ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ තීරුබදු ප්‍රකාශයට පත් කරමින් අප්‍රේල් 2 දින කීවේ එදින ඇමෙරිකාවට විමුක්තිය උදා වූ දිනය ලෙස ඉතිහාසයේ සටහන් වනු ඇති බව යි. කෙසේ වෙතත්, දැන් පෙනෙන්නට තිබෙන්නේ එදින ලෝක ප්‍රජාව ඇමෙරිකානු ආධිපත්‍යයෙන් නිදහස් වූ දිනය විය හැකි බව යි.
අනාගතයේ බිහිවන ලෝකය කුමක්දැයි තවමත් අපට කිව නොහැකි ය. දැනට පැහැදිලි වී ඇති කරුණ නම් ලෝකයේ මෙතෙක් පැවති ඇමෙරිකා එක්සත් ජනපද ලෝක ආධිඅපත්‍යය නියත වශයෙන් ම අවසන් වනු ඇති බව යි.
නිශ්චිත කඩඉමක්
අනාගත ලෝකයේ දේශපාලන, ආර්ථික සැකැස්ම තීරණය වනු ඇත්තේ ට්‍රම්ප් විසින් නිර්මාණය කරන ලද වත්මන් අර්බුදයට ලෝකයේ රාජ්‍යයන් සහ රාජ්‍ය කණ්ඩායම් මුහුණ දෙන ආකාරය අනුව ය. එය තීරණය වනු ඇත්තේ, තමන් ඉදිරියේ ඇති තම ගෝලීය අවශ්‍යතා සහ දේශීය අවශ්‍යතා අතර ප්‍රතිවිරෝධයන් කළමනාකරණය කර ගනීමට රාජ්‍යයන් තෝරා ගන්නා උපාය මාර්ග අනුව ය. එම ක්‍රියාවලිය දැන් සිදුවෙමින් පවතියි. එම වර්ධනයන් පිළිබඳව විවිධ පුරෝකථන කළ හැකි ය. එය වෙන ම සහ විවාදාත්මක විය හැකි සාකච්ඡාවකි. ඒ අතර මෙතෙක් සිදුවීම් මගින් ඇතැම් කරුණු නිශ්චිත ලෙස ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබී ඇත. ඉන් පළමුවැන්න නම් ඇමෙරිකාවේ ලෝක ආධිපත්‍යය බිඳ වැටීම යි.
ඇමෙරිකානු ආධිපත්‍යයෙන් ලෝකය විමුක්තිය ලබන්නේ ලෝක ප්‍රජාවගේ සටනක ප්‍රතිඵලයක් ලෙස නොවේ. ආර්ථික වශයෙන් දුර්වල වෙමින් අර්බුදයට මුහුණ දී සිටින ඇමෙරිකාව තම ආධිපත්‍යය අතහැරීම නිසා ය. නැතහොත් ඒ සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ උපායමාර්ග අතහැර වෙනත් මාවතක් තෝරාගැනීම නිසා ය.
ට්‍රම්ප්ගේ නව මාවත නම් ඇමෙරිකානු වෙළෙඳපොළ බලය උපයෝගී කරගෙන ලෝකය ඔවුන් ඉදිරියේ දන ගැස්සවීමට උත්සාහ දැරීම යි. ඔහුගේ වචනවලින් කීවේ ‘ ලෝක නායකයින් දැන් තමන්ගේ පස්ස සිඹින බව’යි. ට්‍රම්ප් ලෝකය පාලනය කරන්නට යන්නේ ඒ ආකාරයෙනි. ඒ අතර ඇමෙරිකාව ලෝක ආධිපත්‍යය පවත්වා ගැනීමට මෙතෙක් ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගවලට ට්‍රම්ප් පයින් ගසා දුර්වල කොට තිබේ.
ඇමෙරිකානු ආධිපත්‍යයේ කුළුණු තුන
ඇමෙරිකාවේ ලෝක ආධිපත්‍යය බිඳ වැටීම ප්‍රධාන අංශ තුනකින් සිදුව ඇත. පළමුවැන්න දෘඩ බලය හෙවත් යුදමය බලය දුර්වල කිරීම යි. දෙවැන්න මෘදු බලය හෙවත්, ඇමෙරිකාව පෙනී සිටි ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, විවිධ ප්‍රජාවන්ගේ අයිතීන් ආදිය අත්හැරීම සහ ලෝකයේ දුප්පත් රටවල ජනයා වෙනුවෙන් කළ සුබසාධන වියදම් කපා හැරීම ය. එනම්, නිදහස් ලෝකය වෙනුවෙන් කළ කැපකිරීම් නවතා දැමීම යි. තෙවැන්න රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සතුරන් කෝප කිරීම සහ මිතුරන් සතුරු කර ගැනීම යි. ඇමෙරිකාවේ ලෝක ආධිපත්‍යය රඳා පැවති මේ ප්‍රධාන කුළුණු තුනට ම ට්‍රම්ප්ගේ ප්‍රහාරය එල්ල වී ඇත.
දෘඩ බලය ලෙස මෙහි දී හඳුන්වන්නේ යුදමය වශයෙන් පවත්වාගෙන යන බලය යි. ඇමෙරිකාව මේ වනවිටත් ලෝකයේ රටවල් 80 ක හමුදා කඳවුරු පවත්වාගෙන යයි. එය වියට්නාමයේ , ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ඍජු ලෙස යුද කළේය.
ඇමෙරිකාවේ දෘඩ බලය හෙවත් හමුදා බලයේ ප්‍රධාන අක්ෂය වුයේ යුරෝපය සහ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානය යි. එමගින් ඇමෙරිකාව යුරෝපයේ ආරක්ෂාව තහවුරු කිරීමට බැඳී සිටියේ ය. එමගින් ඇමෙරිකාව රුසියාවට සහ චීනයට යුදමය තර්ජනයක් එල්ල කළේය. පසුගිය කාලයේ ඇමෙරිකාවේ පිළිවෙත වුයේ නේටෝව නැගෙනහිරට පුළුල් කිරීම යි. ඔවුන්ගේ තර්කය වුයේ ප්‍රජාතන්ත්‍රවාදී “ නිදහස් ලෝකයේ” ආරක්ෂාවට එය අවශ්‍ය බවට ය. යුක්රේන යුද්ධය යනු එයට රුසියාවේ ප්‍රතිචාරය යි.
ලොව පුරා ඇති යුධ කඳවුරු, ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ කළ යුද්ධ ඇමෙරිකාව ලොවට පෙන්වුයේ “නිදහස් ලෝකයේ “ පැවැත්ම සහතික කිරීමට අවශ්‍ය පියවර වශයෙනි.
ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් කියන්නේ යුරෝපයේ ආරක්ෂාව ඔවුන් බලාගත යුතු බව යි. යුක්රේන යුද්ධය නවතා දැමීමට ඔහු සුදානම් ය. වෙනත් රටවල යුද කඳවුරු නඩත්තු කිරීම සීමා කිරීමට ඔහු කටයුතු කරමින් සිටියි.
ඒ කියන්නේ ඇමෙරිකාව ලෝකයේ තම හිතවතුන්ගේ ආරක්ෂාව සැපයීමට තවදුරටත් සුදානම් නැති බව යි. ඒ සඳහා තම යුධ බලය යෙදවීම නාස්තියක් ලෙස ට්‍රම්ප් කල්පනා කරන බව පෙනෙන්නට තිබේ.
ට්‍රම්ප්ට දැන් තිබෙන්නේ වෙනත් අරමුණු ය. කැනඩාව එක්සත් ජනපදයේ 51 වැනි ප්‍රාන්තය ලෙස ආඳා ගැනීම, පැනමාව සහ ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම ඔහුගේ අරමුණු අතර වෙයි. ඒ සඳහා යුධ බලය යෙදීමට ඔහුට හැකි නම් ඔහු එසේ කරනු ඇත. එවිට එය පෙනී යන්නේ ඔවුන් කියූ “ නිදහස් ලෝකයට “ එරෙහි පියවර වශයෙනි. එය එසේ වුවත්, නැතත්, ලෝක ආධිපත්‍යය වෙනුවෙන් දෘඩ බලය යෙදීම අවසන් බව දැන් පැහැදිලි ය.
මෘදු බලය විනාශ කරගැනීම
ඇමෙරිකාවේ ආධිපත්‍යය බිඳ වැටීමේ දෙවන අංශය වන්නේ ඔවුන්ගේ මෘදු බලය විනාශ කර ගැනීම යි. ඇමෙරිකාවේ පිළිගැනීම පැවතියේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයා, මානව හිමිකම් ප්‍රවර්ධකයා සහ එබඳු වටිනාකම් සඳහා කැපවූ රාජ්‍යයක් වශයෙනි. මෙම කරුණු ක්‍රියාත්මක කිරීමේ දී දෙබිඩි පිළිවෙත් ගැන චෝදනා කොතෙක් තිබුණ ද ඔවුන් පෙනී සිටියේ මෙම මුලධර්ම වෙනුවෙනි. එය නිදහස් වෙළෙඳාමේ පුරෝගාමියා සහ ප්‍රවර්ධකයා ද වී ය. එමෙන් ම දිදිඳු රටවල අව වරප්‍රසාදිත ජනයා ගේ සුබසාධනය වෙනුවෙන් ද ඇමෙරිකාව කටයුතු කළේය. මේ සියල්ල හඳුන්වන්නේ ඇමෙරිකාවේ මෘදු බලය වශයෙනි. ලෝකයේ රටවල් ඇමෙරිකාවේ නායකත්වය පිළිගත්තේ මෙම සියලු අංශවලින් ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ හේතුවෙනි.
ඇමෙරිකාව මේ පිළිගැනීම් අනුව කටයුතු කළ බව එයින් අදහස් වන්නේ නැත. ඔවුන් විවිධ අවස්ථාවල මෙම මුලධර්ම , පිළිගැනීම් නොතකා ඊට පටහැනිව ක්‍රියා කළේය. ඔවුන් කීවේ “ නිදහස් ලෝකයේ “ ආරක්ෂාව සඳහා එසේ කිරීම අවශ්‍ය බව යි.
ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සියල්ල ආපසු හරවා ඇත. ලෝක මානව හිමිකම් කවුන්සිලයෙන් , පරිසර සම්මුතියෙන් ඇමෙරිකාව ඉවත් වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධනයේ දායකත්වය ද නවතා ඇත. දැන් තීරු බදු පනවා ඇත්තේ ලෝක වෙළෙඳ සංවිධානයේ එකඟතාවලට පයින් ගසමින් ය. රටවල් ආක්‍රමණයට සැරසෙන්නේ එක්සත් ජාතීන්ගේ පිළිගැනීම් ප්‍රතික්ෂේප කරමින් ය. රාජ්‍යයන්ගේ ස්වාධිපත්‍යයට ගරු නොකර කැනඩාව ඈදා ගැනීමට සැරසෙයි. ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට සැරසෙයි. මෙලෙස ලෝක ආධිපත්‍යයේ ඔවුන්ගේ දෙවන කුළුණ වූ මෘදු බලය හෙවත් මතවාදී ආධිපත්‍ය බලය ඔවුන් විසින් ම විනාශ කරගනු ලැබ ඇත.
රාජ්‍ය තාන්ත්‍රික විනාශය
ඇමෙරිකාවේ ලෝක ආධිපත්‍යයේ තෙවැනි කුලුන වුයේ එරටෙහි රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය යි. එය ද මේ වන විට බිඳ දමාගෙන ඇත්තේ සියලු මිතුරන් සතුරු කර ගනිමිනි. පටන් ගත්තේ යුක්රේන් ප්‍රශ්නය මුල් කරගෙන යුරෝපය සමග ගැටුමකට යමිනි. ඊළඟට සිය අසල් වැසියන් වන කැනඩාවට සහ මෙක්සිකෝවට විශාල ලෙස තීරුබදු පැනවීය. කැනඩාවේ ජාතික ස්වාධීනත්වයට තර්ජන එල්ල කළේය. කැනඩාව යනු ඇමෙරිකාව කළ සියලු යුද්ධ වල දී හමුදා සහය දුන් රටකි. දැන් එරට සිටින්නේ දැඩි කෝපයෙනි.
දැන් මුළු ලෝකයට ම තීරු බදු පනවා ලෝකය ම ප්‍රකෝප කොට අවසානය. පෙනෙන විදිහට දැන් ඇමෙරිකානු තර්ජනයට එරෙහිව ලෝකය එක්සත් වෙමින් සිටියි.
මෙහි අවසානය සහ ඉදිරියේ ලෝකයේ ඇතිවිය හැකි නව ලෝක සැකැස්ම පුරෝකථනය කිරීම තවමත් දුෂ්කර අභ්‍යාසයකි. එසේ වුවත්, එක් දෙයක් පැහැදිලි ය. එනම්, ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක ආධිපත්‍යය අවසන් වී ඇති බව යි. එය නැවත ගොඩනැගිය නොහැකි ලෙස බිඳ වැටී තිබේ. අනාගතයේ කුමක් වුවත් මේ යුගය අවසන් ය.
ඇමෙරිකා එක්සත් ජනපද ලෝක ආධිපත්‍යයෙන් ලෝකයට විමුක්තිය උදා වී තිබේ.
සී ජේ අමරතුංග – www.yukthiya.lk