දළදා වන්දනාවට එන, පෝලිමේ හිටියත් පිං සිදුවෙනවා යයි සිතන, දන්ත ධාතූන් වහන්සේ දැක කඳුළු සලන, ජනාධිපතිවරයාට පිං දෙන, කැලි කසල දමා නුවර හැඩි කරන, මළ මුත්‍රා දමා ගඳ ගස්සන මේ ජනකාය සංකේතවත් කරන්නේ පසුගිය මහ මැතිවරණයේදී මාලිමාවට ඡන්දය දුන් සිංහල -බෞද්ධ දිළිඳු ජනයාය. ඔවුන්ගෙන් බහුතරය ගැමියෝය. තවත් ඇතැමෙක් නාගරික දිළින්දෝය.
ඇති හැකි බොහෝ අය මේ පෝලිමේ නොයති. සුළු පිරිසක් වීඅයිපී පෝලිමේ යති. ඇති හැකි වැඩිදෙනෙකු දළදා වැඳීමේ අදහස අතහැර තිබේ.
ලංකාවේ පහළ මධ්‍යම පන්තියට බලය ලබාගැනීමට තිබුණු ආශාවේ ප්රකාශනය වීම හැර අන් කිසිදු ගැඹුරක් ජාතික ජන බලවේගයට නොමැති බව දැන් දැන් ඔප්පු වෙමින් තිබේ. ඔවුන් වන්දනාමාන කළ පූජනීය දෙය බලයයි. එය දැන් ඔවුන්ට ලැබී ඇත. අතට ගෙන බැලූ විට එය මුහුදු ජල්ලියක් වැනි අතින් ලිස්සා යන ආකෘතියක් නොමැති දෙයකි. ඒ නිසා දැන් ඔවුන් බලය වෙන තැනක ඇතැයි සිතති. පාර රාජ්‍ය ආදී කතා නිර්මාණය කරති.
පහළ මධ්‍යම පන්තික බල ලෝභය වෙනුවෙන් දශක ගණනාවක් මුළුල්ලේ ජවිපෙ විසින් ජනයා නොමග යවන ලදි. අවසානයේදී ඒ නොමග ගිය ජනයා ඉතිහාසයේ පෙර නොවූ විරූ බලයකින් ජවිපෙ ආණ්ඩුවට පත් කර ඇත. ජවිපෙ දේශපාලන සංස්කෘතියේ යම් වෙනසක් කරමින් සිටියි. එය පැසසිය යුතුය. එහෙත්, ඔවුන් දේශපාලන සංස්කෘතිය තුළ වගාකරන්නට උත්සාහ කරන බොරුව නම් ස්ථිරව මුල් අදින බවක් නොපෙනේ.
දළදා දැක්මට ආ සෙනග මෙවර පළාත් පාලන මැතිවරණයේදී ද මාලිමාවට ඡන්දය දෙනු ඇත. එහෙත්, මාලිමාවට මේ පිරිස දිගින් දිගටම රඳවා තබාගත හැකිද?
දළදා වන්දනා පෝලිම් තුළ පවා දක්නට ලැබුණු දෙය වන්නේ මෙම ජනයා ඉතා පහසුවෙන් අයුතු ජනරාශි බවට පත්වන බවයි. එක තෙල් පෝලිමකින් මේ මහා ජන සහයෝගය අනෙක් පැත්ත හැරිය හැකිය. දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමෙන් පමණක් ඔවුන් දීර්ඝකාලීනව තෘප්තිමත් කළ නොහැකිය. රට සංවර්ධනය කළ යුතුය. දැනට නම් කිසිවක් සිදුවන්නේ නැත. (දේශපාලන සංස්කෘතියේ වෙනස ද වෙන යමක් නොව, කලින් තිබුණු පවුල් පාලනයේ තැනට පක්ෂ වහල් සමාජයක් ආදේශ වීම පමණි.)
මුග්ධත්වය නඩත්තු කිරීමෙන් සමාජයක් වෙනස් කළ නොහැකිය. දේශපාලන වාසි ලබාගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පවත්වන්නට යෙදුණ දළදා වන්දනාව විසින් සිදු කර ඇත්තේ මාලිමාවට ඡන්දය දුන් සිංහල බෞද්ධ ගැමි ජන බලවේගය මහනුවරට ගෙන්වා අසරණ කර ඔවුන් නිරුවත් කර අවමානයට ලක්කිරීමයි.
මේ මුග්ධත්වය වෙනස් කළ යුතුය. දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට දරන ප්රයත්නය හා සමාන බරක් ඒ වෙනුවෙන් ද යෙදිය යුතුය. තම ඡන්ද දායකයා මේ සිටින තැනින් ඔසවා තැබීමට මාලිමාව කරන්නේ කුමක්ද?