇතුළුව කළුතර දක්වා වෙරළ තීරයේ ඇති අනවසර ඉදිකිරීම් සඳහා, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මොරටුව ප්‍රාදේශීය කාර්යාලයේ වත්මන් ඉංජිනේරුවරයා මෙන්ම එහි සහකාර අධ්යක්ෂවරයා ඇතුළු දූෂිත නිළධාරීන් පිරිසක් විසින් උපකාර ලබා දී ඇති බව පැහැදිලිය.
ඒ නිසා “බලපත්‍ර දුන්නේ කවුද?” යන ප්රශ්නය මේ සිද්ධියේ ඉතා වැදගත්ම විමර්ශන ප්‍රශ්නයක් බවට පත් විය යුතු ය.
