මම තාත්තාට වඩා හොඳ වෛද්‍ය වරියක් වෙනවා..!

උසස් පෙළ ප්‍රතිඵල ආවා. ඉතිං මේ පින්තූරෙ මොකට ද? ඔව්, ඒක හරි ම වැදගත්…

මේ වෛද්‍යවරයා ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑ. දෑතට මාංචු දාගෙන අරගෙන යන්නේ නොකළ වරදකට. එදා බොහෝ පිරිසක් මේ සිර ගත කිරීම අනුමත කළා. එහෙත් හදවතින් කම්පා වූ සීමිත මිනිසුන් අතර මම ද සිටියෙමි.

මගේ හදවතට වැඩියෙන් ම දැනුණේ මේ අපරාධකරුවෙකු ලෙස හංවඩු ගසන ලද වෛද්‍යවරයාගේ වැඩි මහලු දියණිය එවකට  මා සේවය කළ  මලියදේව බාලිකාවේ ශිෂ්‍යාවක ලෙස අසරණ වූ අවස්ථාවේ දී ය. මා ඒ පිළිබඳ මුහුණු පොතේ ලියා ඇත. සෙයිනබ් ෂාෆි. නවය වසරේ ඉගෙන ගනිමින් සිටියා ය. තම පියාණන් නොකළ වරදකට සිරගත වෙද්දී ඇය මලියදේව බාලිකාවෙන් සදහට ම පිටව ගිය අයුරු මගේ ජීවිතයේ කිසි දිනෙක අමතක නොවේ. ඉන් පසු ඇය ගත කර තිබුණේ අතිශය වේදනා කාරී ජීවිතයකි. එහෙත් ඒ සියලු බාධක මැද ඇය අධ්‍යාපනය ජය ගත්තා ය. සාමාන්‍යපෙළ විභාගය 9A සහිත ව සමත් වූවා ය. ඇය සමත් වූ බව සමාජ මාධ්‍යයෙන් දුටු මම අසීමිත සතුටකට පත් වුණෙමි.

“මම තාත්තාට වඩා හොඳ වෛද්‍ය වරියක් වෙනවා. තාත්තාට අපහාස කරපු හැමෝට ම ප්‍රතිකාර කරනවා…”

ඇය සාමාන්‍යපෙළ ප්‍රතිඵලයෙන් පසු ව අධිෂ්ඨානශීලී ව පැවසුවා ය. අද නැවත ඇගේ හඬ මගේ දෙසවනට ආවේ උසස් පෙළ ප්‍රතිඵල සමගයි.

“සර්, මම ෂෙයිනබ්. සර්ට ප්‍රතිඵල කියන්න කතා කළේ. දිස්ත්‍රික් රෑන්ක් එක 12. මෙඩිසින් යන්න පුළුවන්…”

දියණියනි, ඔබ දිරිය දියණියකි. ඔබටත් ඔබේ පවුලටත් සමාජයෙන් හුදෙකලා කොට වෛරය මුදා හළ සමාජයට ඔබ ඉලක්කයට ම පහර දී ඇත. මේ රෝගී වූ සමාජය සුවපත් කරන්නට ඔබට නැණ ගුණ සමග යෝධ බල යෝධ වීරිය ලැබේවා…

බණ්ඩාර තිලකරත්නෙග් මුහුණු පොතෙනි,

Social Sharing
නවතම පුවත්