
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදහස් කරමින් කොළඹ මහාධිකරණය 2023 වසරේ ලබා දුන් තීන්දුව බල රහිත කිරීමට අභියාචනාධිකරණය අද (05) නියෝග කළේය.
ඒ අනුව, අදාළ නඩුව කිසිදු ප්රමාදයකින් තොරව නැවත විභාගය සඳහා කැඳවන ලෙස ද අභියාචනාධිකරණය කොළඹ මහාධිකරණයට නියෝග කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කළ ප්රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව, පී. කුමාරරත්නම්, දමිත් තොටවත්ත, සරත් දිසානායක, ප්රියන්ත ප්රනාන්දු සහ අන්නලිංගම් ප්රේමශංකර් යන විනිසුරුවන්ගෙන් සමන්විත පස් පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්රකාශයට පත් කළේය.
තීන්දුව ප්රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ, අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේම අනුමැතියකින් තොරව අධිචෝදනා පත්රය ගොනු කර ඇති බවට විත්ති පාර්ශ්වය මූලික විරෝධතාවක් මතු කර තිබූ බවයි. එම විරෝධතාව පිළිගනිමින් කොළඹ මහාධිකරණය 2023 මැයි 19 වැනිදා විත්තිකරුවන් නිදහස් කිරීමට ගත් තීරණය නීත්යානුකූල නොවන බව අභියාචනාධිකරණය තීරණය කළේය.
මෙම නඩුව ගොනු කර තිබුණේ 2010 වසරේ වෙළඳ අමාත්යවරයා ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්රනාන්දු මහතා, ලංකා සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම මඟින් රජයට පාඩුවක් සිදු කර දූෂණයක් සිදු කළ බවට වන චෝදනා සම්බන්ධයෙනි.
අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු වෙළඳ අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු, ලංකා සතොස හිටපු සභාපති එරාජ් ප්රනාන්දු සහ හිටපු වැඩබලන අධ්යක්ෂ මොහිදීන් මොහොමඩ් සකීර් නම් කර සිටිති.
