මර්දන පනත් කා සඳහා ද?

“මර්දන පනත් කා සඳහා ද?” යන තේමාව යටතේ වදහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව, අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ, යුක්තිය උදෙසා පුරවැසියෝ සහ මානව හිමිකම් උදෙසා නීතිඥයෝ යන සංවිධාන ඒකාබද්ධව සංවිධානය කළ විශේෂ මාධ්‍ය හමුවක් අද (19) කොළඹ සන්ධාර පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ වදහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ කැඳවුම්කරු පිලිප් දිසානායක මහතා සඳහන් කළේ නව රජය බලයට පත්ව වසර දෙකක් ගතවන විට මර්දනකාරී පනත් දෙකක් සම්මත කරගෙන ඇති අතර තවත් පනත් දෙකක් සම්මත කිරීම සඳහා කෙටුම්පත් සකස් කරමින් සිටින බවයි.

වදහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ කැඳවුම්කරු පිලිප් දිසානායක මහතා

සිවිල් සංවිධාන ලෙස මේ වනවිටත් එම මර්දනකාරී පනත්වලට එරෙහිව විරෝධතාවක් ආරම්භ කර ඇති බව සඳහන් කළ ඔහු, මෙම පනත් හරහා සිවිල් සංවිධානවල ක්‍රියාකාරීත්වය සීමා කිරීමට ලක්වන බව පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත (VSSO පනත) හරහා සිවිල් සංවිධානවල ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීමේ අවදානමක් පවතින බවද ඔහු පැවසීය.

ජනවරමක් ලබා ගනිමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පැමිණි ආණ්ඩුව යටතේ 2025 වසරේදී පුද්ගලයන් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, 2026 වසරේ මාර්තු මාසය වනවිට තවත් පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය.

ඒ අනුව VSSO පනත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතේ සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බවද පිලිප් දිසානායක මහතා අවධාරණය කළේය.

ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු

වදහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ සාමාජිකා ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ 1978 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හඳුන්වා දුන් අවස්ථාවේ සිටම ඊට එරෙහිව කටයුතු කළ ක්‍රියාකාරීන් ලෙස එම පනත හරහා මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරය තමන් විසින් පෙන්වා දුන් බවයි. එම පනත මුල්වරට ක්‍රියාත්මක වූයේ 1980 වසරේ වැඩවර්ජනයක නිරත වූ පුද්ගලයන්ට එරෙහිව බවත්, පසුව එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ මූලික අවියක් බවට පත්වූ බවත් ඇය පැවසුවාය.

එම පනත හේතුවෙන් අනීතික රඳවා තබා ගැනීම් සහ අතුරුදහන් කිරීම් රැසක් සිදුවූ බව පෙන්වා දුන් ඇය, පනත තුළ ‘ත්‍රස්තවාදය’ යන්න ඉතා පුළුල් ලෙස අර්ථකථනය කර ඇති බවද සඳහන් කළාය. මෙරට ත්‍රස්තවාදය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ශ්‍රී ලංකාවේ සන්දර්භයට ගැළපෙන ආකාරයෙන් එය අර්ථ දැක්විය යුතු බවද ඇය අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවට PTA පනත හෝ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සම්බන්ධයෙන් තවත් සංශෝධන අවශ්‍ය නොවන බවත්, මෙම පනත් පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සීමා කරන නීති ලෙස ක්‍රියාත්මක වන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

එමෙන්ම ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතෙන් ඉවත් කළ සියලුම කරුණු සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට (OCPB) ඇතුළත් කර ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

මාධ්‍යවේදී කේ. සංජීව

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය නියෝජනය කරමින් අදහස් දැක්වූ මාධ්‍යවේදී කේ. සංජීව මහතා සඳහන් කළේ මෙම මර්දනකාරී පනත් දෙකට එරෙහිව විරෝධය පළ කරමින් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිටින කණ්ඩායමේ පුද්ගලයෙකුට ඉකුත් ඔක්තෝබර් මාසයේදී කොට්ටාව පොලිසිය විසින් පැහැරගෙන ගොස් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහැර ඇති බවද ඔහු අනාවරණය කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා මෙරට නීති පැවතියද පාස්කු ප්‍රහාරය සිදුවූ බව පෙන්වා දුන් ඔහු, ගැටලුව පවතින්නේ නීතිය තුළ නොව රාජ්‍යය සහ පොලිසිය ක්‍රියාත්මක වන ආකාරය තුළ බව සඳහන් කළේය.

මෙම මර්දනකාරී පනත් හරහා තොරතුරු දැනගැනීමේ අයිතියද සීමා වන බවත්, විශේෂයෙන්ම තමන් වැනි ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් අවදානමට ලක්වන බවත් ඔහු පැවසීය. ගවේෂණාත්මක මාධ්‍යවේදීන් තමන් සොයාගන්නා තොරතුරුවල මූලාශ්‍ර වෙනත් පාර්ශ්වයකට හෙළි කිරීමට බැඳී නොසිටින නමුත්, මෙම පනත් හරහා එවැනි මාධ්‍යවේදීන් පවා ත්‍රස්තවාදීන් ලෙස සැලකීමේ අවදානමක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.

නීතිඥ ප්‍රබෝධ රත්නායක

මානව හිමිකම් උදෙසා නීතිඥයෝ සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ නීතිඥ ප්‍රබෝධ රත්නායක මහතා සඳහන් කළේ එක් පනතකින් ඉවත් කළ කරුණු තවත් පනතකට ඇතුළත් කර ඇති බවයි.

අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් වදහිංසනයට මුහුණදෙන ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත්, වත්මන් රජය යටතේ එම තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇති බවත් ඔහු පැවසීය. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත හරහා පොලිසියට, වෙරළ ආරක්ෂක නිලධාරීන්ට සහ හමුදාවට අසීමිත බලතල හිමිවන අතර මහේස්ත්‍රාත්වරයාගේ බලය සීමා වන බවද ඔහු පෙන්වා දුන්නේය.

නීති සම්පාදනය වන ආකාරය මෙන්ම එම නීති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවද ආණ්ඩුවට මනා අවබෝධයක් පවතින පසුබිමක මෙවැනි පනත් දෙකක් ගෙන ඒම ගැටලුසහගත බව සඳහන් කළ ඔහු, මෙම පනත් හේතුවෙන් බන්ධනාගාර තදබදය තවදුරටත් ඉහළ යා හැකි බවද අනතුරු ඇඟවීය.

අමිතා ප්‍රියන්ති

යුක්තිය උදෙසා පුරවැසියෝ සංවිධානය නියෝජනය කරමින් අදහස් දැක්වූ අමිතා ප්‍රියන්ති මහත්මිය සඳහන් කළේ තම බාල සොහොයුරා මියගියේ අනීතිකව රඳවා තබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස බවයි.

මෙවැනි පනත් හරහා මහේස්ත්‍රාත්වරයාගේ බලය සීමා වී පොලිස් බලතල ඉහළ යාමක් සිදුවන බව පෙන්වා දුන් ඇය, මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණයකින් තොරව පුද්ගලයන් අනීතිකව රඳවා තබා ගැනීමට පොලිසියට සහ වෙරළ ආරක්ෂක නිලධාරීන්ට අසීමිත බලයක් හිමිවන බවද සඳහන් කළාය.

එමෙන්ම ඉකුත්දා හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය සැකකරුගේ මරණය සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ පොලිස් නිලධාරියා මීට වසර කිහිපයකට පෙරද මෙවැනිම චෝදනාවකට ලක්වූ අයෙකු බව ඇය පැවසුවාය. එම චෝදනාව සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නම් මෙවැනි සිදුවීමක් ඇති නොවීමට ඉඩ තිබූ බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

නීතිඥ ගයත්‍රි නවරත්න

මානව හිමිකම් උදෙසා නීතිඥයෝ සංවිධානය නියෝජනය කරමින් අදහස් දැක්වූ නීතිඥ ගයත්‍රි නවරත්න මහත්මිය සඳහන් කළේ අපරාධකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි. එවැනි අපරාධකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන පවතින නමුත්, මෙම නව පනත් හරහා මානව හිමිකම් උල්ලංඝනය වීමේ අවදානමක් පවතින බවද ඇය පෙන්වා දුන්නාය.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතෙන් ඉවත් කළ යුතු බවට තීරණය කළ කරුණු සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට නව මුහුණුවරකින් ඇතුළත් කර ඇති බවද ඇය පැවසුවාය.

මෙම පනත් හරහා පොලිසියට අසීමිත බලයක් හිමිවන අතර, පොලිස් නිලධාරියෙකු ඉදිරියේ සිදුකරන පාපොච්චාරණයක් සාක්ෂියක් ලෙස සැලකීමටද නව පනත මගින් ඉඩ සැලසෙන බව ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම මෙම පනත් හරහා ආන්තික සමාජ කණ්ඩායම් අවදානමට ලක්වන බවත්, විශේෂයෙන්ම කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමට ඉඩ සැලසීම හේතුවෙන් විශාල සමාජීය ගැටලු මතුවිය හැකි බවත් ඇය සඳහන් කළාය.

අවසානයේදී ඇය අවධාරණය කළේ “අපට අවශ්‍ය වන්නේ මානව හිමිකම් තහවුරු වූ ජාතික ආරක්ෂාවක්” බවයි.

නීතිඥ දුලාන් දසනායක

මානව හිමිකම් උදෙසා නීතිඥයෝ සංවිධානය නියෝජනය කරමින් අදහස් දැක්වූ නීතිඥ දුලාන් දසනායක මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ සියයට 42ක සුළුතර ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් වුවද, පසුව තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගත් ආණ්ඩුව තවදුරටත් බලය තහවුරු කර ගැනීම සඳහා මෙම පනත් ගෙන එන බවයි.

මේ වනවිට රටේ ජනප්‍රිය ගැටලු දෙකක් බවට පත්ව ඇති ත්‍රස්තවාදය සහ පාතාලය යන කරුණු පදනම් කරගනිමින් මෙම පනත් දෙක ගෙන එන බවත්, එමගින් සිවිල් අයිතිවාසිකම් සීමා වන බවත් ඔහු පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් සංවිධාන මෙම මර්දනකාරී පනත්වලට විරෝධය පළ කරන පසුබිමක, විශේෂයෙන්ම GSP+ සහනය ලබාගැනීම සම්බන්ධයෙන් ගැටලු මතුවිය හැකි බව රජය දන්නා බවත් ඒ නිසාවෙන් PTA පනත සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර වාර්තාවක් ලබාගෙන තිබියදීත්, එම වාර්තාවේ නිර්දේශ සැලකිල්ලට නොගෙන PSTA පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවට ඔහු චෝදනා කළේය.

පවතින PTA පනත යටතේ පුද්ගලයන් 10ත් 15ත් අතර පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන පසුව වරදකරුවන් නොවී නිදහස් වූ අවස්ථා පවතින බවත්, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවතින 54 වගන්තිය යටතේද පුද්ගලයන් අනීතිකව අත්අඩංගුවට ගැනීම් සිදුවන බවත් ඔහු සඳහන් කළේය.

එවැනි පසුබිමක පුද්ගලයන්ගේ ඇසුර, පෙනුම සහ විලාසිතා පදනම් කරගෙන අත්අඩංගුවට ගැනීම් සිදුකළහොත් විශාල පිරිසකට රැඳවුම් නියෝග නිකුත් වීමේ අවදානමක් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අවසානයේදී ඔහු අවධාරණය කළේ “මානව හිමිකම් සුරකින සමාජයක ත්‍රස්තවාදයක් නැහැ” යනුවෙනි.

  • චේතනා ගෝමිස් 

Social Sharing
අවකාශය නවතම