ජාතිවාදය කියන්නෙත් සමාජවාදය වගේම තවත් දෘෂ්ටිවාදයක්. ඒක ජාතික ස්වෝත්තමවාදයක් කියලත් කියන්න පුළුවන්. තමන් සමාජවාදී නිසා සෙසු ජනයාට වඩා උතුම්ය කියල හිතන එකත් ස්වෝත්තමවාදයක්.
ස්වෝත්තමවාදයන් කියන්නෙ කරදරකාරී තත්වයන් බව ඇත්ත. ඒ වුණාට, ප්රජාතන්ත්රවාදී සමාජයක ඕනෑම කෙනෙකුට ඕනෑම දෘෂ්ටිවාදයක් දරන්නට අදහස තියෙනවා. එහෙම අදහස් දරපු පළියට මිනිසුන් ඝාතනය කරන්නට, එවැනි ඝාතන අනුමත කරන්නට බැහැ. මතවාදවලට මතවාදවලින් මුහුණ දිය යුතුයි. මතවාද ඝාතනයෙන් අවසන් කරන්නට බැහැ.
ඩෑන් ප්‍රියසාද් වැනි අය සිංහල ජාතිවාදය කරපින්නාගත් අය. පසුගිය කාලයේ මේ අය ඉදිරියට ආවේ මුස්ලිම් විරෝධය ඔස්සේයි. ඩෑන් ප්‍රියසාද්, මහසෝන් බලකාය, සිංහ ලේ වැනි සංවිධාන ගොඩනගන්නට අනුග්‍රහය දැක්වූයේ ප්‍රධාන වශයෙන්ම විදේශවල සිට ඔවුන්ට මුදල් එවූ අයයි. දැන් එම බලවේග ද සිටින්නේ මාලිමාව සමගයි.
ඩෑන් ප්‍රියසාද් වැන්නන් සිතන්නේ සිංහල ජාතිය උත්තම නිසා අනෙක් ජාතීන් යටහත් පහත් ලෙස සිටිය යුතු බවයි. ඔහුගේ ප්රවේශයේ යම් ප්රචණ්ඩත්වයක් ද දක්නට ලැබෙනවා. ශ්‍රී ලාංකික රාජ්‍යයේ ද මෙම ලක්ෂණය තියෙනවා. මා එය සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ආධිපත්‍යයෙන් යුත් එකක් ලෙස හඳුන්වන්නේ ඒ නිසායි.
වර්තමාන ආණ්ඩුව එම පදනම සහිත නායකත්වයකින් යුත්, එහෙත්, වෙනස් එකක්. එය බොහෝ දුරට ප්‍රභූ ධාරාවෙන් විතැන් වූවන්ගේ පක්ෂයක් වන ජවිපෙ ආණ්ඩුවක්.
ඩෑන් ප්‍රියසාද් ඝාතනය කළේ ඔහු ජාතිවාදියෙකු වූ නිසා බව ජවිපෙ අනුගාමිකයක් අනියමින් සමාජ මාධ්‍යවල පවසනවා. මේ අතර කංජිපානි ඉම්රාන් නම් පාතාල නායකයෙකු ලෙස හැඳින්වෙන පුද්ගලයකු ද එම ඝාතනයේ වගකීම භාරගන්නා ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍යවලට මුදාහළ බව කියැවෙනවා. ඔහු කියන ආකාරයට ඩෑන් ප්‍රියසාද් ජනාධිපති අනුර කුමාරගේ ආණ්ඩුවට මාස හයක් යද්දී එයට කරදර කරන කෙනෙක්.
ඔහුගේ ප්‍රකාශය සමග සිහිපත් වුණේ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යයකට සහාය පිණිස ලංකාවේ පාස්කු ප්‍රහාර එල්ල කළ සහරාන් ඇතුළු කණ්ඩායමයි. ඔවුන්ට අවසානයේදී අයිඑස් සංවිධානය සමග සම්බන්ධයක් තිබීත් නැහැ. එය ස්වේච්ඡා දායකත්වයක්. ත්‍රස්තවාදය තුළ එවැනි දේ සිදුවිය හැකියි. ඔය දැන් හොයන මහමොළ කිසිවක් සාධාරණ සැකයකින් තොරව ඉදිරිපත් කිරීමට නොලැබෙන්නේ ඒ නිසායි.
මෙය වෙනස් දේශපාලනික වර්ධනයක්. මහ මැතිවරණය ආසන්න කාලයේදී මා ජවිපෙට සහාය දෙන බුද්ධිමතකු වන වංගීස සුමනසේකර සමග පැවති ෆේස්බුක් සංවාදයකදී පාතාලය සමාජය මත ගොඩනගා ගනිමින් සිටින ආධිපත්‍යයත්, එය මාලිමාව වෙතත් විහිදෙමින් තිබෙන ආකාරයත් පෙන්වා දුන්නා.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රබල වූ හැම කාලයකම අපරාධකරුවන් ජවිපෙ වෙත සමීප වෙනවා. ඔවුන් ද විවිධ හේතු මත සමාජයෙන් පිටස්තර වූවන්. ජවිපෙ කියන්නෙ එසේ පිටස්තර වූ මධ්‍යම පන්තිකයන්ගේ බල ලෝභයේ පක්ෂය බව දැන් පැහැදිලියි. පාතාල අපරාධකරුවන් ද ජවිපෙ තම පක්ෂය ලෙස සැලකීම හා ස්වේච්ඡාවෙන් යම් දේ කිරීමට පෙළඹීම සිදු විය හැකි දෙයක්.
1989 කැරැලි සමයේ ටිල්වින් සිල්වා විසින් බන්ධනාගාරයේදී කොක්ක ගසන ලද චේන් පාල නමැති ක්ෂුද්‍ර මට්ටමේ මංකොල්ලකරුවෙකු කලුතර ජවිපෙ සමග සම්බන්ධව වැඩ කළා. මෙවැනි අයට ජවිපෙ දේශපාලන සංස්කෘතියට ඇතුළු වීමට බැරිකම නිසාත්, තුවක්කු අතට ලැබීම සමග ඔවුන් මංකොල්ලකෑම දෙසට වැඩිපුර යොමු වීම නිසාත් අවසානයේදී සිදු වුණේ ජවිපෙ අතින් මරණයට පත්වීමයි.
පැලවත්ත බන්ධනාගාරයෙන් උමගක් හරහා පැන ගිය ජවිපෙ පිරිස අතර මට මතක විදියට ‘සමනලයා’ වැනි නමක් තිබූ ප්‍රසිද්ධ මංකොල්ලකාරයකු ද සිටියා.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ පරීක්ණ තවම අවසන් නැහැ. ඝාතකයින් කවුරුද, ඝාතනයේ අරමුණ මොකක්ද වැනි කරුණු පරීක්ෂණයෙන් පසුවද හෙළිදරව් වේ යයි සිතිය නොහැකියි.
කෙසේ වෙතත්, සිදුවෙමින් තිබෙන අමුතු අමුතු සිදුවීම් නිසා ගොඩනැගෙමින් ඇති අරාජිකත්වය තවත් ගැඹුරු වෙමින් තිබෙනවා. ඒ නිසා මෙම වර්ධනයන් ගැන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අවධානය යොමු වීම වැදගත්.
අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk