දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගය විශ්ලේෂණය කර ඒ සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කිරීමට කැබිනට් මණ්ඩලයට අධිකාරි බලයක් නීතියෙන් ලබාදී නැතැයි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම පවසයි.
ජනාධිපති නීතිඥ කුමරප්පෙරුම වැඩිදුරටත් පැවසුවේ, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම හැර වෙනත් ප්‍රතිපාදනයක් නොමැති බවත්, කැබිනට් මණ්ඩලය ද ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමකට ලක්විය හැකි බවත්ය.
ඔහු ඒ බව පැවසුවේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගය ගැඹුරින් විශ්ලේෂණය කර ඒ සම්බන්ධයෙන් දින දෙකක කාලයකදී සිය මතය ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමේදීය.
ජුලි 24 දින ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු නියෝගයෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදින රාත්‍රියේ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳ වූ අතර එහිදී එම ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණි.
එම අතුරු නියෝගය ලබාදී තිබුණේ යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන හා අචල වංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසිනි.
ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තීන්දුව මගින් කියා තිබුණේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම තනතුරේ කටයුතු කිරීම එම ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාග අවසන් වනතෙක් අත්හිටුවන බවත්, පොලිස්පති ධූරය සඳහා සුදුසු පුද්ගලයකු පත් කරන ලෙසත්ය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත්තේ ඒ සඳහා වන නීතිමය පටිපාටියට පටහැනිව බව සඳහන් කරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි ඇතුළු පෙත්සම්කරුවන් නව දෙනෙකු ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් විභාග යට නියම කරමින් එම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබුණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරයට දේශබන්දු තෙන්නකෝන් ව පත් කිරීමේ යෝජනාවක් අනුමත කිරීම සඳහා ඉදිරිපත් කර තිබුණි. එහිදි එම සභාව නියෝජනය කරන සාමාජිකයින් හතර දෙනෙකු එම යෝජනාව අනුමත කර තිබුණ අතර දෙදෙනෙකු විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණි. තවත් සාමාජිකයන් දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී තිබුණි.
මේ තත්වය මත පොලිස්පති ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන් ගේ නම අනුමත වී නොතිබුණ අතර එයට හේතුව වූයේ යම් යෝජනාවක් අනුමත වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතර හෙවත් අවම සාමාජිකයන් පස් දෙනෙකුගේ අනුමැතිය හිමි වී තිබිය යුතු වීමයි.
තත්වය එසේ වුවද එම තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැනුම් දීමේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කර තිබුණේ එම යෝජනාවට සාමාජිකයන් හතර දෙනෙකු අනුමැතිය ලබාදුන් බවත්, සමාජිකයන් දෙදෙනෙකු විරුද්ධ වූ බවත් හා සාමාජිකයන් දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටි බවත්ය. එසේ ඡන්දය දීමෙන් වැළකී සිටි සාමාජිකයන් දෙදෙනාද විරුද්ධව ඡන්දය ලබාදුන් අය ලෙස සලකා විරුද්ධව හා පක්ෂව ඡන්ද හතර බැගින් ලැබී ඇති බැවින් කතානායකවරයාගේ තීරණාත්මක ඡන්දය යෝජනාවට පක්ෂව ලබාදෙන බවත්ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රධානියා ලෙස තීරණාත්මක ඡන්දයක් කතානායකවරයාට ඇතත් එය ඔහුට භාවිත කිරීමට ලැබෙන්නේ එම සභාවේ යෝජනාවක් සම්බන්ධයෙන් ඡන්ද සම වූ අවස්ථාවකදී වන අතර එයද එම සභාවට ප්‍රකාශ කරමින් එම සභාව අවස්ථාවේම ප්‍රකාශ කළ යුත්තකි.
ඒ, අනුව ජනාධිපතිවරයාට දේශබන්දු තෙන්නකෝන් ගේ නාම යෝජනා සම්බන්ධයෙන් යැවූ ලිපියේ කතානායකවරයා ඒ ආකාරයෙන් සඳහන් කළද, දේශබන්දු තෙන්නකෝන් ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් අනුමත වී නැති බව දැන දැනම ජනාධිපතිවරයා විසින් එම පත්කිරීම කර තිබුණි.