ඉන්දියාව සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුම් ඇතුළු ගිවිසුම් හෙළිනොකර සිටීමට ආණ්ඩුව දැඩි ප්රයත්නයක් දරමින් සිටින බව පේනවා. ඒ නිසා තමයි මැති ඇමතිවරුන් කියන්නේ තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයක් (RTI) දමා ඒවා ගන්න කියලා. එහි අදහස වෙන්නෙත් එහෙම දැම්මා කියලා ඒවා ගන්න අපහසු බවට ආණ්ඩුවට විශ්වාසයක් තිබීම.
හරියට ඇප්ලිකේෂන් එකක් දැම්මොත් මේවා ගන්න බැරිවෙන්නේ නෑ. මේකට හොඳම උදාහරණයක් තමයි යහපාලන ආණ්ඩු සමයේදී “ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම” (FTA). කිසියම් කෙනෙකු මේ ගිවිසුම පිළිබඳ තොරතුරු ඉල්ලීමෙන් පසු අවසානයේ එය ජනාධිපති ලේකම් කාර්යාල වෙබ් අඩවියේම පළකරන තැනට වැඩේ සිද්ධ වුනා.
ඒ නිසා ඉන්දියාව සමග අත්සන් තැබූ ආරක්ෂක ගිවිසුම පිළිබඳව වුනත් තොරතුරු ඉල්ලන්න පුළුවන්. එහිදී වැදගත්ම දෙය තමයි අදාළ ඉල්ලුම් පත්‍ර හරියට දාන එක. උඩින් පල්ලෙන් දේවල් දාලා ඒක ඉල්ලුවොත් ආණ්ඩුවේ ඕනෑකම මත ඉන් පැන යාමට අදාළ නිළධාරීන්ට මහාර්ඝ අවස්ථාවක් තිබෙනවා.
පළමු කරුණ තමයි ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කළ යුතු ස්ථාන හරියට හඳුනා ගැනීම. මගේ අදහස නම් ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යාංශය වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශයටත් RTI ඇප්ලිකේෂන් දැමීම වැදගත්.
විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා දැනටමත් පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ ප්‍රකාශයක් කර ඇති බැවින් එකී උධෘත සහිතව මේ විමසීම කරන්න පුළුවන්. හැබැයි මෙහිදීත් පිළිවෙලකට වැඩේ කළ යුතුයි. මොකද හරියට දේවල් නොදන්නා නිසා අදියර දෙක තුනක් යටතේයි මේ සඳහා වෙනම RTI අයදුම්පතක් දැමිය යුත්තේ.
- ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොබෝදා අත්සන් තැබූ ගිවිසුම් මොනවාද?
- එකී ගිවිසුම්වලට අත්සන් තැබූ දෙරටේ රාජ්‍යතාන්ත්‍රිකයන් කවුරුන්ද?
- ආරක්ෂක ගිවිසුමේ අඩංගු කරුණු කවරේද?
උදාහරණයක් ලෙස “ගිවිසුමේ නම” මෙන්ම ඊට “අත්සන් තැබූවන්” පිළිබඳ නොදැන දමන RTI ඇප්ලිකේෂන් එකකින් ඵලයක් නොවන්න පුළුවන්. එය හරියට නොමැති නම් තොරතුරු දැනගැනීමේ කොමිසමට දැනුම්දීමට හෝ අභියෝග කිරීමට පවා හැකියාවක් නොලැබෙනු ඇති. එසේ වුවහොත් කොමිසමටද එරෙහිව අභියාචනාධිකරණයට ගියත් ඵලක් නොවන්න පුළුවන්.
මා දන්නා තරමින් කොමිසට එරෙහි අභියාචනාධිකරණයේ ගොනු කෙරුනු නඩු පහකින් හතරකදීම කොමිසම ගත් තීරණ නිවැරදි බව ප්‍රකාශ වී තිබෙනවා. දැනට මාධ්‍යවේදී Tharindu Iranga Jayawardhana කොමිසමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා දෙකක් සලකා බැලෙමින් ඇති බවයි මා දන්නේ.
එනිසා පාර්ලිමේන්තුවටද ඉදිරිපත් නොකරන තත්ත්වයක පවතින ඉන්දු ශ්‍රී ලංකා ආරක්ෂක ගිවිසුම පිළිබඳ වුව RTI අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. හැබැයි එය හරියට කිරීමයි වැදගත්.
|මහින්ද රුබසිංහ