මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය අගය කරමින් ඔහු මේ අදහස් පළ කළේ, ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අද (මාර්තු 04 වැනිදා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
ශ්‍රී ලංකාවට ආර්ථික අවස්ථාවන් නැවත පැමිණෙන විට ආදායම වැඩි වී දිලිඳුකම අඩු වනු ඇති බවත් එමඟින් මෙරට ජනතාවට රටින් පිටව යාමට හෝ සංක්‍රමණය වීමට වඩා ශ්‍රී ලංකාවේ රැඳී සිටීම වඩාත් ආකර්ෂණීය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් කියා සිටියේ ය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමග පවතින විස්තීරණ ණය පහසුකම යටතේ සිදුකළ තෙවන සමාලෝචනය පසුගිය සිකුරාදා සම්පූර්ණ කරනු ලැබීය.
ඒ සමගම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහය දැක්වීම සඳහා විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන සිව්වන ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 334ක් ක්ෂණිකව මුදා හැරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පියවර ගත්තේ ය.
ඒ අනුව මෙම ණය පහසුකම යටතේ ඩොලර් බිලියන 1.3කට අධික මුල්‍ය සහයක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇතැයි පීටර් බෲවර් කියා සිටියේ ය.
IMF ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් විය. ජාත්‍යන්තර මුල්‍ය අරමුල පවසන්නේ, සමාජ වියදම් මත වූ දර්ශක ඉලක්කය හැර 2024 වසරේ දෙසැම්බර් මස අවසානය දක්වා වූ අනෙකුත් සියලුම ප්‍රමාණාත්මක ඉලක්ක ශ්‍රී ලංකාව විසින් සපුරා ඇති බව ය. 2025 වසරේ ජනවාරි මස අග වන විට බොහෝ ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරා ගෙන හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේය.
‘ලංකාව හැර යන එක නෙමේ ලංකාවේ ඉන්න එක ආකර්ෂණීය වෙයි’
“අපේක්ෂිත ඉලක්ක එක්ක බැලුවාම ඉතාම පැහැදිලියි. දේවල් වෙනස් වෙලා තියෙනවා සැලකිය යුතු විදිහට. 2022 ජුනි මාසයේ මම මුලින් ම එනකොට හැමෝම කොහේ හරි පෝලිමක හිටියේ. ඉන්ධන ගන්න. උයන ගෑස් ටික ගන්න, කෑම ටික ගන්න බෙහෙත් ටික ගන්න. ආර්ථික ක්‍රියාකාරම් හරිම දුර්වල තත්ත්වයක පැවතියේ අර්බුදයත් එක්ක.” පීටර් බෲවර් පැවසුවේ ය.
“සැබෑ ලෙස ගත්තොත් මේ අර්බුදයේ ප්‍රතිඵලයක් විදිහට ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් 10% ක් පමණ අහිමි වුණා. ඉන්පසු, කෙටි කාලයට පසු, 2023 වැඩ සටහන ක්‍රියාත්මක කෙරුණා. එමගින් දැනටමත් ගත වු වසර 5 තුළ අහිමි වූ ආදයමින් 40% යථා තත්ත්වයට පත් කරගෙන තිබෙනවා ආදායම්. ඉතාම කෙටි කාලයකින් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අනුව ශ්‍රී ලංකාව මේවන විට 5.5% වර්ධනයක් අත්කර ගෙන තිබේ. මෙම වර්ධනය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සලකා බලන දර්ශක කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කරනු ඇතැයි ද ඔහු පැවසීය.
“මේක අපි සලකා බලන දර්ශකවලට බලපෑමක් කරනවා. දිලිඳුකම වගේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අවස්ථාවන් යථා තත්ත්වයට පත්වුණා ම, ආදායම් වැඩි වෙයි. දුප්පත්කම අඩුවෙයි. ලංකාව හැර යන එක නෙමේ ලංකාවේ ඉන්න එක ආකර්ෂණීය වෙයි. හැර යන එක හෝ සංක්‍රමණය වෙන එක නෙමේ. දැන් සංක්‍රමණය වෙලා ඉන්න අය අවස්ථාවන් බලයි නැවත ලංකාවට පැමිණෙන්න. 2025 සහ ඊට එහා අපගේ පුරෝකථන එක්ක බලපුවාම අපිට කියන්න පුළුවන් අපි ලංකාව යථා තත්ත්වයට පත්වීම ගැන බලාපොරොත්තු සහගතව ඉන්නවා’ පීටර් බෲවර් අපේක්ෂා පළ කළේය.
‘ප්‍රතිපත්තිමය වැරදීම් ඇති වීමට ඉඩක් නැහැ’
කෙසේවෙතත් පීටර් බෲවර් අවධාරණය කළේ, ප්‍රතිපත්තිමය වැරදීම් ඇති වීමට ඉඩක් නොමැති බව ය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනාවරණය කළේ, ශ්‍රී ලංකාවේ මූර්ථ දළ දේශීය නිෂ්පාදිතය 2018 සහ 2023 වසර අතර සිදු වූ ආර්ථික හානියෙන් 40%ක් පමණ යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකී වී ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවයි.
2025 වසරේ ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත්වීම දිගට ම පවතිනු ඇතැයි, අපේක්ෂා කෙරේ.
ආර්ථිකය තවමත් අවදානම් මට්ටමක පවතින බැවින්, සාර්ථව ආර්ථීක ස්ථාවරත්වය හා ණය තිරසාරභාවය සහතික කිරීම සඳහා දිගුකාලීන අඛණ්ඩ වර්ධනයක් ඇති කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල පවත්වා ගැනීම වැදගත් බව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අවධාරණය කළේය.
තවත් කළ යුතු දෑ මොනවා ද?
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේ ශ්‍රී ලංකාව මිල ස්ථායීතාව පවත්වා ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතු බව ය.
එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව මගින් රජයේ අයවැය පරතරය මුල්‍යකරණය කිරීම වැළැක්විය යුතු ය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට තිරසාර කැපවීමක් මගින් සහය විය යුතු බව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙහිදී සඳහන් කළේය.
රජය සතු ව්‍යවසායන්ගේ රාජ්‍ය මුල්‍ය අවදානම් පාලනය කිරීම සඳහා ප්‍රමාදයකින් තොරව පිරිවැය ආවරණ වන විදුලිය මිලකරණය නැවත ස්ථාපනය කිරීම අවශ්‍ය බව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දක්වා තිබේ.