මීළඟ විපක්ෂ නායක කවුරුද?

General Election 2024
-BBC-

ඒ. අමිර්තලිංගම් සහ ආර්. සම්බන්ධන් වැනි සුළුතර ප්‍රජාව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙරට විපක්ෂනායක ධුරයට තේරී පත්වු අවස්ථා ගැන ඉතිහාසය සාක්ෂි දරයි.

ඉකුත් ජනාධිපතිවරණයෙන් පසු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක් ස්වයං විශ්‍රාම ගැනීම සහ මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කිරීමත් සමග විපක්ෂය තුළ දේශපාලන රික්තකයක් නිර්මාණය වී තිබේ.

විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සන්ධාන කැඩී බිඳී ගොස් විපක්ෂයේ බලය දියාරු වී ගොස් ඇති මෙවන් අවස්ථාවක මීළඟට පත්වන විපක්ෂනායකවරයා කවුරුන් විය හැකි ද?

පක්ෂයක් ලෙස ආසන වැඩි සංඛ්‍යාවක් හිමිකර ගනිමින් සමගි ජනබලවේගය විපක්ෂනායක ධුරය යළි හිමිකර ගනු ලැබුවහොත් විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට එහි නායක සජිත් ප්‍රේමදාසට හැකි වෙයි ද?

ජනාධිපතිවරණයකින් හෝ මහ මැතිවරණයකින් පාලක පක්ෂයට බලය ගිලිහුණු බොහෝ අවස්ථාවල එහි වාසිය ලබා ගනු ලැබුවේ, ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂය ය. ලොව බොහෝ රටවල ඊට උදාහරණ ඇත.

එහෙත් මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව විසින් තෝරා ගනු ලැබුවේ විපක්ෂය නියෝජනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂය නොව පාර්ලිමේන්තුවේ ආසන 3ක් හිමිකර ගෙන සිටි ජාතික ජනබලවේගය ය.

ජාතික ජනබලවේගය ඉකුත් ජනාධිපතිවරණයෙන් ජය හිමිකර ගැනීම සහ අනතුරුව පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ඔවුන් ලද ප්‍රතිඵලය කුමක් වුවද, ජාතික ජනබලවේගයේ ඉදිරි දේශපාලන දිශානතිය පැහැදිලි ය.

ඒ අනුව ජාතික ජනබලවේගය මීළඟ ආණ්ඩුව පිහිටවනු ලැබුවහොත් වැඩි ආසන සංඛ්‍යාවක් හා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනා ගනිමින් විපක්ෂනායක ධුරයට පත්වීමට පසුගිය සිව් වසර පුරා එම ධුරය දැරූ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට හැකි වෙයි ද?

පසුගිය මැතිවරණ ප්‍රතිඵල දෙස ආපසු හැරී බැලීමක්

General Election 2024

2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ 52.25% ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගත් අතර සමගිජන බලවේගයෙන් තරග කළ සජිත් ප්‍රේමදාස 41.99%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේ ඡන්ද 5,564,239 ලබා ගිනිමිනි.

2024 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ලද ඡන්ද සංඛ්‍යාව 4,530,902 දක්වා අඩුවිය.

ජනාධිපතිවරණයේදී ඔහු ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 32.76%කි. ඒ අනුව ඔහුට ඇති මහජන කැමැත්තෙහි අඩුවීමක් 2019 වසරේ සිට මැතිවරණ ප්‍රතිඵල දෙස බැලීමේදී පෙනී යන කරුණකි.

අවසන්වරට 2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආසන 225කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 145 හිමිකර ගැනීමට සමත් විය.

23.9%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් සමගි ජනබලවේගය එම මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7ක් ද සමගින් පාර්ලිමේන්තුවේ ආසන 54ක් හිමිකර ගත්තේ ය.

පසුගිය ජනාධිපතිවරණයට ස්වාධීනව තරග කළ රනිල් වික්‍රමසිංහ ඡන්ද 2,299,767 ලබාගත් අතර ප්‍රතිශතයක් ලෙස එය 17.27%කි. 2020 ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමිවූ අතර රනිල් වික්‍රමසිංහ පසුගිය පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ එම මන්ත්‍රී අසුන උපයෝගී කර ගනිමිනි.

2.82%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගත්, ඉලංගෙයි තමිල් අරුසු කච්චි 2020 මහ මැතිවරණයෙන් ආසන 10ක් හිමි කර ගත් අතර 3.84%ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත් ජාතික ජනබලවේගයට පසුගිය පාර්ලිමේන්තුවේදී හිමි වුයේ ආසන 3ක් පමණි.

2020 වසරේදී 3% ප්‍රතිශතයක් හිමි කර ගත් ජාතික ජනබලවේගය පසුගිය ජනාධිපතිවරණයෙන් ජය ලැබීම දක්වා කැපී පෙනන ලෙස සිය ඡන්ද පදනම පුළුල් කර ගෙන තිබේ.

2019 ජනාධිපතිවරණයෙන් 52%කට අධික ඡන්ද ප්‍රතිශතයක් සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසන 145ක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය ජනාධිපතිවරණයට තරග කළ නාමල් රාජපක්ෂට හිමිකර ගැනීමට හැකිවුයේ ඡන්ද 342,781 ප්‍රමාණයකි. එය 2.57%ක ඡන්ද ප්‍රතිශතයකි.

නාමල් රාජපක්ෂ මෙවර මහ මැතිවරණයට තරග නොකරන අතර ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමට අදහස් කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී 5 වැනි ස්ථානයට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනු ලැබුවේ, ස්වාධීනව තරග කළ පී.අරියනේත්‍රන්ය.

පසුගිය ජනාධිපතිවරණයේදී වඩාත් අවධානයට ලක්වූ අපේක්ෂකයා වුයේ ඔහු ය.

ඔහු ජනාධිපතිවරණයේදී ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 226,343 කි.

එහෙත් පී. අරියනේත්තිරන් මෙවර මහ මැතිවරණයට තරග නොකරයි.

ඔහු තරග කළේ නම් උතුරු නැගෙනහිර පළාත් වලින් වැඩි ආසන සංඛ්‍යාවක් හිමි කර ගැනීමට හැකියාව පැවතිණි.

‘ජනනායක තමිල් තේසීය කූට්ටනෙයි’ හෙවත් ප්‍රජාත්න්‍රතාවදී දෙමළ ජාතික සන්ධානයද මෙවර මහා මැතිවරණයට තරග කරයි. ප්ලෝට් සහ ටෙලෝ යන පක්ෂද එම සන්ධානයට අයත් ය.

මෙම සන්ධානය ඉදිරි මැතිවරණයේදී තමිල් අරුසු කච්චි වෙත අභියෝගයක් එල්ල කරනු ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී 6 වැනි ස්ථානයට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනු ලැබුවේ, ව්‍යාපාරික දිලිත් ජයවීර වන අතර සර්වජනබලය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට තරග කළ ඔහු ඡන්ද 122,396 හිමි කර ගැනීමට සමත්විය.

General Election 2024

රන්ජන් රාමනායක ද මෙවර මහ මැතිවරණයට තරග කරන ජනප්‍රිය දේශපාලනඥයෙකි.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායකයා ලෙස ඔහු මහ මැතිවරණයට තරග කරන අතර ඔහු විපක්ෂ නායක ධුරයට පත්වීමට නම් ඔහුගේ පක්ෂය විපක්ෂයේ වැඩි ආසන සංඛ්‍යාවක් හිමි කර ගත යුතු ය.

පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් අහිමි වූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක ඇතුළු පිරිසක් ද මෙවර මහ මැතිවරණයට තරග කරති.

ඒ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ය.

ඉදිරි මහා මැතිවරණයේදී විපක්ෂයේ වැඩි ආසන සංඛ්‍යාවක් එම පක්ෂය හිමිකර ගත හොත් විපක්ෂනායක ධූරයට හිමිකම් කීම සඳහා එම සන්ධානයට ද අවස්ථාව පවතී.

මෙතෙක් නිවේදනය කර නැතත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර මහ මැතිවරණයට තරග නොකළද යම් ලෙසකින් ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙකු ලෙස හෝ යළි පාර්ලිමේන්තුවට පැමිණියහොත් කුමක් සිදුවේ ද යන්න තවමත් නිශ්චිතව පුරෝකථනය කළ නොහැකි කාරණයකි.

2024 සැප්තැම්බර් 21 වැනිදා පසුගිය ජනාධිපතිවරණය පවත්වන අවස්ථාවේදී ප්‍රධාන බල කඳවුරු හතරක් පැහැදිලිව දක්නට ලැබුණි.

එනම්, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ නාමල් රාජපක්ෂ යන කඳවුරු ය.

ජනාධිපතිවරණයෙන් පසු, ඒ ඒ පක්ෂවලට ඇති මහජන ප්‍රසාදය දැන් ඉතා පැහැදිලි ය. පසුගිය පාර්ලිමේන්තුවේ ඒ ඒ දේශපාලන පක්ෂවලට පැවති සංයුතිය තවදුරටත් එසේම පවතී ද? එය එසේ නොවන බව පැහැදිලි කාරණයකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජනබලවේගය ඇතුළු පක්ෂ නියෝජනය කළ බොහෝ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට තම ආසනය ජයග්‍රහණය කර දීමට මෙවර ජනාධිපතිවරණයේ දී නොහැකි විය.

එම පසුබිම තුළ විපක්ෂයේ සංයුතිය පිළිබඳ පැහැදිලි ස්ථාවරයකට පැමිණීම තරමක් අසීරු කාරණයකි.

සජිත් ප්‍රේමදාස

General Election 2024

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මුලින් ම විපක්ෂනායක ධුරයට පත්වන්නේ, 2020 ජනවාරි 03 වැනිදා ය. ඒ මෙරට අටවැනි පාර්ලි‌මේන්තුවේ තුන්වන විපක්ෂනායක ලෙස ය.

මෙරට නවවැනි පාර්ලි‌මේන්තුවේ ද විපක්ෂනායකවරයා වූ ඔහු 2020 වසරේ සිට 2024 දක්වා අඛණ්ඩව සිව් වසරක් විපක්ෂනායක ධුරය දරනු ලැබීය.

එහෙත් ඔහුට තවදුරටත් විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනගත හැකිවෙයිද යන්න සැක සහිත වන්නේ සිය පක්ෂය තුළ සිටි මන්ත්‍රීවරු පිරිසක් ද ඔහු හැරයාම හේතුවෙනි.

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීම සඳහා එක්සත් ජනරජ පෙරමුණ සමගි ජනබලවේගය සමග අවබෝධතා ගිවිසුමකට එළඹ තිබුණි. ඒ මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක 11කට තරග කිරීමට අවස්ථාව ලබා ගනිමිනි. එහෙත් සමගි ජනබලවේගය එහි කොන්දේසි උල්ලංඝණය කළ බව පවසමින් මහ මැතිවරණ ක්‍රියාවලියෙන් වැළකී සිටීමට පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ තීරණය කර තිබේ.

පාඨලී චම්පික රණවක මහ මැතිවරණයට තරග නොකරන අතර ඔහුගේ නම ජාතික ලැයිස්තුවලට ද ඇතුළත්ව නොමැත.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයට පෙර, පක්ෂයේ ඉදිරි පෙළ මන්ත්‍රීවරියක් වු තලතා අතුකොරළ ජනාධිපතිවරණයට පෙර සමගි ජනබලවේග මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව රනිල් වික්‍රමසිංහට සහය පළ කළාය.

සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු වු අජිත් මාන්නප්පෙරුමද මහ මැතිවරණයට නාම යෝජනා භාර දීමෙන් අනතුරුව මැතිවරණයට තරග නොකරන බව නිවේදනය කළේය.

විපක්ෂනායක ධූරය දෙමළ ජාතික සන්ධානයට හිමිවෙයි ද?

යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක වලින් මෙවර පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 12 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිත ය.

පවතින තත්ත්වය හමුවේ තමිල් අරුස කච්චි හෝ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන වෙනත් පක්ෂයකට ඉදිරි විපක්ෂ නායක ධූරය හිමිවෙයි ද?

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්දිරන් කියා සිටියේ “මේ සැරේ එවගේ අවස්ථාවක් වෙන්නේ නැහැ. මොකද මේ සැරේ ජාතික ජනබලගවේගය ආණ්ඩුවට අපුහම සමගි ජනබලවේගය තමා විපක්ෂයේ ප්‍රධාන පක්ෂය බවට එන්නේ.”

උතුරු- නැගෙනහිර වැඩිම ඡන්ද හිමිකර ගන්නා ප්‍රධාන පක්ෂය තමිල් අරුසු පක්ෂයට වනු ඇති බවත් විපක්ෂ නායක ධූරය සමගි ජනබලවේගයට හිමිවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ බහුතරය හිටිය පමණින් විපක්ෂය ගොඩ නැගෙන්නේ නැහැ’

General Election 2024

ජාතික ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක කියා සිටියේ මේවන විට ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව මතුව ඇති බව ය.

‘පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබූ පමණින් විපක්ෂයක් ගොඩනැගෙන්නේ නොමැති බව’ ඔහු අවධාරණය කළේය.

ඔහු පෙන්වා දුන්නේ පවත්නා නීතිමය තත්ත්වය තුළ විපක්ෂයේ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි කර ගන්නා පක්ෂයට විපක්ෂනායක ධුරය හිමිවන බව ය.

“තාක්ෂණික වශයෙන් කතාව ඒක. දේශපාලනික වශයෙන් ගත්තම ජනතා විමුක්ති පෙරමුණ ස්ථාවර දේශපාලන පක්ෂයක් ස්ථාපිත කර තිබෙනවා. ඉදිරියේදී එගොල්ලන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර, පළාත් සභා මන්ත්‍රී ධූර, පළාත් පාලන ධූර ලැබුණම ඒක බිම් මට්ටම ට විසිරී ගිය ප්‍රධාන පක්ෂයක් වෙනවා. දැනට ජනාධිපති විතරයි ඉන්නේ.නමුත් පාර්ලිමේන්තු ඡන්දෙයන් පස්සේ මන්ත්‍රී ලා විශාල පිරිසක් ඉන්න පළාත් සභා ඡන්දයෙන් පස්සේ ස්ථාපිත පක්ෂයක් වෙනවා.” චම්පික රණවක පෙන්වා දුන්නේය.

“ඒ පක්ෂයේ සාර්ථක අසාර්ථක භාවය ගැන දැන් ඉදන් අනාවැකි කියන්න බැහැ.”

“ඒ පක්ෂයට ප්‍රතිපක්ෂව නැගෙන දේශපාලන ව්‍යාපාරයක් ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍යයයි. අන්න ඒ ගැන කල්පනා කරලා තමයි සැබෑ විපක්ෂයක් ගොඩනැගෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ බහුතරය හිටිය පමණින්, ඒ විපක්ෂය ගොඩ නැගෙන්නේ නැහැ කියන එක සජිත් ප්‍රේමදාස මහත්තයා ඔප්පු කළා පහුගිය අවුරුදු පහේ. එතුමා ආසන 58ක නායකයා හැටියට හිටියට ආණ්ඩුව ඇඳ වැටෙද්දි මහජනයා ගියේ ආසන 3ක් හිටපු ජනතා විමුක්ති පෙරමුණට. එතනින් පෙනුණේ අර තාක්ෂණික කාරණය මත විපක්ෂ නායකයා තේරුවට මහජනයා වෙන විපක්ෂ නායක කෙනෙක්ව තෝරාලා තිබුණේ ආණ්ඩුවෙන් පස්සේ. විපක්ෂ නායක කියන්නේ ආණ්ඩුවෙන් පස්සේ බලය ගන්න කෙනානේ.”

“මේ පාර ශක්තිමත් දේශපාලන විපක්ෂයක් අවශයයි. තාක්ෂණික වශයෙන් කාට ඔය පදවිය ගියත්. පාර්ලිමේන්තුව තුළ බහුතරය තිබෙන අය නෙමේ විපක්ෂය වෙන්නේ; ඒක වෙන විදහකටත් වෙනවා.”

“තාක්ෂණිකව කවුරුහරි විපක්ෂනායක වෙන්න පුළුවන්. මේ ආර්ථික අර්බුදයයි මේ සමාජ අර්බුදයයි මේ දෙකම එක්ක ජනතා විමුක්ති පෙරමුණට අභියෝගයක් වෙන විපක්ෂයක් ගොඩ නැගීම ඇත්තටම නව අභියෝගයක්.” ඔහු සඳහන් කළේය.

“සම්ප්‍රදායීක දේශපාලන ව්‍යාපාර නැවත පුනරුත්ථාපනය වෙලා ප්‍රතිසංස්කරණය වෙලා නැගී හිටියහොත් ඒ ගොල්ලන්ට ඡන්ද ලැබෙන්න ඉඩ තියෙනවා. නැත්තම් නැහැ.”

www.bbc.com

Social Sharing
අවකාශය නවතම විශේෂාංග