සත්සර නිමේෂ්ගේ මෘත දේහය නැවත ගොඩගැනීමට අධිකරණ නියෝග!

බදුල්ල, මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි, වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය සත්සර නිමේෂ්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔහුගේ මව විසින් ඉදිරිපත් කළ මෝසම සලකා බැලූ කොළඹ ගරු අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් සත්සර නිමේශ්ගේ මෘත දේහය නැවත ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරුන් තුන් දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් හරහා සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අදාල වාර්තාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඊයේ (9) නිර්දේශ කළේය.

මෙහි දී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ “වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අංගොඩ මානසික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම තරුණයා මියගොස් ඇති නමුත්, මෙම තරුණයාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පැවති ආකාරය සම්බන්ධයෙන් ඔහුගේ මව සෑහීමකට පත්වන්නේ නැති බවයි. ඒ අවස්ථාවේ දී ඔහුගේ මවට කරුණු ඉදිරිපත් කරන්නත් අවස්ථාව ලබා දී නොමැති නිසා මෙම මරණය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක් පවතින බවයි. ඒ නිසා මෙවැනි අවස්තාවල අපරාධ නඩු විධාන සංග්‍රහයේ 373 වගන්තිය යටතේ අලුතින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට පූර්ණ බලය පවරා දී තිබෙන බැවින් මෙම තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරුන් තුන් දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මගින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටින බවයි.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි තවත් නීතිඥවරයෙකු වූ නීතිඥ සේනක පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ” ස්වාමීනි, මෙම මරණය සම්බන්ධයෙන් මරණකරුගේ මවට සැකයක් තිබෙනවා. ඇය ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙනුත් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා. මොකද මිය යන්නට පෙර අදාළ තරුණයා ඇයගේ මවට ප්‍රකාශ කර තිබෙනවා තමන්ට පහර දීමක් සිදුවූ බව, පසුව මව කෑම රැගෙන පොලිසියට ගිය අවස්ථාවේදී ඇයට දැනගන්නට ලැබී තිබෙනවා, ඔහු මියගොස් තිබෙන බව” එහෙයින් මෙම මරණය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තුන් දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මගින් අලුතින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් නීතිඥ සේනක පෙරේර සඳහන් කළේ ය.

අගතියට පත් පාර්ශවය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මෙම නියෝගය නිකුත් කළේ ය.
වැලිකඩ පොලිස් භාරය යටතේ සිටිය දී ‘මරණයට පත්ව’ තිබෙන සත්සර නිමේෂ් : මෙතෙක් අප දන්නේ මොනවා ද?

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා ඉදිරියේ කැඳවනු ලැබිණි.
ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මරණයට අදාළව මුලින්ම නුගේගොඩ පොලිස් කොට්ඨාසය මාර්ගයෙන් විමර්ශන කළ බව පැවසීය.

” ස්වාමීනි වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී තිබෙනවා. අප විමර්ශන භාර ගත්තාට පස්සේ මෙම තරුණයා අත්අඩංගුවට ගත් ස්ථානයේ සිට පොලිසියට රැගෙන ආ අවස්ථාවත්, පොලිසියේ සිට අංගොඩ රෝහල වෙත රැගෙන ගිය අවස්ථාවත් දක්වා අවස්ථා ආවරණය වන පරිදි විමර්ශන සිදු කරමින් පවතිනවා. ඒ යටතේ මෙම තරුණයා නවාතැන් ගෙන සිටි ස්ථානයේ පුද්ගලයින්ගෙන් හා ඔහු ඇසුරු කළ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තා. ඒ වගේ ම සී.සී.ටී.වී. දර්ශන ඔස්සේත් වැඩිදුර විමර්ශන කරනු ලබනවා. එසේ ම මිය ගිය තරුණයාගේ ලේ සාම්පල් හා මෘත ශරීර කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා,” යනුවෙන් සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අගතියට පත් පාර්ශවය කරන ඉල්ලීමට තමන් විරුද්ධ නොවන බවත් අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉහත කී නියෝගය නිකුත් කළේ ය.

ඉන් අනතුරුව පැමිණිල්ල මේ මස 30 වන දා යළි කැඳවීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ද නියෝග කර සිටියේ ය. මේ අතර, මෙම නඩු විභාගය පැවති අවස්ථාවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද නිහඬ විරෝධතාවක් ද පැවැත්විණි. ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමිනි. ඒ සඳහා මියගිය තරුණයාගේ ඥාතීන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.

Social Sharing
අවකාශය පුවත්