ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය

අපි අපට සංයුක්ත ලෙස නිරීක්ෂණය කළ හැකි දේවල් ඒ විදිහට සිදු වෙන්නේ ඇයි කියන එක පහසුවෙන් තේරුම් ගැනීම පිණිස වියුක්ත ආකෘති හදා ගන්නවා. නමුත් මේ ආකෘති කියන්නේ ඇත්තටම සිදු වන දෙය නෙමෙයි. යම් උපකල්පිත තත්ත්වයන් යටතේ සිදු විය හැකි දේ. හොඳ ආකෘතියක් කියන්නේ බොහෝ ප්‍රායෝගික තත්ත්වයන් යටතේ අපගේ නිරීක්ෂණ සමඟ ගැලපෙන ආකෘතියක්. මෙය ඕනෑම විද්‍යාවකට පොදු කරුණක්.

බොහෝ විට, ශුද්ධ විද්‍යා ආකෘතියක් මගින් විස්තර කෙරෙන තත්ත්වයන් අප‍ට සාමාන්‍ය තත්වයන් යටතේ නිරීක්ෂණය කළ හැකි දේවල් සමඟ පහසුවෙන් ගලපා ගන්න පුළුවන්. ඒ ආකෘති වල විචල්‍යයන් අතර සම්බන්ධය සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැහැ. නමුත් සමාජ විද්‍යා ආකෘති සම්බන්ධව තත්ත්වය තරමක් වෙනස්. අප‍ට නිරීක්ෂණය කළ හැකි තරම් කෙටි කාලාන්තර ඇතුළත විචල්‍යයන් අතර සම්බන්ධය වෙනස් වෙනවා. එවිට ආකෘතියක වලංගුතාවය නැති වී යන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යා ආකෘතියකින් කරන්නේ පවතින තත්ත්වය විස්තර කරන එක. පවතින තත්ත්වය වෙනස් කිරීම දේශපාලනය. දේශපාලනය හරහා සමාජයක පවතින තත්ත්වය වෙනස් කෙරෙද්දී ආර්ථික විචල්‍යයන් අතර සම්බන්ධතා වල ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. එවිට එතෙක් හොඳින් “වැඩ කළ” ආර්ථික විද්‍යා ආකෘතියක් ඒ විදිහටම වැඩ නොකරන්න පුළුවන්.

මේ වගේ අවස්ථාවකදී ආකෘතිය ඇත්තක් සේ සලකමින් සමාජයේ සිදු වන දෙය සිදු නොවිය යුතු, “වැරදි” දෙයක් කියා අපට කියන්න බැහැ. හරි වැරදි සෙවීම දේශපාලනයේ වපසරියට අයිති දෙයක්. දේශපාලනය හරහා සමාජය වෙනස් වෙනවානම්, ඒ වෙනස් වීම් වලින් පසුව කලින් වැඩ කළ ආකෘති තව දුරටත් සාර්ථකව වැඩ කරන්නේ නැත්නම්, කළ යුත්තේ ආකෘති වෙනස් කර ගන්න එක. එහෙම නැත්නම් අලුත්ම ආකෘති හදා ගන්න එක.

සමාජයීය විචල්‍යයන් අතර සම්බන්ධතා වල ස්වරූපය වෙනස් වෙන්නේ දේශපාලනික වෙනස්කම් නිසා පමණක් නෙමෙයි. තාක්ෂනය වෙනස් වීම නිසාත් එම සම්බන්ධතා වල ස්වරූපය විශාල ලෙස වෙනස් වෙනවා. හැබැයි එයින් අදහස් වෙන්නේ මේ ආකෘති වලින් වැඩක් නැහැ කියන එක නෙමෙයි. ආකෘති බොහොමයක් විවිධ හා වෙනස් වන තත්ත්වයන් යටතේත් හොඳින් වැඩ කරනවා. ඒ තත්ත්වයේ වෙනසක් වෙන්නනම් එක්කෝ විශාල දේශපාලනික වෙනසක් විය යුතුයි. එහෙම නැත්නම් තාක්ෂනයේ විශාල වෙනසක් සිදු විය යුතුයි.

ප්‍රායෝගිකව තනි පුද්ගලයකුට සමාජය විශාල ලෙස වෙනස් කරන්න බැහැ. අප බොහෝ දෙනෙකු ජීවත් වන්නේ “දෙන ලද” සමාජයක. එවැනි සමාජයක අන්තර් සම්බන්ධතා තේරුම් ගත හැකි හොඳ ආකෘති තිබෙනවා. මේ ආකෘති වල උදවුවෙන් තනි පුද්ගලයෙකුට, ආයතනයකට හෝ රටකට වඩා හොඳ තීරණ ගන්න පුළුවන්.

කවුරු හෝ කෙනෙක් ක්‍රිකට් වැනි ක්‍රීඩාවක් කරනවානම් ඒ ක්‍රීඩාවේ නීති පිළිපදින්න වෙනවා. මේ නීති තමන්ට අභිමත පරිදි වෙනස් කරන්න බැහැ. නමුත් මේ නීති වෙනස් නොවෙන, ස්ථිර නීති නෙමෙයි. වරින් වර මේ නීති වෙනස් වෙනවා. ඇත්තටම කිවුවොත් වෙනස් කරනවා. එසේ කරන්නේ කිසියම් බලාධිකාරයක් විසින්. උදාහරණයක් විදිහට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය. ඒ බලාධිකාරියේ කොටසක් විය හැක්කේ පවතින නීති යටතේ ක්‍රීඩා කර උඩට එන කෙනෙකුට පමණයි. හරි වුනත්, වැරදි වුනත්, සාමාන්‍ය ලෝක ස්වභාවය ඕක තමයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ පූර්ණ සාමාජිකත්වය ගන්න බැරි රටකට ක්‍රිකට් නීති වෙනස් කරන එක ගැන හිතන්න බැහැ. යම් හෙයකින් හිතුමතේට එවැනි වෙනසක් කළා කියලා වෙනත් කිසිවෙක් ඒ වෙනස පිළිගන්නේ නැහැ. ඒ රටේ ක්‍රිකට් තව දුරටත් ක්‍රිකට් නොවන එකයි අන්තිමට වෙන්නේ. නමුත් ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන රටක් යම් වෙනසක් යෝජනා කළොත් එය අලුත් සම්මතයක් වෙන්න පුළුවන්. එවැන්නක් වැළැක්විය හැක්කේත් කවුන්සලයේ රටකටම පමණයි.

ජාත්‍යන්තර වෙළඳාම ගැන කියන්න තියෙන්නෙත් ඔය කතාවමයි. ලංකාව වගේ රටකට තියෙන නීති වලට අනුව ක්‍රීඩා කරනවා මිසක් නීති වෙනස් කරන එක ගැන හිතන්න බැහැ. නමුත් ඇමරිකාවේ ආණ්ඩුවට ක්‍රීඩාවේ නීති වෙනස් කරන්න පුළුවන්. එහෙම කරන්න උත්සාහ කරද්දී ලංකාව වගේ රටකට අඩු වශයෙන් විරුද්ධ වෙන්නවත් බැහැ. එහෙම කරන්න පුළුවන් “කවුන්සලය” ඇතුළේ ඉන්න චීනය වගේ රටවල් වලට පමණයි.

ජාත්‍යන්තර වෙළඳ ක්‍රීඩාවේ නීති කාලයක් තිස්සේ වරින් වර වෙනස් වී තිබෙනවා. ඒ වෙනස්කම් සිදු කර තිබෙන්නේ හොඳින් ක්‍රීඩා කරන රටවල් විසින්. ඇමරිකාව වගේ රටකට තනිව වුවත් ජාත්‍යන්තර වෙළඳ ක්‍රමයේ විශාල පරිවර්තනයක් කරන්න පුළුවන්.

සමහර සමාජ පරිවර්තන යම් නිශ්චිත පුද්ගලයෙක් විසින් යම් නිශ්චිත මොහොතක කරනවා. මෙවැනි අවස්ථාවක් දෙස මතු පිටින් බලා විග්‍රහ කරන කෙනෙක් අදාල පරිවර්තනය තනි පුද්ගලයෙකුගේ කාර්යයක් සේ සලකන්න පුළුවන්. නමුත් සමාජ පරිවර්තනයක් වෙන්නේ ඒ සඳහා අවශ්‍ය වාස්තවික තත්ත්වයන් තුළයි. වාස්තවික තත්ත්වයන් අනුව යම් සමාජ පරිවර්තනයක් සිදුවීමට ඉඩ ඇත්නම්, වෙනත් පුද්ගලයෙක් අතින්, ආසන්න වෙනත් අවස්ථාවක හෝ ඒ පරිවර්තනය සිදු වෙන්න විශාල ඉඩක් තිබෙනවා. මේ වෙලාවේ ජාත්‍යන්තර වෙළඳ ක්‍රමයේ සිදු වන්නේද එවැනි දෙයක්.

මේ සිදු වන දේවල් සිදු වන්නේ කිසිසේත්ම තනි පුද්ගලයෙක් නිසා නෙමෙයි. තනි පුද්ගලයෙක්ගේ තීරණ හරහා දැන හෝ නොදැන සිදු වන්නේ කොහොමටත් සිදු විය හැකිව තිබුණු පරිවර්තනයක්. ඒ පරිවර්තනය සිදු වීමට ප්‍රබල හේතු කිහිපයක්ම තිබෙනවා.

සියවස් ගණනාවක් තිස්සේ ලෝකයේ රටවල් අතර ගනුදෙනු සිදු වුනා. නමුත් ඒ මුළු ඉතිහාසය තුළම ජාත්‍යන්තර වෙළඳ පරිමාව පැවතුනේ අද මට්ටමට වඩා ගොඩක් අඩු මට්ටමකයි. 1800 වන විට ලෝක වෙළඳ පරිමාව පැවතුණේ සමස්ත ලෝක නිෂ්පාදිතයෙන් 2%-3% අතර මට්ටමකයි. වාණිජ කෘෂිකර්මය ව්‍යාප්ත වීම, කාර්මික විප්ලවය ආදිය එක්ක, පළමු ලෝක යුද්ධය ආසන්න කාලයේදී මෙම පරිමාව 30% ආසන්න මට්ටමකට ඉහළ ගියත්, ඉන් පසුව, දෙවන ලෝක යුද්ධ කාලය තෙක් දැකිය හැකි වූයේ ජාත්‍යන්තර වෙළඳ පරිමාව ක්‍රමයෙන් අඩු වීමක්.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව බ්‍රෙටන් වුඩ් යුගය ඇරඹුනා. නික්සන් කම්පනයෙන් බ්‍රෙටන් වුඩ් යුගය අවසන් වී ෆියට් මුදල් යුගය ආරම්භ වුනා. ජාත්‍යන්තර වෙළඳ පරිමාව ඉතිහාසයේ කිසිදු කලෙක නොපැවති මට්ටමකට ඉහළ ගියේ මෙම ෆියට් මුදල් යුගය තුළයි.

ලෝකයට නික්සන් කම්පන ප්‍රතිකාරය ලැබුණු 1971 වන විට ජාත්‍යන්තර වෙළඳ පරිමාව පැවතුණේ ලෝක නිෂ්පාදිතයෙන් 20%කට ආසන්නයි. 2008 මහා ආර්ථික පසු බැසීම සිදු වන විට මෙම පරිමාව 60% ඉක්මවා අවසන්. ඊට පෙර, ඉතිහාසයේ කිසිම යුගයක ජාත්‍යන්තර වෙළඳ පරිමාව ලෝක නිෂ්පාදිතයෙන් 30% සීමාවෙන් එහාට ගොස් තිබුණේ නැහැ. ඒ නිසාම, ෆියට් මුදල් ක්‍රමය පිළිබඳ කවර විවේචන තිබුණේ වුවද, ජාත්‍යන්තර වෙළඳාම විශාල ලෙස ව්‍යාප්ත වූයේ ෆියට් මුදල් ක්‍රමය හඳුන්වා දෙනු ලැබූ නික්සන් කම්පනයෙන් පසුවයි. ජාත්‍යන්තර වෙළඳාමේ මෙම “ස්වර්ණමය යුගය” හා සැසඳිය හැකි වෙනත් “ප්ලැටිනම් යුග” ඉතිහාසයෙන් හමු වන්නේ නැහැ.

නික්සන් කම්පනයෙන් ආරම්භ වූ ජාත්‍යන්තර වෙළඳාමේ ස්වර්ණමය යුගය ට්‍රම්ප් කම්පනය නිසා අවසන් වන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම, 2008 මහා ආර්ථික පසු බැසීමෙන් පසුව මෙම යුගය කලකට පෙරම අවසන්ව තිබෙනවා. ඉන් පසු එළැඹුණු දශක එකහමාරක කාලය තුළ ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රගතිය 60% සීමාව ආසන්නයේ එක තැන පල් වෙමින් තිබෙනවා. නික්සන් කම්පනයට පෙර දශක දෙකකට වැඩි කාලය තුළද මේ අයුරින්ම ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රගතිය 20% සීමාව ආසන්නයේ එක තැන පල් වෙමින් පැවතුණා. ඒ තත්ත්වය වෙනස් වුනේ නික්සන් කම්පනයෙන් පසුවයි.

අපනයන ප්‍රමුඛ ආර්ථිකයන් පවත්වා ගැනීම මගින් ලෝකයේ ඇතැම් රටවල් වේගවත් වර්ධනයක් ලබා ගත්තේ ජාත්‍යන්තර වෙළඳාමේ ස්වර්ණමය යුගය වූ ෆියට් මුදල් යුගය තුළයි. ඊට පෙර, බ්‍රෙටන් වුඩ් යුගයේදීද ඇතැම් ආර්ථිකයන් වේගයෙන් වර්ධනය වුවත්, එහිදී සිදු වුනේ ලොකු සහෝදරයාගේ උදවුවෙන් ගොඩ යාමක් මිසක් පවතින ක්‍රමයට අනුවර්තනය වී ගොඩයාමක් නෙමෙයි. ලංකාව මේ අවස්ථාව මග හැර ගත්තා. 1977දී සිදු වූ සාපේක්ෂ විවෘත වීමෙහි වාසිදායක ප්‍රතිඵලයක් දැකිය හැකි වුවත්, එසේ ආරම්භ කළ ක්‍රියාදාමයේ සැලකිය යුතු ප්‍රගතියක් ඉන් පසුව දැකිය හැකි වූයේ නැහැ. අවාසනාවකට මෙන් ලංකාව දැන් මේ මාර්ගය දෙස හැරී බලන්නේ මාර්ගය වැසී දශක එකහමාරකට පමණ පසුවයි. එහෙත්, තවමත් ඊට වඩා හොඳ විකල්පයක් ඇත්තේද නැහැ.
මහා ආර්ථික පසු බැසීමෙන් පසු දශක එකහමාරක පමණ කාලය තුළ ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රගතිය එක තැන පල් වෙමින් තිබෙනවා. එවැනි අවස්ථාවකදී ජාත්‍යන්තර වෙළඳ ක්‍රමයට කිසියම් අලුත් කම්පනයක් අවශ්‍ය වෙනවා. එවැනි කම්පනයක් ලබා දිය හැක්කේ ඇමරිකාව වැනි ප්‍රමුඛ ආර්ථිකයකටයි. අවශ්‍ය වන කම්පනය කුමක්ද කියා ආර්ථික විද්‍යා ආකෘති වලින් නිගමනය කරන්න බැහැ. ආර්ථික විද්‍යා ආකෘති වලින් කරන්නේ පවතින තත්ත්වය විග්‍රහ කිරීමයි. පවතින තත්ත්වය වෙනස් කිරීම දේශපාලනික කටයුත්තක්. දේශපාලනික කටයුතු වලදී පරිකල්පනය මත පදනම්ව සහ උපාය මාර්ගිකව සිතමින් අවදානමක් ගන්නට සිදු වෙනවා.

ප්‍රබලයා විසින් බොහෝ විට නීති වෙනස් කරන්නේ තමන්ගේ වාසියට මිස සාධාරණත්වය අනුව නෙමෙයි. සාධාරණත්වය යන වචනය ඉදිරියට දැම්මත් එය අර්ථ දක්වනු ලබන්නේ තමන්ට අවශ්‍ය ආකාරයටයි. නීති වෙනස් කිරීමේ බලයක් නොමැති දුර්වල අයට එයින් අවාසියක් සිදු විය හැකි වුවත්, ඊට එරෙහිව කළ හැක්කක් නැහැ. කළ හැක්කේ පවතින අලුත් තත්ත්වය විග්‍රහ කරගනිමින් උපාය මාර්ගිකව කටයුතු කිරීම පමණයි.

උපුටා ගැනීම – ඉකොනොමැට්ටා

Social Sharing
ආර්ථික පුවත්