බඹර කපන අනුරාධපුර රජිත

 

රජයෙන් යම්කිසි අනුග්‍රහයක් දෙනවා නම් බිඟු සම්පත මේ ලෝකයෙන් තුරන් නොකර සතුන් බේරා ගෙන, බිඟු සම්පත වගා කිරීමේ හැකියාව තියෙනවා

බඹරුන් කී විට අපගේ සිතට එන්නේ දෂ්ඨ කරන දරුණු සතෙකි බඹරා ලෙසයි.නමුත් බඹරා දෂ්ඨ කරනුයේ ඔවුන්ගේ ආරක්ෂක උපක්‍රමයක් ලෙසයි.

පරාග සංසේචනය උදෙසා බඹරුන් , මී මැස්සන්, සමනලුන් විශාල වශයෙන් මෙහෙයක් ඉටු කරන බැවින් සොබාදහමේ තුලනය උදෙසා බඹරා අත්‍යවශ්‍ය සාධකයකි.බිගු සම්පත නොමැති වුවහොත් පරාගනය සිදු නොවී අපට අවශ්‍යය අහාර නොමැතිව බඩගින්නේ මිය යාමටද සිදු විය හැකිය‍.

මී මැස්සන් මෙන් නොව බඹරුන් බොහෝ අවස්ථා වලදී උස් ගොඩනැගිලි වල බඹර වද ස්ථාපිත කරන අතර, ඒ නිසාවෙන් එම වද මිනිසාට අවහිර වන අවස්ථා දැක ගත හැකිය, විශේෂයෙන්ම පාසල් වල ගොඩනැගිලි, රාජ්‍යය ආයතන වල උස් ගොඩනැගිලි හා පාලම් වල බඹරුන් වද බැඳිම නිසා එම වද ඉවත් කිරීමට කටයුතු කරනු ලබයි‍.

ඇතැම් පුද්ගලයින් බඹර, දෙබර වද ඉවත් කිරීමේදී ගින්දරින් පුළුස්සා එම වද විනාශ කරනු ලබන අතර, ඒ් හේතුවෙන් මෙරට බිඟු සම්පත සීඝ්‍රයෙන් අඩුවීමට ලක් වේ.මක් නිසාද යත්, එක් බඹර වදයක බඹරුන් 20 000 ක් 30 0000 ක් පමණ විශාල ප්‍රමාණයක් සිටිනා බැවිනි.බඹරුන්ට හිංසාවක්, පීඩාවක් නොකරන්නේ නම් ඔවුන්ගෙන්ද කිසිවකුට පීඩාවක් සිදු නොවන බවද කියැවේ.

බිඟු සම්පත සුරැකීම අත්‍යවශ්‍යය කරුණක් වූවද විශේෂයෙන්ම මහජනතාව ගැවසෙන ස්ථාන වල පවතින බඹර හා දෙබර වද ඉවත් කිරීම අත්‍යවශ්‍යය කරුණකි.ඊට හේතුව වන්නේ එම වද වලට උකුස්සන් සිදු කරන ප්‍රහාර, තද සුළං තත්වයන් වැනි විවිධ හේතුන් නිසා බඹරුන් ඇවිස්සී මහජනතාවට ප්‍රහාර එල්ල කිරීමේ අවස්ථා ඇති විය හැකි බැවිනි.එම නිසා සොබාදහමත් රැක ගනිමින් බඹර, දෙබර ග්‍රහණයද සුරකිමින් මෙම වද ඉවත් කිරීම සිදු කළ යුතුයි.
ඒ අයුරින් සතුන්ට හා මිනිසුන්ට කිසිදු හානියක් සිදු නොවන ලෙස මිනිසාට අවහිරයක් වන ස්ථානවල පවතින බඹර, දෙබර හා මී මැසි වද සාර්ථකව ඉවත් කිරීමේ කටයුතු කරන තරුණයකු අනුරාධපුරයේදී අපට හමු විය.

ඔහු අනුරාධපුර මහවිලච්චියේ පදිංචි නමින් රජිත ප්‍රභාත් ධර්මදාසයි.
මම දැනට සේවය කරන්නේ අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ, ඊට අමතරව වනජීවි දෙපාර්තමේන්තුව සමඟ බඹර දෙබර වද ඉවත් කිරීමේ කටයුතු වලට සම්බන්ධ වෙලා කටයුතු කරනවා.මේ වද ඉවත් කිරීමේදී සමහර වෙලාවට සත්තු විදිනවා, නමුත් මට සත්තු විද්දාට ඇලජික් නෑ, මට විෂ නෑ, බොහෝ දෙනෙක් බඹර වද ඉවත් කරන්නේ රාත්‍රී කාළයට, නමුත් මම දිවා කාළයේදී, ඔ්නම ජනග්‍රහණයක් ඉන්න තැනකදී සුරක්ෂිතව බඹරුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරනවා.

බඹර වද ඉවත් කිරීමෙන් පසුව මම සොයා ගත් බෙහෙත් වට්ටෝරුවකට අනුව සැකසූ බෙහතක් අලේප කරනවා.බඹරුන් හෝර්මෝන හරහා ගමන් කරන නිසා ආයේ ඒ තැන බඹරුන්ට වහන්න බෑ,ඒ නිසා ඒ අය වෙනත් තැනකට ගමන් කරනවා.සාමාන්‍යයෙන් ඒ අය කිලෝ මීටර 03 ක විතර දුරක් ගමන් කරනවා.සත්තුන්ට ඒ මගින් කිසිම හානියක් වෙන්නේ නෑ,

මට දවල් කාළයේ ජනතාව කොපමණ ප්‍රමාණයක් සිටියත් කිසිවකුට හානියක් නොවී බඹර වද ඉවත් කිරීමේ හැකියාව මට තියෙනවා.මම මේ වන විට බඹර වද 5000 ක් 6000 ක් පමණ ඉවත් කරලා තියෙනවා, දෙඹර 100-150 ක් පමණ ඉවත් කරලා තියෙනවා.ලංකාවේ හැම තැනම මම වැඩ කරලා තියෙනවා.මොරටුව කැම්පස් එකේ, හිරු මාධ්‍ය ජාලයේ, අනුරාධපුර ශීක්ෂණ රෝහලේ වගේම රජයේ හා පෞද්ගලික ගොඩනැගිලි රැසක මම බඹර වද ඉවත් කරලා තියෙනවා.

නගින්න බැරි අඩි 100 ක් පමණ උස ගස් වල තියෙන බඹර වද පවා මම ඉවත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් බඹර වදයට ලඟා වුණාට පසුව මට විනාඩි 05 ක් වගේ කාළයක් ගත වෙන්නේ.

දැනට මට බඹරු 5000 ක් විතර දෂ්ඨ කරලා තියෙනවා.නමුත් මට කිසිදු හානියක් වෙලා නෑ, මම මාස 03 න් 03 ට වෛද්‍ය වාර්ථා ගන්නවා.නමුත් ඒ කිසිදු වාර්ථාවක ශරීරයේ කිසිදු වෙනසක් වෙලා නෑ,

මම පාසල් යන කාළයේ නිවසේ තිබුණ ආර්ථික අපහසුතා නිසා මුදල් හොයන්න ගස් නැගලා අතු පාහින්න (අතු කපන්න) පටන් ගත්තා. මම භය නැති නිසා උස ගස් වලට පවා නැගලා අතු කපලා දුන්නා. මගේ යාලුවෙක් හිටියා වනජීවී දෙපාර්තමේන්තුවේ එයා එක දවසක් මට කිව්වා ජනාධිපතිවරයෙක් එනවා , ඒ එන තැනක ගොඩනැගිල්ලක බඹර වදයක් තියෙනවා අයින් කරගන්න පුලුවන් වෙයිද ඇහුවා.මම ඊට පස්සේ එතනට ගිහින් සතුන්ට හානියක් නොවෙන්න නෙට් එකකට අරගෙන ගිහින් කැලෑවට නිදහස් කළා.ඊට පස්සේ ආයේ මට අනුරාධපුර තිසාවැව පැත්තේ බඹර වදයක් ඉවත් කරලා දෙන්න කියලා කථා කළා, ඒ වනජීවී මහත්වරු හරහා තවත් බඹරයක් ඉවත් කිරීමට යාමේදී බඹරු කීපදෙනෙක් බට විද්දා.ඒත් මම ඒ කටයුත්ත දිගටම කර ගෙන ගියා.

බඹරු 5000 ක් විතර විද්දාට පස්සේ මටආරක්ෂිත ඇඳුමක් නිර්මාණය කරන්න පෙළඹුනා.ඊට අමතරව මට විශේෂ උපකරණ කියලා නෑ, බඹරයකට දුම ගහන්න තමා අවශ්‍යය වෙන්නේ, මී මැසි පාලනයට තොප්පියක් තියෙනවා, ඒක මම පාවිච්චි කරනවා.දෙබර ඉවත් කරන්න කිලෝ 05 ක් විතර බර ඇඳුමක් නිර්මාණය කරලා තියෙනවා මම.ඒක හදලා තියෙන්නේ ඝනකම් ටෙන්ට් රෙදි වලින්.ඒක ඇඳන් ඉන්න එකම ලොකු වෙහෙසක්.ඉතින් මේ දෙබර, බඹර වද ඉවත් කරන්න අපි සුළු මුදලක් ගන්නවා.ඒ ගාන වැඩියි කියලා සමහරු ඒ සත්තු පුච්චන්න හදනවා, මං කරුණාවෙන් ඉල්ලන්නේ ඒ සත්තු පුච්චන්න එපා.ඒ සඳහා උපකාරයක් කරන්න පුලුවන් සත්තු නිදහස් කරන්න තමයි අපේ උත්සහය.

ඒ වගේම තමයි රජයෙන් මේ කටයුතු සඳහා යම්කිසි අනුග්‍රහයක් දෙනවා නම් මෙම බිඟු සම්පත මේ ලෝකයෙන් තුරන් නොකර සතුන් බේරා ගෙන, බිඟු සම්පත වගා කිරීමේ හැකියාව තියෙනවා.අපි මේ සත්තු නිසා තමයි ජීවත් වෙලා තියෙන්නේ, අපිට ඔක්සිජන් හම්බෙන්නේ, අපේ ආහාර නිෂ්පාදනයට සම්පූර්ණ දායකත්වය දෙන්නේ ඒ අය.බඹරු, මී මැස්සෝ, දඩුවැල්ලා, කුඩා මී කියන්නේ අපිට ආහාර සපයන සත්තු, එයාලා නැති වුණොත් අපිට කොහොමත් ආහාර නිෂ්පාදනයක් ලැබෙන්නේ නෑ , විශේෂයෙන්ම පොල්, කිතුල්, තල්, අඹ, කොස් වැනි දේ පරාගනයට සහය වෙන්නේ බඹරු.

මම දැනට පදිංචි අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මේ දිස්ත්‍රික්කය අවට රුපියල් 5000 ක් වගේ අය කරනවා.දිස්ත්‍රික්කයෙන් පිටතදී නම් ඊට වඩා ටිකක් වැඩියි, ගමන් වියදම නිසා කාට හෝ මේ සතුන්ට හානියක් නොකර වද ඉවත් කර ගැනීමට අවශ්‍යය නම් මගේ දුරකතන අංකය වන 076 – 7396824 යැයි පැවසීය.

Social Sharing
අවකාශය නවතම පුවත් විශේෂාංග