තීරුබදු යුද්ධය, ලෝකය කළ දේ සහ අප නොකළ දේ – සී ජේ අමරතුංග

දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, යුරෝපා සංගමය ඇතුළු බලවතුන්ගේ ප්‍රතිචාර, ඇමෙරිකාවේ සහ ලෝකයේ වෙළෙඳපොළ කැළඹීම් , ආර්ථික අවපාතයක් ඇතිවීමේ අවධානම ඇතුළු බොහෝ කරුණු සාකච්ඡාවට ලක්වෙමින් තිබේ. සිදුවීම් බහුල මෙම ක්‍රියාවලිය සාමාන්‍ය ජනයාට තේරුම් ගැනීමට අපහසු සංකීර්ණ තත්ත්වයක් බවට පත්ව තිබේ.

මෙම ලිපියේ අරමුණ වන්නේ මෙම සංකීර්ණ සිදුවීම් මාලාව තේරුම් ගැනීම සඳහා කිසියම් රාමුවක් සකස් කර ගැනීමට උත්සාහ දැරීම යි. ඒ සඳහා ලෝක ආර්ථිකයේ වර්ධනය තුළ පවතින ප්‍රතිවිරෝධතා සහ ඒවා සම්බන්ධයෙන් ලෝකය සහ එක් එක් රටවල් ක්‍රියා කළ සහ කරන ආකාරය තේරුම් ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත. එනම්, රටවල් තම ආර්ථික සංවර්ධනයේ ප්‍රශ්න තෙරුම් ගෙන ඇති ආකාරය සහ ඔවුන් ක්‍රියා කරන ආකාරය අධ්‍යයනය කිරීම මගින් අද අර්බුදයට ඔවුන් මුහුණ දෙන ආකාරය තේරුම් ගැනීමට උත්සාහ දැරීම යි.

වත්මන් අර්බුදයට මුහුණ දීමේ දී රටවල් තම තමන්ගේ ආර්ථික සංවර්ධනය ගැන සිතන සහ ක්‍රියාකරන ආකාරය වැදගත් වෙයි . ඔවුන් අර්බුදයට මුහුණ දෙනු ඇත්තේ තම අත්දැකීම් අනුව රැස් කරගත් දැනුම යොදා ගනිමින් ය. ඒ අනුව ඔවුන් තම උපාය උපක්‍රම තෝරනු ඇත. ඒ ගැන අපට අවබෝධයක් ලබාගත හැකි වන්නේ මේ දක්වා ඔවුන්ගේ දැක්ම සහ උපාය උපක්‍රම හඳුනා ගැනීම මගිනි.

ලෝක ආර්ථිකයේ ප්‍රතිවිරෝධය

අද ලෝක ආර්ථික -දේශපාලන ක්‍රියාවලිය සිදුවන්නේ එක්තරා ප්‍රතිවිරෝධතාවයක ප්‍රතිඵල වශයෙනි. එම ප්‍රතිවිරෝධ්තාවය නම් ගෝලීය බවට පත්ව ඇති ආර්ථික ක්‍රියාවලිය සහ ජාතික රාජ්‍යයන් ලෙස සංවිධානය වී ඇති දේශපාලන ක්‍රියාවලිය අතර ප්‍රතිවිරෝධය යි. අද වෙළෙඳපොළ පමණක් නොව නිෂ්පාදන ක්‍රියාවලිය ද ක්‍රියාත්මක වන්නේ එක් රටකට සීමා නොවූ ගෝලීය ක්‍රමයක් වශයෙනි. තනි රටක කරන නිෂ්පාදන අද විරල ය. නිෂ්පාදනය සිදුවන්නේ ගෝලීය අගය දාම වශයෙනි. එසේ වුවත්, දේශපාලනය ජාතික රාජ්‍ය වශයෙන් පවතියි. එම ජාතික රාජ්‍යයන්ගේ වුවමනාවන් සහ ගෝලීය ආර්ථික ක්‍රියාවලිය අතර ගැටුමක් මෙන් ම සහපැවැත්මක් ද පවතියි. ලෝක ආර්ථික සංවර්ධනය සිදුවන්නේ මෙම ප්‍රතිවිරෝධය කළමනාකරණය කර ගැනීමක් වශයෙනි.

ජාතික රාජ්‍යයන් සහ ගෝලීය අවශ්‍යතා අතර ගැටුම සමනය කර ගෙන යුද ගැටුම්වලින් තොර ලෝකයක් පවත්වාගෙන යාමට ලෝක පරිමාණයෙන් බරපතළ උත්සහයක් දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලයේ ක්‍රියාත්මක වී ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය , ලෝක බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ තවත් ජාත්‍යන්තර සංවිධාන රැසක් මෙම කාලයේ බිහිවිය. මෙයින් ලෝක බැංකුව සහ මුල්‍ය අරමුදල කැප වුයේ ජාතික ආර්ථිකයගේ ගෝලීය අවශ්‍යතා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා ය.

1947 දී GATT

ගෝලීය වෙළෙඳපොළ තුළ නිදහස් තරගයේ අවශ්‍යතාවය ද ඒ වන විටත්, බලවත් ජාතීන් තේරුම් ගෙන තිබිණි. එම අරමුණ වෙනුවෙන් ම වූ සම්මුතියක් ලෙස ගැට්  (GATT – General agreement on trade and tariff ) සංවිධානය ආරම්භ වන්නේ 1947 දී ය. එයට එම අවස්ථාවේ සම්බන්ධ වූ රටවල් සංඛ්‍යාව 23 කි. (ඒ වනවිට අනෙක් බොහෝ රටවල් නිදහස ලබා නොතිබිණි) නිදහස් වෙළෙදාම වර්ධනය කිරීමේ සම්මුතියක් වූ එමගින් සියයට 22 ක උපරිම තීරු බදු ප්‍රතිශතයක් නියම කරනු ලැබීය.

මෙම සම්මුතියේ විශාල ඉදිරි පියවරක් වන්නේ 1994 දී උරුගුවේ සමුළුවෙන් ඇතිකරගත් වඩා විස්තරාත්මක නිදහස් වෙළෙඳ සම්මුතිය යි. ජාතික රාජ්‍යයන්ගේ ආරක්ෂණවාදී ක්‍රියාවන්ට සීමා නියම කළ එම සම්මුතිය මගින් තීරු බදු පැනවීමේ සීමා ද නියම කරනු ලැබීය. එමෙන් ම ලෝක වෙළෙඳ සංවිධානය බිහිකිරීම සඳහා එකඟත්වය ඇතිකර ගන්නා ලද්දේ ද මෙම අවස්ථාවේ දී ය.

1995 දී ලෝක වෙළෙඳ සංවිධනය

ලෝකයේ බොහෝ රටවල් මෙම ක්‍රියාවලියට උනන්දුවෙන් සම්බන්ධ වුයේ තමන්ගේ ජාතික ආර්ථිකයන් තුළ යම් ආරක්ෂණයන් කළ යුතු වුව ද , ආර්ථික සංවර්ධනය සඳහා ගෝලීය නිදහස් වෙළෙඳපොළක අවශ්‍යතාවය අවබෝධ කරගැනීම නිසා ය. ඒ සඳහා තම තමන්ගේ රටවල ඇතැම් ආරක්ෂණ පිළිවෙත් කැප කිරීමට සිදුවන බව මේ සියලු රටවලට අවබෝධ වී තිබිණි. 1995 දී රටවල් 162 ක සහභාගීත්වයෙන් ලෝක වෙළෙඳ සංවිධානය බිහිවන්නේ එම අවබෝධයේ ප්‍රතිඵල වශයෙනි.

එම ක්‍රියාවලිය එවක බලවත්ව සිටි වාමාංශික කණ්ඩායම් විසින් හඳුන්වන ලද්දේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ වුවමනාව අනුව ලෝකය සුරාකෑම සඳහා ක්‍රියාත්මක කළ වැඩ පිළිවෙළක් වශයෙනි. එය නව ලිබරල්වාදය ලොව පුරා ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක් බව කියමින් ඔවුහු එයට විරෝධය ප්‍රකාශ කළහ.

කොමියුනිස්ට් චීනය හිතපු හැටි

එසේ වුවත්, විශාලතම කොමියුනිස්ට් රාජ්‍යය වූ චීනය ක්‍රියාත්මක කළේ වෙනත් ප්‍රතිපත්තියකි. එරට 1994 දී ගැට් (GATT) සම්මුතියට සම්බන්ධ වීය. එමෙන් ම, 1995 දී ලෝක වෙළෙඳ සංවිධානය බිහිකරන විට එහි ආරම්භක සාමාජිකයකු වීමට ද චීනයට අවශ්‍ය වීය. එම අවස්ථාවේ එය වළකන ලද්දේ ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය එයට විරුද්ධ වීම මගින් ය.

එම රටවල් කීවේ ලෝක වෙළෙඳ සංවිධානයට සම්බන්ධවීමට චීනය තමරටේ ආර්ථික නිදහස පුළුල් කරන ප්‍රතිසංස්කරණ කළ යුතු බව යි. ඒ අනුව චීනය තම ආර්ථිකයේ සේවා අංශය විදේශ ආයෝජන සඳහා විවෘත කිරීමත්, තීරුබදු සහ බුද්ධිමය දේපළ අයිතිය සම්බන්ධ නීති සංශෝධනයත් ඇතුළු ප්‍රතිසංස්කරණ ගණනාවක් කළේය.

එපමණක් නොවේ. චීනය ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ද ක්‍රියාත්මක වී ය. චීන ජනාධිපති ජියැන් ශෙමින් 1997 දී ඇමෙරිකාවේ සංචාරය කළේය. චීනයේ ආරාධනය පරිදි ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් 1998 දී චීනයේ සංචාරය කළේය. චීනය ලෝක වෙළෙඳ සංවිධානයට සම්බන්ධවීමට ඇමෙරිකාවේ විරෝධය ඉවත්කර ගන්නා ලද්දේ එබඳු ක්‍රියාවලියකින් පසුව ය. චීනයට 2001 වසරේ දී එම සාමාජිකත්වය ලබාගත හැකි වී ය.

මෙයින් තේරුම් ගත යුත්තේ තම ආර්ථික වර්ධනය සඳහා නිදහස් ලෝක වෙළෙඳපොළක අවශ්‍යතාවය පිළිබඳ චීනයේ තිබු අවබෝධය සහ කැපවීම යි. අද චීනය ලෝක ආර්ථික බලවතා වී සිටින්නේ එබඳු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගිනි.

ලෝකය අලුත් මාවත් සොයයි

කෙසේ වෙතත්, ලෝක වෙළෙඳපොළ විශාල ලෙස නිදහස් කිරීමේ ලෝක වෙළෙඳ සංවිධනයේ සැලසුම සාර්ථක වුයේ නැත. ඒ සඳහා ඇතිකරගත් “වොෂින්ටන් සම්මුතිය “ අතහැර දමන්නට සිදුවුයේ ඇමෙරිකාව ඇතුළු බොහෝ රටවල් එය ක්‍රියාත්මක කිරීමට පැකිලීම හේතුවෙනි. එයට හේතු වුයේ ජාතික රාජ්‍යයන් තුළ පවතින දේශපාලන අවශ්‍යතා ඉහත කී ගෝලීය අවශ්‍යතා සමග ගැටීම යි.

ලෝක වෙළෙඳ සංවිධානය ලෙස ගෝලීය නිදහස් වෙළෙඳපොළ වර්ධනය කිරීමට දැරූ උතසාහයේ සාර්ථකත්වය ප්‍රමාණවත් නොවන විට බොහෝ රටවල් වෙනත් ආකාරයක උපාය මාර්ගයකට යොමු වූ බව අපට පැහැදිලිව හඳුනාගත හැකි ය. එම ක්‍රමය නම් රටවල් අතර ද්වි පාර්ශවික සහ බහු පාර්ශවික නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළඹී ඒවා ක්‍රියාවට නැගීම ය. මෙබඳු ගිවිසුම් ඇතිවීමේ ඉතාහාසය ලෝක වෙළෙඳ සංවිධානය බිහිවීමට වඩා ඈතට ගියත් පසුගිය දශක කිහිපයේ දී එම ක්‍රියාවලියේ වේගවත් වීමක් දකින්නට ලැබිණි.

මෙයින් බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ එකතුවක් වන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව ,චීනය ඇතුළු රටවල් කණ්ඩායමක් එකතුව පිහිටුවාගෙන ඇති බ්‍රික්ස් සංවිධනය යි. එය දැන් ප්‍රබල රාජ්‍ය එකතුවකි. ඒ හැරුණු විට කලාප වශයෙන් රාජ්‍යයන් එකතු වී ගිවිසුම් ගත වීම ද ලොව පුරා දක්නට ලැබෙයි. ට්‍රම්ප්ගේ ප්‍රහාරය නිසා උතුරු ඇමෙරිකා සහ ඇමෙරිකා කලාපයේ ගිවිසුම් බිඳ වැටී ඇතත්, අනෙක් කලාපවල රාජ්‍ය අතර ඇති කරගත් සංවිධාන බොහොමයක් දැන් ශක්තිමත් ලෙස ක්‍රියාත්මක ය.

යුරෝපා සංගමය එයින් ඉතා ශක්තිමත් එකතුවකි. ප්‍රංශය, ජර්මනිය , ඉතාලිය, ස්පාඥ්ඥය, පෘතුගාලය, නෙදර්ලන්තය, නොර්වේ, ස්වීඩන් ඇතුළු ප්‍රබල රාජ්‍ය කණ්ඩායමක් එයට ඇතුළත් ය. ඔවුන් අතර පොදු වෙළෙඳපොළක් වර්ධනය කොට පොදු මුදල් ඒකකයක් ලෙස යුරෝව ද භාවිතයට ගෙන තිබේ.

අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවල් අතර ද වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක ය. එතරම් සාර්ථක නැතත්, සාක් සහ බිම්ස්ටෙක් දකුණු අසියා කලාපයේ ක්‍රියාත්මක ය.

ආසියාවේ මහා පිම්ම

මෑතක දී ඉතා වැදගත් වර්ධනයක් වුයේ නැගෙනහිර ආසියානු කලාපයේ බිහි වූ ආර්සෙප් (RCEP) හෙවත් කලාපීය විස්තීර්ණ ආර්ථික සහයෝගිතා (Regional Comprehensive Economic Partnership) සංවිධනය යි. මෙහි ඉතහාසය මෙන් ම සංයුතිය ද වැදගත් ය.

ආර්සෙප් (RCEP) ආරම්භ කිරීමට මුලිකත්වය ගත්තේ ආසියාන් ලෙස පැවති අග්නිදිග ආසියානු රාජ්‍ය එකතුව යි. 1967 දී ඇමෙරිකාව මුල් වී මෙම සංවිධානය බිහි කළේ බටහිරට හිතවත් කණ්ඩායමක් ලෙස යි. එහි අරමුණ වුයේ චීනය සහ වියට්නාමය හරහා එන කොමියුනිස්ට් බලපෑම පරාජය කිරීම යි. නමුත්, නවසිය අනු ගණන්වල චීනය ආසියාන් වෙත යෝජනා කළේ තමන් අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගැනීමට ය. එම ගිවිසුමට එළඹීමත් සමග අගනිදිග ආසියාවේ භූ දේශපාලනය ද වෙනස් වී ය.  දැන් ආර්සෙප් (RCEP) දක්වා වර්ධනය වී ඇත්තේ එම එකඟතාවය යි.

දැන් මෙම සංවිධානයට ජපානය, ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව, චීනය, වියට්නාමය, කාම්බෝජය ,ඉන්දුනීසියාව, තායිලන්තය , මැලේසියාව, සිංගප්පුරුව, ලාඕසය, මියන්මාරය, බෘනායි, නවසීලන්තය,  සහ පිලිපීනය ද ඇතුළත් ය. ලෝක නිෂ්පාදනයෙන් සියයට තිහකට හිමිකම් කියන මෙම රටවල් ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් නියෝජනය කරයි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය එහි සාමාජිකත්වය අපේක්ෂා කරන රටවල් ලෙස සඳහන් ය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වය ලබා ගැනීමට ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් කළ යුතුව ඇත.

වෙනස් රටවල් එක මගක

නිදහස් වෙළෙඳ කටයුතු සඳහා මෙසේ එකතු වී සිටින්නේ එකිනෙකට වෙනස් ජාතික දේශපාලන ක්‍රම ක්‍රියාත්මක රටවල් ය. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම ඇති ජපානය සහ ඕස්ටේලියාව සමග කොමියුනිස්ට් පාලන ක්‍රම ඇති චීනය සහ වියට්නාමය ද මෙහි දී එකට ක්‍රියාත්මක වෙයි. භූමිපුත්‍ර සංකල්පයක් ක්‍රියාත්මක කළ මැලේසියාව සහ අර්ධ රාජාණ්ඩුවක් ඇති තායිලන්තය ද මෙහි සාමාජිකයෝ වෙති. ජාතික රාජ්‍ය දේශපාලනය සමග ගෝලීය ආර්ථක ක්‍රියාවලිය තුළනය වී ඇත්තේ ඒ ආකාරයෙනි. තේරුම් ගත යුතු කාරණය නම් මෙම රටවල් සංවෘත ආර්ථික ප්‍රතිපත්තිවලින් ඉවත් වෙමින් සිටින බව යි. සිංගප්පුරු අගමැතිවරයා මීට දින ගණනකට පෙර ප්‍රකාශ කළේ තමන් තීරුබදු සම්පුර්ණයෙන් වාගේ අහෝසි කළ රාජ්‍ය එකතුවක් බිහි කොට ඇති බව යි. එය ඉදිරි කාලයේ තීරුබදු සම්පුර්ණයෙන් ඉවත් කළ කලාපයක් වනු ඇතැයි ද ඒ මහතා කී ය. සිංගප්පුරු අගමැතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේ ට්‍රම්ප් ලෝකයට පැන වූ දැවැන්ත තීරු බදු මගින් ඇතිකළ නව ලෝක තත්ත්වය පිළිබඳ අදහස් දැක්වීමක දී ය.

ඇමෙරිකාවේ තීරු බදු ප්‍රහාරය ලෝකයේ විශාල අර්බුදයක් ඇති කරන බවට සැකයක් නැතත්, ලෝකයේ අනෙක් රටවල් තම ආර්ථික සංවර්ධනය සඳහා ඇතිකරගෙන තිබෙන ගිවිසුම්වලින් හෝ එම ප්‍රතිපත්තිවලින් ඉවත්වන බවක් පෙනෙන්නට නැත. ඔවුන් තම තමන්ගේ දැක්මට හා මෙතෙක් ක්‍රියාකළ ආකාරයට අනුව ක්‍රියා කරමින් නව තත්ත්වයට මුහුණ දෙන්නට උපක්‍රම තෝරා ගැනීමට ඉඩ ඇත.

ආර්සෙප් (RCEP) , යුරෝපා සංගමය, බ්‍රික්ස් වැනි සංවිධානවල පැවැත්ම මේ මොහොතේ ලෝකය අස්ථාවර වීම පාලනය කරන සාධක විය හැකි ය. ඒ සඳහා ඔවුන් එක්ව ක්‍රියා කළහොත් එය ලෝකයේ ම යහපතට හේතු වනු ඇත.

ශ්‍රී ලංකාව නම් සිටින්නේ මේ ක්‍රියාවලියට වඩා බොහෝ පිටුපසින් බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ නිසා ම අපගේ තත්ත්වය වඩාත් අනාරක්ෂිත ය. ඉදිරියේ ඇතිවන ලෝක ආර්ථික වියවුල තුළ අපගේ ආර්ථිකය සංවර්ධනය කර ගැනීමට නම් ආර්ථික ප්‍රතිසංස්කරණ කරමින් ඉතා ඉක්මනින් කලාපීය නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත් විය යුතුව ඇත. වෙනත් මාවත් නැත.

සී ජේ අමරතුංග

Social Sharing
අවකාශය ආර්ථික නවතම