ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ තීරුබදු, චීන සාධකය සහ ශ්‍රීලංකාව – හර්ෂ ගුණසේන

මීට දින කිපයකට පෙර ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ ලිපියට වඩා බොහෝ කරුණු මෙහි ඇතුලත්ව ඇත. ඒ්වා ඉංග්‍රීසි ලිපියට ඇතුලත් කිරීමට නොහැකි වීම ගැන කණගාටු වෙමි.

වර්ෂ 2017 දී ඇමෙරිකානු ජනාධිපති වීමට බොහෝ පෙර සිටම ඇමෙරිකාවේ මිත්‍ර රටවල් ඇමෙරිකාව සමඟ කරන වෙළෙඳාමේ දී අයුතු වාසි ලබන බව ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් කළේය. ඔහු ජනාධිපතිවූ පසුව චීනයට එරෙහිව තීරුබදු ආයුධයක් ලෙස පාවිච්චි කළේය. එයට ප්‍රතිචාර ලෙස චීනය  ඇමෙරිකාවෙන් ගෙන්වන භාණ්ඩ සඳහා විශේෂයෙන්ම ට්‍රම්ප් ට ඡන්දය දුන් පිරිසක් වන එරට ගොවීන් ඉලක්ක කරමින් තීරුබදු පනවන ලදී. පසුව මෙය වෙළෙඳ යුද්ධයක් විය.

ඇමෙරිකාවේ චීනය ට එරෙහි චෝදනාවක් වන්නේ චීනය ඔවුන්ගේ මූල්‍ය ඒකකය නියමිත අගයට වඩා අඩු අගයක පවත්වා ගැනීම මගින් චීන අපනයන භාණ්ඩ වලට වාසි සහගත තත්ත්වයක් අත් කර ගන්නා බවයි. බරක් ඔබාමා ඇමෙරිකානු ජනාධිපති වූ යුගයේ ඔහු චීනය හැර පැසිපික් සාගරය අවට ඇති රටවල් සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කළේය. මෙයට එක හේතුවක් වූයේ චීනයෙන් ඇමෙරිකාවට එන භාණ්ඩ අවම කිරීමයි. වර්ෂ 2016 ජනාධිපතිවරණ ව්‍යාපාරය තුල හිලරි ක්ලින්ටන් ද ඩොනල්ඩ් ට්‍රම්ප් ද මෙම ගිවිසුම විචේචනය කළ අතර ට්‍රම්ප් ජනාධිපති වූ පසුව ඇමෙරිකාව ගිවිසුමෙන් ඉවත් විය.

ජෝ බයිඩන් වර්ෂ 2021 දී ඇමරිකන් ජනාධිපති වූ පසුව ට්‍රම්ප් විසින් චීනයට පනවන ලද බදු ඉවත් නොකළ අතර ඔහු එකවිට රුසියාව සහ චීනය සමඟ ආරවුලකට ගියේය. රුසියාව සම්බන්ධයෙන්  යුක්රේන් යුද්ධය ආරම්භ  වූ අතර චීනය සම්බන්ධයෙන් වෙළෙඳ ආරවුල දිගටම පවත්වා ගෙන යන ලදී.

ජනාධිපති ට්‍රම්ප් ගේ ප්‍රධාන ඉලක්කය ඇමෙරිකාවේ අයවැය හිඟය සහ වෙළෙඳ හිඟය අවම කිරීමයි. බොහෝ කලක් සිට පැවතෙන මෙම ද්විත්ව හිඟය නිසා ඇමෙරිකන් ආර්ථිකය අර්බුදයකට පත් නොවූයේ ඇමෙරිකන් මුදල් ඒකකය වන ඩොලරය ලෝකය පුරා සංචිත මුදල් ඒකකයක් ලෙස භාවිතා කිරීම නිසාය. ද්වි පාර්ශ්වික වෙළෙඳාමෙන් ඇමෙරිකාවට වෙළෙඳ අවාසියක් සිදුවන විට අනෙක් රටට වෙළෙඳ වාසියක් සිදුවේ. වාසි සහගත වෙළෙඳ ශේෂයක් ඇති රටවල් එම අමතර ඩොලර් ඔවුන්ගේ රටවල් තුළට ගතහොත් එම රටවල අපනයන වෙළෙඳාමේ තරඟකාරීත්වය අඩු විය හැකි බැවින් එම අමතර ඩොලර් ඒ රටවල් විසින් ඇමෙරිකානු භාණ්ඩාගාර බැඳුම් කර වල ආයෝජනය කරන ලදී. ඇමෙරිකානු බැඳුම්කර වල ආයෝජනය කර ඇති රටවල් ප්‍රධාන වශයෙන් ජපානය ( ඩොලර් ට්‍රිලියන 1.1) චීනය (ඩොලර් බිලියන 749) සහ බ්‍රිතාන්‍යය (ඩොලර් බිලියන 690) වේ.

එබැවින් ඇමරිකාවේ ජංගම ගිණුම ඍන අගයක් ගත්තත් ප්‍රාග්ධන ගිනුම ධන අගයකි. එනම් වාසි සහගත එකකි. එයට අමතරව ඇමෙරිකාවට සිය මුදල් සැපයුම වැඩි කිරීම හෙවත් ඩොලර් අච්චු ගැසීම සිය රටේ උද්ධමනයට බලපෑමක් නොමැතිව කළ හැකිය . එසේ වන්නේ එය ලොව පුරා භාවිතා වන බැවිනි.

වර්ෂ 2024 දී ඇමරිකන් අයවැය හිඟය ඩොලර් ට්‍රිලියන 1.83 කි. ජාතික ණය ඩොලර් ට්‍රිලියන 35.5 කි. ජංගම ගිණුමේ ශේෂය ඩොලර් ට්‍රිලියන 1.13 කි. පසුගිය කාලය පුරා මෙම ශේෂයන් අනුක්‍රමයෙන් ඉහල ගිය අතර එය ඩොලරයේ ස්ථාවරත්වයට තර්ජනයක් බවද හඳුනාගන්නා ලදී. එබැවින් ට්‍රම්ප් මෙම හිඟයන් අවම කිරීමට කටයුතු කිරීම ප්‍රශංසා කළ  යුත්තකි.

ඇමෙරිකන් අයවැය හිඟය අවම කිරීමට ට්‍රම්ප් විසින් ක්‍රියාමාර්ග රැසක් ගන්නා ලදී. අමෙරිකාවේද රජය විශාල සේවා යෝජකයෙකි. එබැවින් රජය කුඩා කිරීමට ඔහු පියවර ගැනීමට බලාපොරොත්තුවේ. ඇමෙරිකන් මුදල් විශාල ලෙස වැය වුන යුක්රේන යුද්ධය නැවැත්වීමට ඔහු රුසියාව සමඟ සාකච්ඡා කරයි. හිටපු ජනාධිපති කෙනඩි විසින් සිතල යුද්ධ සමයේ ලොව පුරා  රටවලට මෘදු බලයක් පාවිච්චි කිරීමට යොදාගත් USAID සංවිධානයේ  කටයුතු අත්හිටවීමට තීරණය කර ඇත. මේ නිසා ඇමරිකන් ආණ්ඩුවට මුදල් ඉතිරි කිරීමට හැකි වුවත් මෘදු බලය අහිමි වනු ඇත. පැරිස් සම්මුතියෙන් ඉවත් වීම ඇමෙරිකාවේ ඇති තෙල් නිධි හෑරීමට අවස්ථාව සලසා ගැනීමකි.

පසුගිය දශක ගණනාව තුළ ඇමෙරිකානුවන් නිෂ්පාදනය සහ අපනයනය අතහැර පරිභෝජනය වැළඳ ගනිමින් සිටිති. වර්ෂ 1970 දී ඇමෙරිකාවේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය, ආදායම සහ සපයන ලද රැකියා ප්‍රමාණය අනුව ප්‍රධාන සමාගම් වූයේ ජෙනරල් මෝටර්ස්, එක්සෝන් මොබිල් සහ ෆෝඩ් මෝටර් යන සමාගම් තුනයි. මේවා නිෂ්පාදන සමාගම්ය. දැනට රැකියා ප්‍රමාණය අතින් වෝල්මාර්ට්, ඇමසන් සහ හෝම් ඩිපෝ යන සමාගම් ඉදිරියෙන් සිටී. මේවා පරිභෝජන සමාගම් ය. ආදායම අතින් වෝල්මාර්ට්, ඇමසන් සහ ඇපල් සමාගම් ඉදිරියෙන් සිටි. වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය සම්බන්ධයෙන්  ඉදිරියෙන් සිටින්නේ ඇපල්, මයික්‍රොසොෆ්ට් සහ එන්විඩියා  (NVIDIA) සමාගම්ය. මේ සමාගම් තුනේ නිෂ්පාදන බොහොමයක් විදේශයන්හි කෙරේ. ඒවායේ සමහර නිෂ්පාදන ඇමෙරිකාවට ආනයනය කරනවා විය හැක.

නිෂ්පාදනය ඇමෙරිකාවෙන් ඉවත්වන්නේ ඇමෙරිකාවේ නිෂ්පාදන වියදම අනෙක් රටවලට සාපේක්ෂව වැඩි නිසාය. එසේ වන්නේ ඇමෙරිකාවේ ජිවන තත්ත්වය අනෙක් රටවලට වඩා වැඩි නිසාය. තීරුබදු වැඩි කිරීම හරහා කෘත්‍රිම ලෙස අනෙක් රටවලට සාපේක්ෂව නිෂ්පාදන වියදම අඩු කිරීම මූලික ආර්ථික සිද්ධාන්ත වලට පටහැනිය. එය ඇමරිකන් ආර්ථිකය කාලය හරහා ආපසු ගමන් කිරීමට සැලැස්වීමකි. ඇමෙරිකාව විසින් කළ යුත්තේ නවෝත්පාදන හරහා අපනයන වැඩි කිරීමයි. ඇමරිකානු සමාගම්  එය කරමින් සිටි. ට්‍රම්ප් පරිපාලනය විසින් ගත්  පියවර සියලු දෙනාටම පරාජය ගෙන එන්නකි. ඇමරිකන් ආර්ථිකය නැවත නිෂ්පාදන කේන්ද්‍රීය ආර්ථිකයක් බවට පත්කිරීමට ට්‍රම්ප් බලාපොරොත්තු වන්නේ නම් එය ක්‍රියාත්මක නොකළ හැකි හුදු ප්‍රර්ථනා සහගත චින්තනයක් පමණක් වනු ඇත.

මෙම පියවරට එරෙහිව මහජන විරෝධතා දැනටමත් ඇතිවෙමින් තිබේ.මක්නිසාද යත් ආනයනික භාණ්ඩ වල මිල ඉහල යාම නිසා ඇමරිකන් පාරිභෝගිකයන්ට ප්‍රශ්ණ වලට මුහුණ දීමට සිදුවන නිසාය.ලොව පුරා කොටස් වෙළෙඳ පොළ කඩා වැටෙමින් තිබේ. වැඩිවන තීරුබදු වලින් ලැබෙන මුදල් පාවිච්චි කර ඇමෙරිකාවේ පුද්ගල ආදායම් බද්ද අඩු කිරීමට ට්‍රම්ප් පරිපාලනය සැරසෙයි. මෙයින් අදහස් කරන්නේ ඍජු බදු අඩු වීම සහ වක්‍ර බදු වැඩි වීමයි. එනම් තමන්ට ගෙවිය හැකි  බද්දකින් පිරිසක්  නිදහස් වන අතර ගෙවිය හැකි නොහැකි සියල්ලන්ම යම්  බද්දකට යටත් වීමයි.

ට්‍රම්ප් විසින් තීරුබදු සඳහා ඉදිරිපත් කරන ලද සූත්‍රය විකාර සහගත එකකි. ඔහුගේ කථාවේදී අන්‍යෝන්‍ය බදු ගැන සඳහන් කළත් එවැන්නක් සුත්‍රයේ නැත. සරල කරන ලද සුත්‍රය පහත දැක්වේ.

ඇමෙරිකාව සමඟ වෙළෙද අවාසියක් පවත්වා ගෙන යන රටවල් ද තිබේ. ඒ අනුව එම රටවල් සමඟ කෙරෙන වෙළෙඳාම ඇමෙරිකාවට වාසි සහගතය. වෙළඳ වාසිය සහිත සමහර රටවල් වන්නේ යුරෝපා සංගමයේ සාමාජික රටක් වූ නෙදර්ලන්තය  (ඩොලර් බිලියන 55) හොංකොං (ඩොලර් බිලියන 21.9), ඔස්ට්‍රේලියාව (ඩොලර් බිලියන 14.9) සහ බ්‍රිතාන්‍යය ( ඩොලර් බිලියන 11.9) වේ. ට්‍රම්ප් 10% ක තීරුබද්දක් ඔස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය මත පැනවූ අතර යුරෝපා සංගමය මත 20% ක බද්දක් පැනවිය. මේ අනුව නෙදර්ලන්තයට 20% ක බද්දක් ගෙවිය යුතුවේ. එබැවින් මෙම සුත්‍රයේ කිසිම තාර්කිකතාවයක් නැත. ට්‍රම්ප් සමහරවිට මේ සියල්ල ඉවත් කරගත හැක. නැතහොත් සමහර සංශෝධන කළ හැක. එසේ නැතහොත් ඇමෙරිකාව වෙළෙඳ ගනුදෙනු කරන රටවල් සමඟ අන්‍යෝන්‍ය තීරුබදු අනුප්‍රමාන සමාන මට්ටමකට ගෙන ආ හැක.

සමහර විට මෙම නාටකයේ අවසන් ඉලක්කය චීනය විය හැක. පසුගිය වසරේ ඇමෙරිකන් මුළු  වෙළෙඳ හිඟයෙන් 29% ක් චීනය සමඟය, 17% ක් මැක්සිකෝව සමඟය 12% ක් වියට්නාමය සමඟය. චීනයේ මුදල් ඒකකය අඩු අගයක පවත්වාගෙන යාම හේතුවෙන් චීන අපනයන ලාබ දායි වීම හරහා චීනය පොහොසත් වීම ඇමෙරිකාවට තිබුන දීර්ඝ කාලින ගැටලුවකි.මීට පෙර සාකච්ඡා කල පරිදි විවිධ ඇමෙරිකන් ජනාධිපතිවරු ඒ සම්බන්ධ  විවිධ තීරණ ගත්හ. මේ වෙළෙඳ යුද්ධයෙන් චීනය පැරදවීමට ඇමෙරිකාවට හැකි වුවහොත් අපනයනය මත පදනම් වූ චීනයේ ආර්ථික වර්ධන වේගය බොහෝසෙයින් අඩුවනු ඇත. ඒ අනුව ආර්ථික වශයෙන් ඇමෙරිකාව අතික්‍රමණය කිරීම චීනයට දුෂ්කර වනු ඇත.

මෙවැනි තත්ත්වයක් දශක ගණනාවකට පෙර ජපානය අත්  වින්දේය. ජපන් ආර්ථිකය කඩා වැටුනේ 1990 ගණන් වල දීය. එයට ප්‍රධාන හේතුව වූයේ යෙන් එක ශක්තිමත් වීම වැළැක්වීමට මහා බැංකුව විසින් පොලි අනුපාත අඩු කිරීම හේතුවෙන් ඉඩම් වල මිල අසාමාන්‍ය ලෙස ඉහල ගොස් ආර්ථික බුබුලක් ඇතිවීමයි. වර්ෂ 1980 මුල USD/YEN අනුපාතය 250 ක් පමණ විය. එහි තේරුම ජපන් අපනයන ලාබ දායි වීමයි. බුබුල පිපිරුන පසු මහා බැංකුව පොලි අනුපාත වැඩි කළේය. වර්ෂ 1995 දී යෙන් ඒකකය ඩොලරයට සාපේක්ෂව වාර්තා කළ අඩුම අගය 84 ක් විය. එනම් ජපන් අපනයන මිල අධික වීමයි. අපනයන මත රඳා පැවතුන ජපන් ආර්ථිකය පසු බැස්සේ ඒ අනුවය.

විනයේ අපනයන ගැන සලක බලන විට යුවානය මේ මට්ටමට දුර්වලව තිබීම විය නොහැක්කකි. අසාමාන්‍ය ලෙස යුවානය දුර්වල මට්ටමක තබා ගෙන සිටින  හේතුවෙන් සිය අපනයන වැඩි කර ගනිමින් සිටින චීනයටත් බලහත්කාරයෙන් ඇමෙරිකාව කරන්නට උත්සාහ කරන්නේ එවැන්නක් ද? ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව යුවානයේ අගය 1981 මාර්තු සිට 2024 ජූලි දක්වා පහත ප්‍රස්ථාරයේ දැක්වේ. (https://www.macrotrends.net/2575/us-dollar-yuan-exchange-rate-historical-chart)

මේ සඳහා ශ්‍රී ලංකාවට වන බලපෑම කුමක්ද? මෙරට ඇඟලුම් කර්මාන්තය පසුබෑමකට ලක් වනු ඇත. මෙම කර්මාන්තයේ ශ්‍රී ලංකාවේ තරඟකරුවන් සියලු දෙනාම වැඩි කළ තීරුබදු වලට මුහුණ දී ඇත. එනමුත් වැඩිම බලපෑමක් ඇත්තේ ශ්‍රී ලංකාවටයි. චීනය මෙන් ඇමෙරිකාවට ප්‍රති තීරුබදු පැනවීමේ හැකියාවක් අපට නැත. ශ්‍රී ලංකාවට කළ හැකි එක් දෙයක් වන්නේ ඇමෙරිකන් ආනයනික භාණ්ඩ වලට ඇති තීරුබදු අඩුකර ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමයි. එසේනම් අනෙකුත් රටවල් වලින් ආනයනික භාණ්ඩ සඳහා වන තීරුබදු ද අඩු කළ යුතුය

ආණ්ඩුව ආනයනික වාහන සඳහා අති විශාල බද්දක් පනවා ඇති අතර එහි මූලික අරමුණ වූයේ ආණ්ඩුවට ලැබෙන ආදායමයි. මක්නිසාද යත් ආණ්ඩුවේ බදු අඩු කිරීම් සහ වියදම් ඇස්තමේන්තු කර ඇත්තේ මෙම ආදායමද සැලකිල්ලට ගෙන බැවිනි. ලියුම්කරු ද ඇතුළුව බොහෝ දෙනෙක් තනිකර බදු ඉලක්ක කර ගෙන වාහන ආනයනය සඳහා අවසර නොදිය යුතු යයි කීහ.

යම් හෙයකින් ට්‍රම්ප් මේ බදු සශෝධනය කරනවා නම් පළමුවෙන්ම ඔහු සංශෝධනය කළ යුත්තේ ඇමෙරිකාවට වෙළෙඳ වාසියක් සහිත රටවලට පැනවූ බදුයි.එසේ නොකර අපට අනුකම්පා කර අපේ බදු සංශෝධනය කිරීමේ හැකියවක් නැත.

වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන ආර්ථික උපාය මාර්ගයක් වන්නේ නිෂ්පාදන ආර්ථිකයකි.එයින් ගම්‍ය වන්නේ  ප්‍රධාන වශයෙන් අපට අවශ්‍ය දේ මෙහිම නිෂ්පාදනය කර අතිරික්තය අපනයනය කිරීමයි. මෙය ට්‍රම්ප් ගේද  දර්ශනයයි. ට්‍රම්ප් මෙවැනි කථා කියන විට මෙම දර්ශනය සහිත ලාංකිකයෝ උද්දාමයට පත්ව සිටියහ. ලංකාවද දැන් පහල මැදි ආදායම් ලබන රටකි. ඇඟලුම් ක්ෂේත්‍රයේ බංග්ලාදේශයට ආයෝජන සඳහා ඉල්ලුමක් තිබුනේ ඔවුන්ගේ වැටුප් ශ්‍රී ලංකාවටද වඩා අඩු නිසාය. කෘෂිකාර්මික භාණ්ඩ මෙරට නිෂ්පාදනය සඳහා ඉන්දියාවෙන් ආනයනය කරනවාට වඩා වැඩි මිලක් යන්නේ නම් ඒවා ඉන්දියාවෙන් ආනයනය කළ යුතුය. එබැවින් අප ඉලක්ක කළ යුත්තේ භාණ්ඩ සහ සේවා අපනයන ආර්ථිකයකි, නිෂ්පාදන ආර්ථිකයක් නොවේ. එය මෙරට පරිභෝජනය ඉක්මවා ලෝක පරිභෝජනය ඉලක්ක කළ යුතුය.

කුඩා රටක් වන ශ්‍රී ලංකාවට ආනයනික තීරුබදු අඩුකර අනික් ගනුදෙනුකාර රටවල් වලින් අපේ භාණ්ඩ සඳහාද තීරුබදු අඩුකරන ලෙස ඉල්ලා සිටීම වාසි සහගත වේ.මක්නිසාද යත් මෙරට වෙළෙඳපොළ මිලියන 22ක් පමණක් වන අතර විදේශ වෙළෙඳ පොළ ඊටවඩා  බොහෝසෙයින් විශාල බැවිනි. එනමුත් මේ සඳහා ආක්‍රමණශීලී භාණ්ඩ සහ සේවා අපනයන ව්‍යාපාරිකයන් පිරිසක් අවශ්‍යය. එමෙන්ම මේ පියවර වලට අවහිර නොකරන අමුග්ධ ජනතාවක් අවශ්‍යය.

එමෙන්ම මෙරට බොහෝ පිරිසක් ඇමෙරිකන් අධිරාජ්‍යවාදීන්ට එරෙහි වන අතර චීනයට හෝ රුසියාවට හෝ පක්ෂ වෙති. ශ්‍රී ලංකාවේ ප්‍රධානම අපනයන ආදායම ලැබෙන්නේ ඇමෙරිකාවෙනි. එය මුළු අපනයන වලින් 23% කි. එවැනිම ප්‍රතිශතයක් යුරෝපා සංගමයට යවනු ලැබේ. එබැවින් GSP+  සහනය දිගටම ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කල යුතුය. එමෙන්ම නිදහස් වෙළෙඳ ගිවිසුම් වලට එරෙහි මතවාදයට එරෙහිව  ඇතිකර ගත් වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක කළ යුතු අතර නව නිදහස් වෙළෙඳ ගිවිසුම් වලට එළඹිය යුතුය. ප්‍රධාන වශයෙන් අයවැය හිඟය අඩුකර ගැනීම සඳහා ට්‍රම්ප් විසින් ද  ක්‍රියාත්මක කරන රාජ්‍යය කුඩා කිරීම සඳහා වන කාලයක් තිස්සේ අතපසු වෙමින් ආ ආර්ථික ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කළ යුතුය.

ශ්‍රී ලංකාව බරපතල ගැටලුවක් අබියස සිටින අතර එයට මුහුණ දීම සඳහා සියලු දෙනාම එකතු විය යුතුය. ආර්ථික අර්බුදය සමයේ එවකට සිටි ජනාධිපතිවරයා විපක්ෂයේ සහය ඉල්ලා සිටි නමුත් අවශ්‍ය සහය ඔහුට නොලැබුණි. දැන් විපක්ෂය සහාය දීමට සුදානම් බව පවසන මුත් පෙනෙන ආකාරයට ආණ්ඩුවේ ඒ ගැන කැමැත්තක් නැත. සර්ව පාක්ෂික සමුළුවක් ගැන යෝජනාවක් අසන්නට ලැබුණි, එවැනි සාකච්ඡා වහාම පැවැත්විය යුතුය.

 

Social Sharing
අවකාශය නවතම