“අපි හිතුවේ නැති වෙලාවක, දරුවෙක් ලබා ගන්න සූදානමක් නැති වෙලාවක තමයි වයිෆ් ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තේ. අපිට ඕන වුණේ කවුරුත් දැනගන්න කලින් මේක අයින් කර ගන්න. අවදානමක් වුණත් අපිට ඒක කරන්න සිද්ධ වුණා.”
සැලසුම් නොකළ හදිසි ගැබ් ගැනීමකින් නිදහස් වූ ආකාරය එලෙස බීබීසි සිංහල සේවයට සඳහන් කළේ නුවර පෞද්ගලික ආයතනයක ඉහළ පෙළේ තනතුරක් දරන්නෙකි.
අතිශය පෞද්ගලික කරුණක් බැවින් සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි හෙයින් ඔහු අරුණ යන අන්වර්ථ නාමයෙන් අපි මෙහිදී හඳුන්වන්නෙමු.
“අපි දෙන්න ම තීරණය කළා තවත් දරුවෙක් අවශ්‍ය නැහැ, මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා.”
අරුණ සහ ඔහුගේ බිරිඳට පුතුන් දෙදෙනෙකු සිටින අතර ඒ අතරවාරයේ සැලසුම් නොකළ ගැබ් ගැනීමක් සිදුව තිබිණි. උපත් පාලන පෙති භාවිත කළ ද නොසිතු ලෙස මෙම ගැබ් ගැනීම සිදුවූ බව ඔහු කියා සිටියේ ය.
“අපිට දරුවෙක් අවශ්‍ය වෙලා තිබුණේ නැහැ. ඒ නිසා බර්ත් කන්ට්‍රෝල් එකක් විදියට වයිෆ් ටැබ්ලට් පාවිච්චි කරනවා. ඒ දේවල් හරියට කළත් මොකක් හරි වැරදීමක් වෙලා තියෙනවා. මේක දැනගත්ත ගමන් අපි හරියට කලබල වුණා. කරන දෙයක් ගැන හිතාගන්න බැරි වුණා.”
ඔවුන් ගැබ් ගැනීමෙන් නිදහස් වීමට විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහය පැතුව ද නීතියෙන් ඉඩක් නොමැතිකම නිසා වෛද්‍යවරයා ඊට එකඟතාව පළ කර නොතිබිණි. කෙසේ වෙතත්, ගබ්සාව නීතිගත කර ඇති වෙනත් රටකට ගොස් එය සිදුකර ගැනීමේ හැකියාව ගැන ද වෛද්‍යවරයා ඔවුන්ට දැනුම් දී තිබිණි.
“අපිට හැකියාවක් තිබුණෙ නැහැ වෙන රටකට ගිහිල්ලා කර ගන්න. අනිත් එක අපි දෙන්නා එක පාරට රට යන්න ගියොත් අපේ දරුවෝ, ගෙවල්වල අය සැක කරන්න පුළුවන් ඒ ගැන. ඒ නිසා අපි වෙනත් විකල්ප හොයමින් හිටියා.”
‘අවදානම්සහගත විකල්පයක්’ වෙත යොමු වීම
එසේ වෙනත් විකල්ප සොයමින් සිටි අරුණට ඔහුගේ මිතුරෙකු හරහා හොර රහසේ ගබ්සා කරන වෛද්‍යවරයෙකු යැයි කියන පුද්ගලයෙකු ගැන දැනගන්නට ලැබී ඇති අතර වෙනත් විකල්පයක් නොමැති තැන ඔවුන් එම මාර්ගය තෝරාගෙන තිබිණි.
“මම ගොඩක් බය වුණා වයිෆ්ට මොකක් හරි කරදරයක් වෙයි කියලා. මෙහෙම තැන්වලට ගිහිල්ලා මැරුණ අය ගැනත් මම අහලා තිබුණා. බිරිඳගේ ජීවිතේ අවදානමේ දාලා කරන්න යන වැඩේ ගැන මට වේදනාවක් ඇති වුණා. නමුත් කරන්න ම දෙයක් නැති තැන අපි දෙන්නා ඒ වැඩේ කරන්න තීරණය කළා. යාළුවෙක් හරහා දැනගෙන තමයි අපි එතනට ගියේ ඒ වෙලාවේ හැටියට සෑහෙන මුදලක් ගියා ඒ වැඩේ කරන්න.”
“ඒ කෙනා දොස්තර කෙනෙක් කියලා තමයි කිව්වේ ඒත් මම දන්නේ නැහැ. දොස්තර කෙනෙක් නොවෙන්නත් පුළුවන් වැඩි කතාබහක් නැහැ. එයා කියන දවසේ තමයි වැඩේ කරන්නේ. ඒක හොස්පිටල් එකක් නෙමෙයි ලොකු ගෙයක් වගේ තැනක් හැබැයි ඇතුළේ හොස්පිටල් එකක් වගේ තියෙනවා,” යැයි අරුණ විස්තර කළේ ය.
මේ වන විට, අරුණගේ බිරිඳ එම දරු ගැබෙන් නිදහස් වී වසර දෙකක් පමණ ගතව ඇත. ඔහු සඳහන් කළ පරිදි මෙම ගබ්සාව සිදුවන විට කළලයට මාස තුනකට ආසන්න වී තිබිණි.
‘ශ්‍රී ලංකාවේ වසරකට නීතිවිරෝධි ගබ්සා කිරීම් ලක්ෂ දෙක ඉක්මවනවා’
කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය කේ. කරුණාතිලක 2016 වසරේදී කළ පර්යේෂණයකින් වසරකට ශ්‍රී ලංකාවේ නීතිවිරෝධි ගබ්සා දෙලක්ෂ හතලිස් දහසක් ඉක්මවා සිදුවන බව අනාවරණය වී තිබිණි.
ඒ අනුව, දිනකට එවැනි නීතිවිරෝධි ගබ්සා 658ක් පමණ සිදුවන බවට ඔහු සිය පර්යේෂණයෙන් අනාවරණය කරගෙන තිබිණි.
මෙවැනි නීතිවිරෝධි ගබ්සා හේතුවෙන් එම ගබ්සාවට ලක්වන කාන්තාවන් ලිංගික අපයෝජනවලට ලක්වූ අවස්ථා මෙන් ම ජීවිතය අහිමි වූ අවස්ථා පිළිබඳව ද වාර්තා වේ.
පසුගිය දිනක අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිදුවූ එවන් සිදුවීමක් සම්බන්ධව මාධ්‍ය වාර්තා කර තිබූ අතර, වෛද්‍ය උපදෙස් නොමැතිව ෆාමසියකින් ලබා ගත් ඖෂධ භාවිත කිරීමෙන් පසුව ගැබිනියට ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබිණි.
කෙසේ වෙතත්, ඇයගේ මරණයට හේතුව ප්‍රකාශයට පත් කර නොතිබුණ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා කළලයේ කොටස් රස පරීක්ෂක වෙත යොමු කළ බව මාධ්‍ය වාර්තා කළේ ය.
ගබ්සාව සම්බන්ධව දැනට මෙරට පවතින නීතිය
ශ්‍රී ලංකාවේ දැනට පවතින නීතියට අනුව ගර්භණී කාන්තාවකගේ ජීවිතය බේරා ගැනීමට සද්භාවයෙන් කරනු ලබන ගබ්සාවක් හැර ගබ්සාව නීතිවිරෝධී වේ.
දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන වගන්තියෙන් ගබ්සාව නීතිවිරෝධී ලෙස නම් කර ඇති අතර ඊට වරදකරු වන පුද්ගලයෙකුට අවුරුදු 03 දක්වා කාලයක බරපතළ වැඩ ඇතිව හෝ නැතිව බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් නියම කළ හැකි ය.
තව ද අදාළ ගර්භණී කාන්තාව දරු ප්‍රසූතියට ආසන්නව සිටියදී ගබ්සා කිරීමක් කළහොත් අවුරුදු 07 දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතු ය.
එමෙන් ම ස්ත්‍රියගේ කැමැත්තකින් තොරව ගබ්සා කිරීම හෝ ගබ්සාවකදී සිදුවන මරණයකදී ද වෙන වෙන ම දඬුවම් කිරීමේ හැකියාව පවතී.
දූෂණයකට ලක්වූ කාන්තාවකට, ළමා ගැබිනියකට හෝ මාරන්තික උපත් ආබාධ සහිත කළලයක් ඉවත් කිරීමට මෙරට නීතියෙන් ඉඩක් නොමැත.
මෙරට පැවති විවිධ රජයයන් මගින් දැනට පවතින ගබ්සාව සම්බන්ධ නීති ලිහිල් කිරීමට උත්සාහ දැරුව ද ඊට ආගමික කණ්ඩායම්වලින් එල්ල වූ විරෝධය හේතුවෙන් එය ව්‍යර්ථ වී ගියේ ය.
‘විද්‍යාව පාලනය කරන්න නීතියට බැහැ’
කෙසේ වෙතත්, මෙරට ගබ්සාව පිළිබඳව පවතින නීති සම්බන්ධව වෛද්‍යවරුන් දක්වන මතය පිළිබඳව බීබීසී සිංහල සේවය විමසා බැලී ය.
කරාපිටිය රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රොහාන් පී. රුවන්පුර පවසන්නේ, සාධාරණ මානුෂීය සමාජ හා විද්‍යාත්මක අවශ්‍යතා මත පමණක් ගබ්සාවට සීමිත ඉඩක් ලබා දිය යුතු බව ය.
“විද්‍යාව පාලනය කරන්න නීතියට බැහැ. ඒ නිසා සාධාරණ මානුෂීය සමාජ හා විද්‍යාත්මක අවශ්‍යතා මත ගබ්සා කිරීමට අපේ රටේ ද නීතිය ලිහිල් විය යුතු යි.”
“නීතිය ඕනෑවට වඩා තද වුණා ම ඒවා නීතිවිරෝධී කරනවා. ඒ නිසා අපේ රටේ ගබ්සා කර ගැනීමට විවිධ පුද්ගලයින් ළඟට යනවා. එහෙම යන තරුණ කාන්තාවන් ගැහැනු ළමයින් ගබ්සා කරන්නන් අතින් ලිංගික අපයෝජනයට ලක් වෙනවා. ඇයත් ඒකට ඉඩ දෙන්නේ ගබ්සාව කර ගැනීමට අවශ්‍ය නිස යි. එහිදී ඇය අසරණ වෙනවා. නමුත් එහිදී සාර්ථක ගබ්සාවක් සිදුවන්නේත් නැහැ. පසුව ලිස්සල වැටුණා හෝ නැතිනම් වෙනත් දෙයක් කියල හෝ රෝහලට ඇතුළත් වෙනවා.”
‘දරුවා පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය තියෙන්නේ කාන්තාවට මිස වෙනත් පාර්ශවවලට නෙවෙයි’
“දියුණු රටවල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් පරීක්ෂාවකට ලක් කිරීමෙන් පස්සේ පිළිගත් වෛද්‍ය මධ්‍යස්ථානයකදී සුදුසුකම් ලත් වෛද්‍යවරුන් ගබ්සාව සිදුකරනවා. ඒ සඳහා මව ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතු යි.හැබැයි අපේ රටෙත් සල්ලි තිබෙන අය එවැනි රෝහලකට ගිහිල්ල ගබ්සාව කර ගන්නවා. දුප්පත් අය නීතිවිරෝධී ගබ්සාකරුවන් ළඟට ගිහිල්ලා දූෂණය වෙලා සමහර විට හර්පීස් වැනි රෝගයකුත් හදාගෙන අර්ධ ගබ්සාවක් කරගෙන එනවා,” යැයි වෛද්‍ය රොහාන් පී. රුවන්පුර පැවසීය.
ගබ්සාව කාන්තාවගේ මිස ආගමික නායකයන්ගේ හෝ දේශපාලඥයින්ගේ අයිතියක් නොවන බව අවධාරණය කරන වෛද්‍යවරයා, “කාන්තාවක් බලහත්කාරයෙන් දූෂණය කරනු ලබන්නේ අපරාධකාරයෙක්. ඒ දරුවා හැදෙන්නේ අර අපරාධකාරයාගේ සියයට පනහක ජානවලිනුයි, අනෙක් සියයට පනහ මවගේ ජාන. දරුවාගේ මූලික ගති ලක්ෂණ තීරණය වන්නේ ජානවලිනුයි. එහෙම නම් අර අපරාධකාරයාගේ ජානවලින් එන දරුවා පිළිබඳ තීරණය ගැනිමේ අයිතිය තියෙන්නේ කාන්තාවට මිස වෙනත් අයෙකුට නොවෙයි,” කරාපිටිය රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රොහාන් පී. රුවන්පුර වැඩිදුරටත් පැවසීය.
“ගබ්සාව ගැන දැනට තියෙන නීති ලිහිල් කළොත් ඒක සමාජයට යහපතක් වෙන්න පුළුවන්. මොකද එහෙම වුණොත් ළමයි අනාථ වෙන එකට, තැන තැන දරුවෝ දාලා යන එකට, අනාරක්ෂිත ගබ්සාවලට ඉඩක් නැති වෙන්න පුළුවන්,” යැයි අවසන් වශයෙන් අරුණ පැවසීය.
BBC සිංහල