ඔසප් දරිද්‍රතාව සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්.

ආර්තව දරිද්‍රතාව හෙවත් ඔසප් දරිද්‍රතාව යනු කුමක්ද? සනීපාරක්ෂිත ඔසප් නිෂ්පාදන, ආර්තව සෞඛ්‍යය පිළිබඳ අධ්‍යාපනය සහ ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් සඳහා ප්‍රවේශය නොමැතිකම ඔසප් දරිද්‍රතාව ලෙස හැඳින්වේ. මෙම ගැටලුව ගෝලීය වශයෙන් මිලියන ගණනකට බලපාන අතර එය අහිතකර සෞඛ්‍ය ප්‍රතිඵල, අධ්‍යාපනික පසුබෑම් සහ විවිධ ආර්ථික අභියෝගවලට මග පාදයි.

ශ්‍රී ලංකාවේ ද ආර්තව දරිද්‍රතාවය සැලකිය යුතු ගැටලුවකි. එය මානව හිමිකම් සමඟ බැඳී පවතින්නක් වන අතර එය කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ගෞරවයට සහ අයිතිවාසිකම්වලට බලපෑම් කරයි.

ශ්‍රී ලංකාවේ ආසන්න වශයෙන් මිලියන 4.2ක කාන්තාවන් හට ඔසප් වීම සිදු වුණ ද ඉවතලන සනීපාරක්ෂිත ඔසප් නිෂ්පාදන සඳහා ප්‍රවේශය ඇත්තේ 30%කටත් වඩා අඩු ප්‍රමාණයකට වීම ඛේදජනක තත්වයකි. මෙයින් ඇඟවෙන්නේ 70%කට වඩා කාන්තාවන් හා දැරියන් රෙදි කැබලි වැනි විකල්ප දෑ මත රඳා පවතින බවයි. එම විකල්ප බොහෝවිට සනීපාරක්ෂක සහ සුවපහසු නිෂ්පාදන නොවේ. (Period poverty in rural Sri Lanka; Understanding menstruation hygiene and related health issues to empower women.)

ආර්ථික අර්බුදය හමුවේ මෙම ආර්තව දරිද්‍රතා ගැටලුව උග්‍ර වන අතර 2021 වසරට සාපේක්ෂව සනීපාරක්ෂක තුවාවල මිල 92% කින් ඉහළ ගොස් ඇත. එම නිසාවෙන්ම ඒවා බොහෝ දෙනෙකුට දැරිය නොහැකි මට්ටමක පවතී. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ කාන්තාවන් සහ ගැහැණු ළමයින් රෙදි කැබලි වැනි අපිරිසිදු ඔසප් සනීපාරක්ෂක උපකරණ භාවිතා කිරීමට පෙළඹේ. එසේ නොමැතිනම්, නිසි කලට සනීපාරක්ෂක තුවා මාරු කරන්නේ නැත. එමඟින් සෞඛ්‍ය අවදානම් සහ අපහසුතාවන් ඇති වේ. (Axe the Period Tax Policy Brief Web_0.pdf)

ඔසප් දරිද්‍රතාවය අධ්‍යාපනය සහ රැකියා අංශ කෙරෙහි සිදුකරන බලපෑම

ශ්‍රී ලංකාවේ පාසල් පන්ති කාමර තුළ නිහඬ අර්බුදයක් සෑම මසකම දිග හැරෙමින් පවතී. එය අධ්‍යාපනයට බාධා ඇති කරන අතර සමාජභාවී විෂමතා පුළුල් කරයි. ගැහැණු ළමයින් අධ්‍යයන කටයුතුවලින් පසුබෑමට ආර්තව දරිද්‍රතාව හේතු වේ.

දත්තවලට අනුව, ගැහැණු ළමයින්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඔසප් වීම හේතුවෙන් සෑම මසකම අවම වශයෙන් දිනක් හෝ දෙකක් පාසල් නොයන අතර මෙම නොපැමිණීම් අසනීප නිසා නොව, බොහෝ විට සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීමට නොහැකි වීම, පාසල්වල ප්‍රමාණවත් පහසුකම් නොමැතිකම සහ ඔසප් වීම වටා ඇති සංස්කෘතික අපකීර්තියේ ප්‍රතිඵල වේ. (End Period Poverty for Students in Sri Lanka – GlobalGiving)

 

සෑම මසකම දින කිහිපයක් පාසල් නොයෑම සුළු දෙයක් ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් කාලයත් සමඟ මෙම නොපැමිණීම් අධ්‍යයන කාර්ය සාධනයට සහ ආත්ම විශ්වාසයට බලපායි. එහි ප්‍රතිඵලයක් ලෙස, සමහරු අවසානයේ පාසලෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය හැකිය.

ආර්තව දරිද්‍රතාව තනි තනි සිසුන්ට පමණක් බලපාන්නේ නැත. එය අධ්‍යාපනයේ සමාජභාවී සමානාත්මතාව පිළිබඳ ජාතික ප්‍රගතියට ගැටලු ඇති කරයි.

රැකියා අංශය සම්බන්ධයෙන් ගත්කළ ද මෙම ගැටලුව විශාල බලපෑමක් ඇතිකරනු ලබයි. ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන සහ පහසුකම් සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් නොමැතිකම හේතුවෙන් කාන්තා සේවිකාවෝ අභියෝගවලට මුහුණ දෙති. මෙම තත්ත්වය ඔවුන්ගේ සෞඛ්‍යයට, යහපැවැත්මට සහ ඵලදායිතාවට බලපායි.

විශේෂයෙන් නිදහස් වෙළඳ කලාපවල (FTZs) රැකියා වැනි ශාරීරිකව වෙහෙසකර රැකියාවල යෙදී සිටින හෝ දුර්වල සනීපාරක්ෂාව සහිත සේවා ස්ථානවල සේවයේ යෙදී සිටින කාන්තාවන් ඇතුළු බොහෝ කාන්තාවන් වේදනාව, ලැජ්ජාව හෝ පහසුකම් නොමැතිකම හේතුවෙන් ඔවුන්ගේ ඔසප් කාලය තුළ නිවසේ රැඳී සිටිති. මේ අන්දමින් සේවයට නොපැමිණීම අවිධිමත් අංශවල ආදායම අහිමි වීමට, අවස්ථා මග හැරීමට හෝ රැකියාව අවසන් කිරීමට හේතු විය හැක.

ආර්තව දරිද්‍රතාවය මානව හිමිකම් කෙරෙහි සිදුකරන බලපෑම

විශේෂයෙන් අඩු ආදායම්ලාභී සහ ආන්තික ප්‍රජාවන් අතර ඔසප් දරිද්‍රතාවය යනු ඔසප් නිෂ්පාදන නොමැතිකම පමණක්ම නොවේ. එය මූලික මානව හිමිකම් ප්‍රතික්ෂේප කිරීමකි. එය සෞඛ්‍යය, අධ්‍යාපනය, ගෞරවය, රැකියාව සහ සමාජභාවී සමානාත්මතාව සඳහා ඇති අයිතිවාසිකම් උල්ලංඝනය කරන එක් සාධකයකි.

කාන්තාවන්ට ආරක්ෂිත සහ දැරිය හැකි මිලකට ඔසප් නිෂ්පාදන වෙත ප්‍රවේශ වීමට නොහැකි වූ විට, ඔවුන් යොමු වන අනාරක්ෂිත විකල්ප හේතුවෙන් බරපතල සෞඛ්‍ය සංකූලතාවන්ට හේතු ඇති කරයි. ඒ අනුව මුත්‍රා ආසාදන (UTIs), ප්‍රජනක පද්ධතියේ ආසාදන, සමේ කුෂ්ඨ සහ අපහසුතාවයන් ද, ආතතිය හා අපකීර්තිය සමග සම්බන්ධ මානසික සෞඛ්‍ය ගැටලු ද ඇති වේ. සෞඛ්‍යය සඳහා ඇති අයිතිය මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් රාමු තුළ අන්තර්ගත වේ. ආරක්ෂිතව ඔසප් වීම කළමනාකරණය කිරීමේ මාධ්‍යයන් අහිමි වීම මෙම අයිතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි.

 

Social Sharing
නවතම