ත්‍රස්ත ලේබල් රැදවියන් නිසා GSP+ තීරුබදු සහනය අනතුරේ ..!

මානව හිමිකම්  ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වමින් සිටින නොසැලකිලිමත් හා වල්මත් වූ ප්‍රවේශය, යුරෝපා සංගමයේ GSP ප්ලස් තීරු බදු සහනය අහිමිවීමේ අවදානමකට ලක්වෙමින් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ක්‍රියා නොකොට, තවදුරටත් එම පනත යටතේ සිදු කරන අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් පිළිබඳ සිදුවීම් ගණනාවක් පසුගිය මාස කිහිපය තුල වාර්තා වී ඇත.

ඊශ්‍රායලයට එරෙහිව ස්ටිකරයක් ඇලවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිට්ටඹුවේ තරුණයෙකු ත්‍රස්තවාදය වෑළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කළ අතර, පසුව ඔහු අධිකරණය විසින් ඇප පිට මුදා හරින ලදී.  නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු වන සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් 2007 වසරේ සිදුවූ අතුරුදහන්කිරීමක් පිළිබඳ සිද්ධියකට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ත්‍රස්තවාදය වෑළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටියි.

මෙයට අමතරව නැගෙනහිර පළාතේ ආරුගම්බේ ප්‍රදේශයේ දී ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන ලද්දේ යැයි සැකපිට පුද්ගලයින් කිහිප දෙනෙකු රඳවා තබා ඇත.  2024 සැප්තෑම්බර් සිට මේ දක්වා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පුද්ගලයින් ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

මේ අතර රැඳවුම් භාරයේ සිටින හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට දුරකතනයෙන් ඇමතීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ ඉල්ලීමක් නීති විරෝධී බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල විසින් මාධ්‍යයට ප්‍රකාශ කොට ඇත. එම ඉල්ලීම පදනම් කරගෙන හිටපු ජනාධිපතිවරයාද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවද මාධ්‍ය වාර්තා කර ඇත. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලැබූ පුද්ගලයින්ට කෲර වධහිංසා පැමිණවීමේ සහ එමගින් පාපොච්ඡාරණ ලබා ගැනීමේ ඉතිහාසයක් ශ්‍රී ලංකාවේ පවතින බැවින් දේශපානඥයින් ද, මානව හිමිකම් ක්‍රියාකාරීන් ද, නිරන්තයෙන් ඔවුන් ගැන විමසිලිමත්වීම සාමාන්‍ය තත්වයකි.

තව ද, පිල්ලේයාන් ගේ නීතිඥවරයා ලෙස කටයුතු කළ හිටපු අමාත්‍යවරයකු වන නීතිඥ උදය ගම්මන්පිල මහතාට එරෙහිව  ද දැවැන්ත වෛර සහගත ප්‍රචාරයක් සැලසුම් සහගත ලෙස රජයට හිතවත් පාර්ශව විසින් සිදු කර ඇත.

මේ සියළු සිදුවීම් සම්බන්ධව අපක්ෂපාත පරීක්ෂණ නොපවත්වා එවැනි සිදුවීම් වැළැක්වීමට කටයුතු නො කිරීම යුරෝපා සංගමයේ මුලික ජී.එස්.පී. ප්ලස් නිර්ණායකයක් වන ‘සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්’ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවේ රජය සතු වගකීම නොතකා හැරීමකි. ශ්‍රී ලංකා රජය 2010 වසරේ දී මානව හිමිකම් හා කම්කරු නීති නොතකා කටයුතු කිරීම හේතුවෙන් ජී.එස්.පී. ප්ලස් බදු සහන අත්හිටුවනු ලැබීය. 2017 වසරේ දී නැවත එම සහන දිනා ගැනීමට යහපාලන රජය සමත් වූයේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලකිනි. එහි දී ලබා දෙන ලද එක් පොරොන්දුවක් වූයේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන මූලික අයිතිවාසිකම් වලටත්, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි එන අයිතිවාසිකම් වලටත් අනුකූල නොවන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවය. ඒ අනුව, ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ ප්‍රමිතීන්ට අනුකූල වන සේ ප්‍රති ත්‍රස්ත පනත (Counter Terrorism Act) කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවද සම්මත කර ගැනීමට නොහැකි විය.

2019 වසරේ අග සිදුවූ ආණ්ඩු පෙරළියත් සමඟම මෙම සමස්ත ක්‍රියාවලිය අතහැර දමන ලද අතර අලුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ද ගනු නොලැබීය. එහි ප්‍රතිඑලයක් ලෙස, 2021 දී යුරෝපීය පාර්ලිමේන්තුව ලංකාවේ තත්වය පිළිබඳ ‘යුරෝපා කොමිසමේ’අවධානය යොමු කරමින් ‘ලංකා රජය ඒ වන විට බුක්ති විදිමින් සිටි ජී.එස්.පී. ප්ලස් සහනය තාවකාලිකව ඉවත් කිරීමට අවධානය යොමු කරන ලදී. ගෝඨාභය රජය මෙම බලපෑම හමුවේ සැකකරුවන්ට ඇප ලබාදීමට අධිකරණයට බලය ලැබෙන පරිදි ‘ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට සංශෝධනයක් ඉදිරිපත් කළේය.

2022 වසරේ ඇතිවූ ‘අරගලයෙන්’ පසු කාලය තුල ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටි විශාල පිරිසක් ඇප මත නිදහස් කිරීම, ඇතුළු ක්‍රියාමාර්ග හේතුවෙන් ලංකා රජය ට යුරෝපා සංගමයේ අනුග්‍රහය ලැබුණි. විශේෂයෙන්ම ආර්ථික බංකොලොත් භාවයෙන් මිදීම සඳහා යුරෝපා සංගමය ලංකා රාජ්‍යයේ මිතුරෙකු ලෙස කටයුතු කළේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ‘ත්‍රස්ත විරෝධී පනත’ කෙටුම්පත් කිරීම, ‘සත්‍ය හා ප්‍රතිසංන්ධාන පනත සැකසීම හා වන්දි ගෙවීම් විධිමත් කිරීම හේතුවෙන් ජී.එස්.පී. සහනය වසර තුනක් සඳහා දීර්ඝ කරනු ලැබීය.

2024 සැප්තෑම්බර් නව රජය බලයට පත්වීමෙන් පසුව, ගෙවුණු මාස 6 තුල ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබා ගැනීමට තීරණාත්මක කරුණු සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් දක්වා නැත.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවට ජාතික ජනබලවේය සිය මැතිවරණ ව්‍යාපාරය තුල දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියේය. නමුත්, බලයට පත්වී මාස හයක් ගත වන විටත් එම පනත අහෝසි නොකොට, ඒ යටතේ දිගින් දිගටම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම හා රැඳවා ගැනීම් සිදුකිරීම මගින් යුරෝපා සංගමයේ බදු සහන ශ්‍රී ලංකාවට අහිමිවීමට හේතු විය හැකිය.

රජිත් කීර්ති තෙන්නකෝන් – විධායක අධ්‍යක්ෂ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

Social Sharing
ආර්ථික නවතම පුවත්