ගෝලීය ආර්ථිකය තුළ ට්‍රම්ප්වාදය හඳුනාගැනීම – සී ජේ අමරතුංග

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථිකයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් මුළු ලෝකය ම කම්පනයට පත්වී ඇත. දැන් එය විශාල විවාදයකට, සංවාදයකට හේතු වී තිබේ.

ට්‍රම්ප් ලෝකයට එල්ල කළේ දැවැන්ත තීරු බදු ප්‍රහාරයකි. සියලු රටවලට සියයට 10 ක් සහ බොහෝ රටවලට අමතර විශාල බදු නියම කොට තිබේ. එයින් චීනයට කළ බදු වැඩිකිරීමට චීනය ද ප්‍රති ප්‍රහාර එල්ල කිරීම නිසා එය බදු යුද්ධයක් වී තිබෙන අතර වෙනත් රටවල් ද විවිධ ආකාරයේ ප්‍රතිචාර දක්වමින් ඇත. ට්‍රම්ප්ගේ මහා බදු ක්‍රියාත්මක කිරීම දින 90 කට නවතා ඇතත්, සාමාන්‍ය සියයට 10 බදු දැනටමත් ක්‍රියාත්මක ය.

යුරෝපා සංගමය, කැනඩාව, ජපානය ඇතුළු බොහෝ රටවල් දක්වන ප්‍රතිචාර එකිනෙකට වෙනස් වුවත් සියලු ජාතීන්ට මෙය බරපතළ කම්පනයක් සහ පීඩාවක් වී ඇති බවට සැකයක් නැත. ලෝක ආර්ථික අර්බුදයක් පිළිබඳව ද බිය පළ වී තිබේ.

මෙම අර්බුදය වර්ධනය වන ආකාරය සහ එහි අනාගතය පිළිබඳ යම් අදහසක් ඇතිකර ගැනීමට නම් පළමුවෙන් මේ සිදුවන දේ අවබෝධ කරගත් යුතු ය. එහි දී , මෙය සිදුවන සන්දර්භය ත්රුම් ගැනීම අවශ්‍ය වෙයි. අපට මුහුණ දීමට සිදුවිය හැකි අර්බුදය තේරුම් ගෙන ක්‍රියා මාර්ග තේරුම් ගැනීමට හැකි වන්නේ එවිට ය.

මෙම ලිපියේ අරමුණ වන්නේ එබඳු තේරුම් ගැනීමක් සඳහා ප්‍රවේශයක් ලබා ගැනීම යි.

මෙහි දී අප තේරුම් ගත යුතු වන්නේ මෙය හුදෙක් ඇමෙරිකාව තම වෙළෙඳ ප්‍රතිපත්තිය වෙනස් කිරීමක් පමණක් නොව දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ ගොඩ නැගී තිබු ජාත්‍යන්තර ආර්ථික දේශපාලන සැකැස්ම බිඳ වැටීමක් බව යි.

දෙවන ලෝක යුද්ධයට පෙර ලෝක වෙළෙඳපොළ පැවතියේ බලවත් ජාතීන් විසින් ලෝකය බෙදාගෙන යටත් විජිත ලෙස වෙළෙඳපොළ යුද බලයෙන් පාලනය කිරීමක් වශයෙනි. නමුත්, දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය බෙදා ගැනීම වෙනුවට නිදහස් රාජ්‍යයන් ලෙස පවත්වා ගනිමින් පොදු ලෝක වෙළෙඳපොළක් ලෙස ක්‍රියාත්මක වීමක් දකින්නට ලැබිණි. නවසිය අසු ගණන්වල ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන් සහ බ්‍රතාන්‍යයේ මාග්‍රට් තැචර් විසින් ක්‍රියාත්මක කළ නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ සහ එවකට පැවති සමාජවාදී කඳවුර බිඳ වැටීමත් සමග ලෝකයේ ගෝලීය නිදහස් වෙළෙඳපොළ විශාල ලෙස වර්ධනය වී ය.

එසේ වුවත්, ලෝකයේ කිසිදු රටක් පරිපුර්ණ නිදහස් වෙළෙඳපොළ ක්‍රමයක් ක්‍රියාත්මක කළේ නැත. නිදහස් වෙළෙඳපොළ ක්‍රමය වෙනුවෙන් පෙනීසිටි මහාචර්ය මිල්ටන් ෆ්රීඩ්මන් පෙන්වා දුන්නේ ජනාධිපති රේගන්ගෙන් පසු ඇමෙරිකාව එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව නවතා දැමු බව යි. මේ අවස්ථාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා රාජ්‍ය ආයතන රාශියක් අහෝසි කරමින්, සමාජ සුබසාධන කපා හරිමින් සිටීමෙන් පෙන්නුම් කරන්නේ ඉහත කී විවේචනය සාධාරණ බව යි. දැන් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇමෙරිකාවේ වෙළෙඳපොළ පාලනය නැතහොත් නියාමනය සඳහා තිබු ආයතන අහෝසි කරමින් රට තුළ වෙළෙඳපොළ නිදහස් කරමින් සිටියි. ඒ ඒ රටවල ජාතික වෙළෙඳපොළ තුළ ආරක්ෂණ පවත්වාගෙන යෑම අතින්  බ්‍රිතාන්‍යය සහ ලොව අනෙක් රටවල් සම්බන්ධයෙන් ද තත්ත්වය එය ම ය.

මෙලෙස ආර්ථික සංවර්ධනය සඳහා නිදහස් ලෝක වෙළෙඳපොළක් පැවතිය යුතු බව පිළිගෙන ඒ සඳහා ප්‍රතිඥා දුන් බොහෝ රටවල් තම තමන්ගේ ආර්ථිකයන්හි ඇතැම් අංශ බාහිර තරගයෙන් ආරක්ෂා කිරීමට විවිධ ක්‍රියාමාර්ග යොදා ගැනීම සාමාන්‍ය තත්වයක් බවට පත්ව තිබිණි. චීනය වැනි රටවල් රාජ්‍යයේ පාලනය යටතේ මෙම පිළිවෙත කැපී පෙනෙන ලෙස ක්‍රියාත්මක කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙය හඳුන්වන්නේ වෙනත් රටවල් පවතින ක්‍රමයෙන් අයුතු ලාබ ලබමින් ඇමෙරිකාවේ ධනය සොරකම් කරමින් සිටීමක් වශයෙනි. ලෝක ආර්ථිකයට ඔහුගේ ප්‍රහාරය එල්ල වන්නේ මෙම ක්‍රමය ඇමෙරිකාවේ වාසියට හරවා ගැනීම සඳහා ය.

මෙලෙස ආර්ථික සංවර්ධනය කළ හැක්කේ නිදහස් වෙළෙඳපොළ වර්ධනය කිරීමෙන් බව ලෝකයේ ම පිළිගැනීමට ලක්ව තිබුණත්, රටවල් වල අභ්‍යන්තර දේශපාලනය ක්‍රියාත්මක වුයේ එයට පටහැනිව රාජ්‍ය මැදිහත්වීම සඳහා ය. බොහෝ විට එසේ වුයේ ආර්ථිකයේ වුවමනාවන් අනුව නොව දේශපාලන වුවමනාවන් නිසා ය. පුර්ණ නිදහස් වෙළෙඳ පොළ ක්‍රමයකින් පළමුවෙන් ඇතිවන කම්පනයන්ට ඉඩ දීමට දේශපාලඥයෝ කැමති නොවුහ.

මහාචාර්ය මිල්ටන් ෆ්රීඩ්මන් කීවේ සමාජවාදය අසාර්ථක බව සියලු දෙනා පිළිගත්තත් හැමෝම කරන්නේ එය ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරීම බව යි. ඔහු සමාජවාදය යැයි කීවේ ආර්ථිකය රජය මගින් පාලනය කිරීම යි.

චීනය වැනි රටවලට චෝදනා එල්ලවන්නේ කම්කරු අයිතිවාසිකම්වලට ඉඩ නොදී , වැටුප් මට්ටම් පහත දැමීම සහ ඇතැම් අංශවලට සහනාධාර දීම වැනි නොයෙක් මැදිහත්වීම් මගින් දේශීය වෙළෙඳපොළ වර්ධනය වළකා ලෝකයේ පවතින නිදහස් වෙළෙඳපොළ තුළ වැඩි වාසි අත්කර ගන්නා බවට ය.

කෙසේ වෙතත්, ලෝකයේ සියලු රටවල ආර්ථික සංවර්ධනයට නිදහස් වෙළෙඳපොළ ක්‍රමය අවශ්‍ය බව පිළිගත් සියලු රටවල් එක්ව ලෝක වෙළෙඳ සංවිධානය හරහා ඒ සඳහා ක්‍රියා කළේය. එහි එක් වැදගත් සන්ධිස්ථානයක් වුයේ වොෂින්ටන් සම්මුතිය ලෙස හඳුන්වන ලද වැඩ පිළිවෙළ යි. ලෝකයේ බොහෝ දුරට පුර්ණ නිදහස් වෙළෙඳපොළක් බිහිකිරීම සඳහා සියලු රටවල් ක්‍රියාකළ යුතු ආකාරය එම සම්මුතියට ඇතුළත් වී ය.

එසේ ගිවිස ගත්ත ද ලෝකයේ ප්‍රබල රටවල් එය ක්‍රියාත්මක කළේ නැත. අවසානයේ එම වැඩ පිළිවෙළ අසාර්ථක ලෙස සලකා අතහැර දමනු ලැබීය. මෙහි දී ද පෙන්නුම් කළේ ජාතික රාජ්‍යයන්ගේ දේශපාලන අවශ්‍යතා ලෝකයේ ආර්ථික සංවර්ධන අවශ්‍යතා සමග ගැටෙන ආකාරය යි.

ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ලෝකයේ දෙවැනි ක්‍රමයක් ලෙස ක්‍රියාවට නගන ලද්දේ ද්වි පාර්ශවික සහ බහු පාර්ශවික වෙළෙඳ ගිවිසුම්වලට එළඹීම යි. එබඳු ගිවිසුම් මගින් කරන්නේ එක් එක් රටක් වෙනත් රටක් හෝ රටවල් සඳහා තමන්ගේ රටේ පවතින වෙළෙඳ සීමා එකඟවන ප්‍රමාණයකට ලිහිල් කිරීමට ගිවිසුම්ගත වීම යි. එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වී ඇත්තේ ද එක් එක් රටවල් තම වෙළෙඳපොළ සඳහා බදු සහ බදු නොවන විවිධ සීමා ක්‍රියාත්මක කොට තිබීම හේතුවෙනි. ඉන්දු- ලංකා ETCA ගිවිසුම සඳහා සාකච්ඡා දශක දෙකකට වැඩි කලක් දික් ගැසෙමින් පවතියි.

මෙයින් ද පෙන්නුම් කරන්නේ රාජ්‍යයන් තම වෙළෙඳපොළ විවෘත කිරීමට දක්වන මැලිකම යි. එසේ වුවත්, වේගවත් ආර්ථික සංවර්ධනයක් සඳහා වෙළෙඳපොළ විවෘත කිරීම අත්‍යවශ්‍ය බව ද ලොව පුරා අත්දැකීම් මගින් තහවුරු වී තිබෙන බැවින් එම උත්සාහය ද දිගට ම ක්‍රියාත්මක වෙයි. සැබෑ ප්‍රතිවිරෝධය පවතින්නේ මෙහි ය.

ඒ කියන්නේ එක් අතෙකින් ගෝලීය නිදහස් වෙළෙඳපොළ ක්‍රමයක් වෙනුවෙන් ක්‍රියා කිරීමත්, ඒ සමග ම ජාතික මට්ටමින් ආරක්ෂණවාදී ලෙස ක්‍රියා කිරීමත් යන ප්‍රතිවිරෝධී තත්ත්වයක් ලොව පුරා පවතියි. එම ආරක්ෂණවාදී ක්‍රියාවලියට හේතු වන්නේ රටවල් අභ්‍යන්තරයේ පවතින ආර්ථික දේශපාලන සාධක යි. ඇතැම් ප්‍රජාවන්ගේ ජීවනෝපාය රැකගැනීම ව්‍යාපාරික කොටස් ආරක්ෂා කිරීම වැනි කරුණු එයට හේතු වෙයි.

ට්‍රම්ප් ලෝක ආර්ථිකයට ප්‍රහාරයක් එල්ල කරන්නේ එහි වැඩි වාසි ඇමෙරිකාවට දිනාගැනීම අරමුණු කොට ගෙනය. සාර්ථකවීම හෝ අසාර්ථකවීම කෙසේ වෙතත් උත්සාහය එය යි.

ලෝකයේ පවතින මෙම තත්ත්වය සම්භාව්‍ය මාක්ස්වාදී දර්ශනය සහ හේගල්ගේ දර්ශනයේ එන දයලේක්තිකවාදය පිළිබඳ ඉගැන්වීම් ඇසුරෙන් වඩා හොඳින් විග්‍රහ කළ හැකි ය. එම දර්ශනයට අනුව ලෝකයේ සහ සොබාදහමේ පැවැත්ම සහ වර්ධනය සිදුවන්නේ ප්‍රතිවිරෝධයන් නිසා ය. එනම් ප්‍රතිපක්ෂයන්ගේ ගැටුම නිසා ය. විද්‍යුතයේ ධන සහ ඍන විදුලිය, පරමාණුවේ එලෙක්ට්‍රෝන සහ ප්‍රටෝන වැනි ප්‍රතිපක්ෂයන්ගේ ගැටුම ඒවායේ පැවැත්මේ සාධක වෙයි.

ලෝකයේ ගෝලීය වූ ආර්ථිකය සහ ජාතික රාජ්‍යයන් ලෙස පවතින දේශපාලන ක්‍රමය අතර ප්‍රතිවිරෝධය ද එවැන්නකි. අද ලෝකයේ ඇත්තේ ගෝලීයකරණය වූ ආර්ථික ක්‍රියාවලියකි. නිෂ්පාදනය ගෝලීය ය. බෙදාහැරීම ද ගෝලීය ය.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා සියයට 70 කට වඩා විදේශීය යෙදවුම් අවශ්‍ය වෙයි. ඒවායේ හිමිකාරීත්වය ඇත්තේ එහි ප්‍රමිතිය සහ නිර්මාණය නැතහොත් විලාසිතාව සකසන සන්නාම හිමියන්ට ය. වෙළෙඳපොළ ගෝලීය ය. මෙය සම්පුර්ණයෙන් ගෝලීය ආර්ථික ක්‍රියාවලියකි.

ඇමෙරිකාවේ ෆෝඩ් මෝටර් රථය සඳහා ද සියයට 50 කට වැඩි විදේශ යෙදවුම් අවශ්‍ය ය. ඇපල් අයි ෆෝනයේ කොටස් රටවල් හැට ගණනක නිපදවනු ලබයි. ඒවා ගෝලීය නිෂ්පාදන වෙයි.

ගෝලීය අගය දාම ක්‍රියාවලිය ලෙස ආර්ථික විද්‍යාඥයින් හඳුන්වන්නේ. මෙම ක්‍රියාවලිය යි.

අනෙක් අතට ලෝකයේ දේශපාලන සැකැස්ම පවතින්නේ ජාතික රාජ්‍යයන් වශයෙනි. ඒවා ජාතික රාජ්‍ය සීමා තුළ ක්‍රියාත්මක වෙයි. ඒවා ජාතිකවාදී ( Nationalist ) ය. ඇතැම් විට ජාතිවාදී ( Racist ) ය. (Make America Great Again !).

ලෝකයේ ක්‍රියාකාරීත්වය තීරණය වන්නේ ගෝලීය වූ ආර්ථික ක්‍රියාවලිය සහ ජාතික වූ දේශපාලන ක්‍රියාවලිය අතර මෙම ප්‍රතිවිරෝධතාවය ක්‍රියාත්මක වීමක් වශයෙනි. ප්‍රතිපක්ෂයන්ගේ ගැටුමක් වශයෙනි.

ගෝලීය ආර්ථිකය පවත්වාගෙන යෑම සඳහා ගෝලීය සංවිධාන සහ රාජ්‍ය කණ්ඩායම් ඇතිවීම මෙන් ම රටවල් තුළ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වරෙක දැඩි කිරීම සහ තවත් වරෙක ලිහිල් කිරීමත් සිදුවන්නේ මෙම ගැටුමේ වර්ධනයන් වශයෙනි.

ලෝක ආර්ථික ක්‍රමයට ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රහාරය මෙම ගැටුම උත්සන්න වූ අවස්ථාවකි. ඒ සමග ම අප තේරුම් ගත යුතු වන්නේ එයට ක්‍රියාත්මක විය හැක්කේ ඉහත කී සන්දර්භයේ සීමා යටතේ බව යි.

ට්‍රම්ප් ඇතිකළ ආර්ථික වියවුල කුමන ආකාරයෙන් වර්ධනය විය හැකි ද ? ඒ අනුව ලෝකයේ අනාගත වර්ධනයන් කුමන ආකාරයේ විය හැකිද? යන්න තේරුම් ගත හැකි වන්නේ මෙම ප්‍රධාන ප්‍රතිවිරෝධය තේරුම් ගැනීම මගින් ය.

ඒ ගැන ඉදිරි කාලයේ කතා කරමු.

Social Sharing
අවකාශය නවතම