තදබද අස්සේ සිරකරුවෝද මනුෂ්‍යයෝය.

සිරකරුවෝද මනුෂ්‍යයෝය

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා පසුගියදා ලංකාවේ රක්ෂිත බන්ධනාගාරයන්හි තත්වය පිළිබද අනාවරණයක් කරමින් ඒවායේ තත්වය ශෝචනීය බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීලා බන්ධනාගාරගතවන සෑම අවස්ථාවකම පාහේ ඔවුන් මේ තත්වය එළිදරව් කර ඇතිවාට සැක නැත.

ඔහු පමණක් නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි වෛද්‍ය සාෆි ශියාබ්දීන් මහතාද පසුගියදා පැවැති වැඩසටහනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් ස්ථානයෙහි ශෝචනීය බව එළිදරව් කරන ලදී.

ලංකාවේ ආණ්ඩුවේ රක්ෂිත භාරයේ පසුවන රැවදියන්ගේ තත්වය ඉතා ශෝචනීය බව මේ රටේ මානව හිමිකම් සංවිධාන ද මානව හිමිකම් කොමිසම ද පෙන්වා දෙන්නේ අද ඊයෙක නොවේ. ඒවා පිළිබදව නෑසූ කන්ව සිටීම මේ රටේ වගකිවයුතු බලධාරීන්ට පුරුදුය. ජනතාවටද ඒ ගැන වගේ වගක් නැත.

රක්ෂිත බන්ධනාගාරයන්හි නිලධාරීන් හිඟකම රැදවියන් ඝනත්වයේ අධිකතර බව, රැදවියන්ට ලබා දෙන ආහාරයන්හි ඛේදනීය බව ද රැදවුම් ස්ථානයන් මිනිස් වාසයට නුසුදුසු ලෙස ඕනෑකමින් පවත්වාගෙන යාම සනීපාරක්ෂක පහසුකම් හි දුර්වලතාවය පිළිබද කොයිතරම් වාර්තා ලබා දුන්නද මාධ්‍ය හමු පැවැත්වුවද ආණ්ඩුවට හා මෙරට ජනතාවට ඒ ගැන වගේ වගක් නැත.

සිරකරුවෝද මනුෂ්‍යයෝ යනුවෙන් විශාල පුවරුවක් ප්‍රදර්ශනය කරන්නේ මූනිච්චාවටය.

ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් වර්ෂ 2018 දී පුළුල් පර්‍යේෂණයක් ලංකාවේ රැදවුම් ස්ථාන පිළිබද සිදු කරන ලදී. ඉන්පසු ඔවුන් විශාල වාර්තාවක් සකස් කරන ලද අතර එය https://www.hrcsl.lk/documentation/thematic-reports/?lang=si සබැදියෙන් ඔබට බාගත කරගත හැක.

එකී වාර්තාවේ මෙම ස්ථානවල තත්වය ගැන සිරගෙවල් වල තත්වය ගැන රක්ෂිත බන්ධනාගාරයන්හි තත්වය ගැන ප්‍රමාණවත් විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි.

එම වාර්තාවේ විධායක සාරාංශය සහ නිර්දේශ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ප්‍රකාශයට පත් කර ඇත. https://rb.gy/3sz7vb මෙම සබැඳිය ඔස්සේ ඔබට ඕනෑම භාෂාවකින් බාගත කළ හැක.

මෙම වාර්තාව මගින් බන්ධනාගරයන්හි තත්වය වැඩි දියුණුකිරීමට අදාළ නිර්දේශ ගණනාවක් රජයට ඉදිරිපත් කර ඇත. අධික තදබදය අවම කිරීම,  සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීම, නිලධාරී හිගයට විසදුම් දීම, ආහාර හා පෝෂණ මට්ටම ඉහළ දැමීම්, පවුල හා සමාජානුයෝජනයට පහසුකම් දීම ඒ අතර ප්‍රධානය.

කණගාටුවට කරුණ නම් මේ කිසිදු නිර්දේශයක් ක්‍රියාත්මක කිරීමට මෙරට ආණ්ඩු උවමනාවෙන් කටයුතු නොකිරීමය. මානව හිමිකම් කවුසලයේදී  මේ ප්‍රශ්න පැන නගිද්දී ඩිප්ලොමැටික් උත්තර ලබාදීමෙන් මානව ගරුත්වයට නිගා දෙන මේ ප්‍රශ්නය විසදිය නොහැක. කල යුත්තේ ඇත්ත උවමනාවකින් ඉහත කී මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කල වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමයි. චාමර සම්පත් මන්ත්‍රීතුමා ද පාර්ලිමේන්තුවේ දී එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජයට බල කල යුතුය.

ස්තූතියි.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග