GSP+ අහිමි වූවොත් රටට සිදුවන හානිය පිළිබඳ වාර්තාවක්…

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන GSP+ සහනය අහිමි වුවහොත් ඉන් ආර්ථිකයට සිදුවන පාඩුව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් අධ්‍යනයක් සිදුකොට ඇති අතර ඉන් අනාවරණය වී ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 1.23 ක් පමණ පාඩුවක් සිදුවන බවයි.
GSP+ සහනය අහිමිවීමත් සමඟ, ශ්‍රී ලංකාව MFN කාණ්ඩයට එක්වීමෙන් යුරෝපා සංගමය සමග සිදු කරන වෙළඳ ගනුදෙනුවලදී තීරුබදු වැඩිවීමකට මුහුණ දීමට අවදානමක් ඇති බව එම වාර්තාවෙන් තවදුරටත් පෙන්වා දී තිබේ.

ඒ අනුව එහි ප්‍රතිපලයක් වශයෙන් ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට කරන අපනයනවලින් 36.7% ක ප්‍රතිශතයක් අහිමි වී යනු ලැබේ. එමෙන්ම GSP+ සහනය ඉවත් කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ අපනයන සහ ශ්‍රම බලකායට එල්ල වන බලපෑම් කෙසේද යන්න අධ්‍යයනයෙන් පෙන්නුම් කර ඇත.ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පර්යේෂකයන් වන ආචාර්ය අසංක විජේසිංහ, චායා දිසානායක සහ රශ්මි අනුපමා විසින් එම අධ්‍යයනය සිදු කර තිබේ.

යුරෝපා සංගමය යනු ට්‍රාන්ස්ෆෝමර් වැනි අධි තාක්‍ෂණික නිෂ්පාදන සඳහා ප්‍රධාන වෙළඳපොලක් වන අතර 2019 වර්ශයේ දී ශ්‍රී ලංකාවේ ට්‍රාන්ස්ෆෝමර් අපනයනවලින් 50% ක් එම සංගමය වෙත සිදු කර තිබේ. ඒ අනුව GSP+ අහිමි වීමෙන් ට්‍රාන්ස්ෆෝමර් අපනයනය 10% කින් පහත වැටීමට හේතු විය හැකි බව වාර්තාව පෙන්වා දෙයි.
ඇඟලුම් අංශය මෙම GSP+ සහනය සම්පූර්ණයෙන් භාවිත නොකළද, තීරුබදු 10%කින් පමණ ඉහළ යා හැකි කර්මාන්තයක් ලෙසින් හා දැඩි ලෙස පීඩාවට පත් විය හැකි කර්මාන්තයක් ලෙස හඳුනාගෙන ඇත.

මෙම අපනයන පහත වැටීම හේතුකොටගෙන විරැකියාවක් ද ඇති කරනු ඇති අතර යුරෝපා සංගමයේ ඉල්ලුම අඩුවීම හේතුවෙන් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ කාර්මික ශ්‍රම බලකායෙන් ආසන්න වශයෙන් 4% ට වඩා වැඩි අහිතකර ශ්‍රම වෙළඳපල තත්වයන්ට ගොදුරු විය හැකිය.
GSP+ සහනය අහිමි වුවහොත් මෙරට ඇඟලුම් අංශයේ සේවකයින්ගෙන් 13.47% කට රැකියා අහිමිවීමේ අවධානමක් ඇත.
යුරෝපා සංගමය මෙරටි සිදු කරන ආනයන හා සම්බන්ධ රැකියා සංඛ්‍යාව මත පදනම්ව එම වාර්තාව ඇස්තමේන්තු කර ඇත්තේ MFN තීරුබදු යටතේ අඩුවන අපනයනවල බලපෑමෙන් සමස්ත කම්කරුවන් 73,574ක් අවදානමට ලක් විය හැකි අතර ඉන් 65% ට වඩා කාන්තාවන් සහ අඩු හෝ මධ්‍යම ප්‍රමාණයේ පුහුණු ශ්‍රමිකයන් වනු ඇති බවයි.

 

Social Sharing
ආර්ථික පුවත්