මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින 8% මට්ටමෙහි නොවෙනස්ව තබා ගැනීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම රජය විසින් විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන්, දැනට පවතින අවධමන තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ තවත් “දරුණු” වනු ඇතත්, එය තාවකාලික තත්ත්වයක්. මහ බැංකුවේ නිගමනය වී තිබෙන්නේද එයයි.
මහ බැංකුව විසින් විශේෂ බලපෑමක් හෝ සංඥාවක් නොකළද, වෙළඳපොළ පොලී අනුපාතික පහත වැටෙමින් තිබෙනවා. අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී දින-91 (මාස තුන) බිල්පත් ඵලදා අනුපාතිකය 7.93% දක්වා පහත වැටී තිබෙනු දැකිය හැකියි. මේ අයුරින් වෙළඳපොළ පොලී අනුපාතික මහ බැංකුවේ ඉලක්ක පොලී අනුපාතිකයද ඉක්මවමින් 8% මට්ටමෙන් පහතට වැටී තිබෙන්නේ විශාල කාලයකට පසුවයි. දින-364 (වසර-1) ඵලදා අනුපාතිකයද 8.47% දක්වා පහත වැටී තිබෙනවා.
මේ වන විට මුදල් වෙළඳපොළෙහි අතිරික්ත ද්‍රවශීලතා තත්ත්වයක් පවතින අතර අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ පොලී අනුපාතික 7.75%-8% පරාසයේ විචලනය වෙනවා. මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට තීරණය කිරීමෙන් පෙනී යන්නේ මහ බැංකුව විසින් මුදල් වෙළඳපොළට තව දුරටත් ද්‍රවශීලතාවය සැපයීමට අදහස් නොකරන බවයි.
ඉදිරි මාස කිහිපය තුළ විදේශ විණිමය වෙළඳපොළ තුළ යම් පීඩනයක් පැවතිය හැකි බැවින් මහ බැංකුවට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමේ හැකියාව සීමා වෙනවා. ඒ නිසා, ඒ ක්‍රමයට වෙළඳපොලට රුපියල් එකතු වීමද සීමා වෙනවා.
#ඉකොනොමැට්ටා #economatta