පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද ජනපතිගේ නියමයෙන් CIDයට.

පාස්කු ඉරිදා සිදුවීම සම්බන්ධව පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන අද (20)දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

ඉකුත් 2019 වසරේ අප්‍රේල් 21 වන දා සිදුවු මෙම ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විමර්ශනය කර, නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2019 වසරේ සැප්තැම්බර් මස 22 වනදා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කෙරිණි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පත් කෙරුණු කොමිසමට සාමාජිකයින් හය දෙනෙකු ඇතුළත් විය. එහි අවසන් වාර්තාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී ඇත්තේ 2021 වසරේ පෙබරවාරී පළමු වැනිදායි.

එම වාර්තාව මේ දක්වා ප්‍රසිද්ධියට පත් නොකෙරුණු අතර ඒ අනුව ඉදිරියේදී අදාළ වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බව ද, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර ඇත.
මෙරට ප්‍රධාන පෙළේ දේවස්ථාන සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී හෙටට (21) වසර 6 ක් පිරෙන අතර ඔවුන් සිහිපත් කර හෙට(21) උදෑසන 8.45 සිට 8.47 දක්වා විනාඩි දෙකක නිහැඬියාවක් පවත්වන්නැයි ජාතික කතෝලික සභාව ජනතාවට දැනුම් දී තිබේ.

Social Sharing
අවකාශය පුවත්