කොබෙයිගනේ පොලිසියේ දින පහක් රඳවාගෙන නිලධාරින් විසින් වධ හිංසා කළ බව කියමින් හෙන්ගමුව, ප්‍රදේශයේ තරුණයකු තමාට සිදු වූ අසාධාරණයක් ගැන පොලිස් කොමිෂන් සභාවට පසුගියදා (16) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. මෙලෙස පැමිණිල්ලක් යොමු කර ඇත්තේ, කොබෙයිගනේ, හෙන්ගමුව ගොපල්ලෑව ප්‍රදේශයේ පදිංචි ගංගාතිලක ආරච්චිලාගේ ප්‍රභාත් මදුශංක දිසානායක නමැති 32 හැවිරිදි අවිවාහක තරුණයෙකි. කොබෙයිගනේ ප්‍රදේශයේ නිවසක රත්රන් බඩු සොරකම් කිරීමකට සැක කරමින් පසුගිය ජුනි මස 21 වැනි දින පොසොන් පොහොය දින රාත්‍රියේ දී මොහු ප්‍රකාශයක් ගැනීමට යැයි කියමින් කොබෙයිගනේ පොලිසියට රැගෙන ගොස් එදින සිට සිර කූඩුවේ දමාගෙන දින පහක් හිරිහැර කළ බව ඔහු සඳහන් කරයි.
ඒ අතරතුර 22 වැනි දින ඔහුට අවශ්‍ය රෙදි ඔහුගේ සහෝදරයා විසින් පොලිසියට ගෙන ගොස් භාර දී ඇති අතර, එතැන් සිට කිසිවකුට ඔහු බැලීමට අවස්ථාව නොදුන් බව පැමිණිල්ලේ සඳහන් වේ.
මවුපියන්ගේ ඉල්ලීම මත ඔහු 26 වැනි දින නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා ජූලි මස 8 වැනි දින තෙක් දින 12ක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ජූලි මස 8 වැනි දින ඇප මත නිදහස් වූ ඔහු ජූලි මස 8 වැනි දින සිට දින තුනක් නිකවැරටිය දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත.
එහිදී නිකවැරටිය රෝහල් පොලිසිය විසින්ද ප්‍රකාශ ලබා ගෙන ඇති අතර, පසුගිය 10 වනදා රෝහලින් පිට වූ අදාළ පුද්ගලයා මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම සම්බන්ධව මේ වන විට පොලිස් නිලධාරින් හතර දෙනකුට එරෙහිව පොලිස් කොමිසමටත් මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කර ඇත. අදාළ සිද්ධිය සම්බන්ධව වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ අදාළ සිද්ධිය ගැන තවමත් කිසිවක් තමාට වාර්තා වී නැති බවයි. ඒ ගැන කොබෙයිගනේ පොලිසියෙන් විමසීමක් කරන බවත් පැවසීය.
මෙම සිදුවීමෙන් පීඩාවට පත් එම තරුණයාට නීතිමය උපදෙස්, පැමිණිලි යොමු කළ යුතු ආයතන සහ අවශ්‍ය මඟපෙන්වීම් කටයුතු සිදු කළ ඇත්තේ රයිට් ටු ලයිෆ් කුරුණෑගල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයයි.