ළමා ගැබ් ගැනීම අද වන විට ඉතා විශාල ගැටලුවකට පත්ව ඇත. ළමා ගැබ් ගැනීම් ලෙස අදහස් කරන්නේ නව යෞවන වයස නොඉක්මවූ දැරියන් ගැබ් ගැනීම්ය. ළමා ගැබ් ගැනීම්වලට බලපාන හේතු කිහිපයක් දක්නට ලැබෙන අතර ඉන් ප්‍රධාන වශයෙන් ස්ත්‍රී අපයෝජනයත් නව යෞවන යෞවනියන් අතර හට ගන්නා ප්‍රේම සම්බන්ධතාත් මෙන්ම වැඩිහිටියන්ගේ අවසරය මත නව යෞවන යෞවනියන් අතර සිදුවන විවාහ වීමයි. ලංකාවේ ළමා ගැබ් ගැනීම් පසුගිය වසරේදී ඉහළ ගිය බව ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර ප්‍රකාශ කරයි. 2023 දී ළමා ගැබ් ගැනීම් 167 ක් වාර්තා වන අතර 2024 දී බාල වයස්කාර දැරියෝ 213 ක් ගැබ් ගෙන ඇත.
ලංකාවේ දත්තවලට අනුව ළමා ගැබ් ගැනීම් වැඩිපුරම සිදු වන්නේ ලිංගික අපයෝජන නිසාය. සත්යෙන්ම ගැහැනු ළමයකු මවක් බවට පත් විය යුත්තේ ළමා විය ඉක්මවීමෙන් පසු වූවත් ළමා විය ඉක්ම වීමට පෙර මව්වරුන් බවට පත්වන දැරියන් නිසා සමාජය විකෘති ඒකකයක් බවට පත් වී හමාරය. මෙපමණක්ම නොව නව යොවුන් විය නොඉක්මවූ ලිංගික ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් මේ රටේ සිටිති. එසේම නව යොවුන් වියේ පසුවන වීථි දැරියෝ ද විශාල ප්‍රමානයක් සිටින අතර මෙම දැරියන්ට උපත් පාලන ක්‍රම පිළිබඳ පමණක්ම නොව සමාජ රෝග ගැන පවතින දැනුම ද අවම මට්ටමක පවතියි.
ළමා ගැබ් ගැනීම්වල බලපෑම
ළමා වියේ පසුවන දැරියක් මවක් වූ පසු ඇගේ ළමා විය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වනවා පමණක්ම නොව ඇයගේ අධ්‍යාපන කටයතු ද අඩාල වේ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම දැරියන්ට තම වයසේ පසුවන යෙහෙළියන් සමග ඔවුන්ගේ නව යොවුන් විය ගත කිරීමට නොහැක. ළමා ගැබ් ගැනීමත් සමගම එම දැරියන්ගේ විශාල වශයෙන් මානසික ව්යාධියන් හට ගනියි. ඇතැම් අවස්ථාවන්වල එම මානසික ව්යාධියන් හමුවේ ඔවුන් මත් ද්‍රව්‍ය හා මත් පැන් වලට ද ඇබ්බැහි වේ. මෙම සියලු පීඩාකාරී තත්ත්වන් හමුවේ බොහෝමයක් දැරියන් සියදිවි නසා ගැනීම්වලට ද පෙළබේ.
ළමා ගර්භණී භාවය යනු ලෝකයේ සෑම රටකම පාහේ පවතින ගැටලුවක් වුවත් යුරෝපයේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය කුඩා වියේ සිටම ලබාදෙන බැවින් ඔවුන් අතර ළමා ගැබ් ගැනීම් සිදුවන්නේ ඉතා කලාතුරකින් වුවද අප්‍රිකාවේ සහ ආසියාවේ වැනි රටවල මෙය විශාල සමාජ ගැටලුවක් බවට පත්ව ඇත. දැනට කර ඇති සමීක්ෂණවලින් හෙළි වන පරිදි ළමා ගැබ් ගැනීම්වලට පත් වන ගැහැනු දරුවන් වැඩි දෙනා නිසි අධ්‍යාපනයක් නැති දුගී දරුවෝ වෙති. එයින් හැඟී යන්නේ දුප්පත්කම සහ නූගත්කම යන සාධක දෙක ළමා ගැබ් ගැනීම්වලට විශාල වශයෙන් බලපාන බවයි.
සාමාන්‍යයෙන් අවුරුද්දකට ළමා ගැබ් ගැනීම් මිලියන විසි එකක් ලෝකයෙන් වාර්තා වන අතර මෙම ගැබ් ගැනීම්වලින් මිලියන 12ක් පමණ දරුවෝ උපදින අතර ඉතිරි දරුවන් කලල අවස්ථාවේදී හෝ ගබ්සාවලට ලක් කිරීමෙන් හෝ මන්දපෝෂණය නිසා හෝ මෙලොව එළිය නොදැකම මිය යයි. අවුරුදු 10ත් අවුරුදු 19ත් අතර දැරියන් ගැබ් ගත් විට ඔවුන්ට විවිධ රෝග වැලඳීමටත් ආසාදන හට ගැනීමටත් ඉඩ පවති. එහෙත් වයස අවුරුදු 20ක් ඉක්මවූ තරුණියන් ගැබ් ගත් විට මෙවැනි ගැටලු හටනොගන්නා අතර ළමා ගැබිනි මව්වරුන් විසින් ප්‍රසූත කරන දරුවෝ බරින් ද ඉතා අඩු වෙති. ඇතැම් අවස්ථා වල දී එම දරුවෝ ගර්භණී කාලය සම්පූර්ණ වීමට පෙරම නොමේරූ දරුවන් ලෙස උපදියි. ශ්‍රී ලංකාවේ අඩු බර සහිත දරුවන් ඉපදීම ඉහළ මට්ටමක පවතින අතර පළමු උපන් දිනය සමරන්නත් පෙර වසරකට 2500ක් පමණ මිය යන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරුන්ගෙන් සංගමයේ සභාපති ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසා ඇත.
සමහර අවස්ථාවලදී තම අඩු වයස් දියණිය ගැබ් ගෙන ඇති බව දැනගෙන ඇයට විවිධාකාර ගබ්සා බෙහෙත් පෙවීමට මව්වරු පෙළඹෙති. මේ මගින් ළමා ගර්භණී මාතාවට මෙන්ම ඇගේ ගැබ තුළ සිටින දරුවාට ද විශාල හානියක් සිදුවන අතර මෙවැනි ක්‍රියා හේතුවෙන් ඇතැම් අවස්ථාවන්වල විශේෂ අබාධ සහිත දරුවෝ උපදිති.