ට්‍රම්ප්ගේ තීරු බද්ද තාවකාලිකව අත්හිටුවයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට අමෙරිකාව විසින් පනවන ලද තීරුබදු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේය.

එහෙත් චීනයට මෙය අදාළ නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර සිටි අතර එමඟින් චීනයට පැනවු සියයට 125 ක තීරු බද්ද එලෙසම ක්‍රියාත්මක වන බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

මාධ්‍ය අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ තීරුබදු සංශෝධනය පිළිබඳව, රටවල් අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා කරමින් ඇති බවයි.
එහෙත් චීනය විසින් පැනවූ සියයට 84ක තීරු බදුවලට එරෙහිව අමෙරිකාව විසින් පැනවූ සියට 125ක තීරුබදු එලෙසම ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීරුබදු තාවකාලිකව අත්හිටුවීමේ පුවතත් සමගින් ලොව කොටස් වෙළඳපොල රැසක මිල දර්ශක දින ගණනාවකට පසු ඉහළ ගොස් තිබේ.

අමෙරිකානු කොටස් වෙළඳපොලේ S & P මිල දර්ශකය සියට 9.5කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය 2008 වසරෙන් පසුව එම මිල දර්ශකය ඉහළ ගිය පළමුවන වතාවයි.

නැස්ඩැක් මිල දර්ශකය සියට 12 කින් ඉහළ ගොස් ඇති අතර මෙය වසර 24 කට පසු එක් දිනක් තුල වාර්තාවූ ඉහළම අගය වේ.

ආසියානු කොටස් වෙළඳපොල රැසකද මෙවැනි වූ වර්ධනයක් වාර්තා වී තිබේ.

චීනයේ ෂැංහයි කොටස් මිල දර්ශකය සියට 1.3 කින් ඉහළ ගොස් තිබේ.

ජපානයේ නිකේයි කොටස් මිල දර්ශකය, දකුණු කොරියානු කොස්පි, තායිවානයේ තායිඑක්ස් සහ ඕස්ට්‍රේලියාව ASX 200 කොට මිල දර්ශක පිලිවෙලින් සියට 8.6, 4.8, 9.3කින් සහ සියට 5කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර, වෙළඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට අමෙරිකාව සහ වියට්නාමය එකඟ වී ඇති අතර හැකි තරම් තීරුබදු නොවන බාධක ඉවත් කිරීම සළකා බලනු ඇතැයි වියට්නාම රජය නිවේදනයක් නිකුත් කර සිටියේය. තම රට තුළ අමෙරිකානු ආයෝජන සඳහා පහසුකම් සැලසීමට සහ වෙළඳ වංචාවන්ට එරෙහිව සටන් කිරීමට ප්‍රතිඥා දී ඇති බව එම නිවේදනයේ සඳහන්.

ජනාධිපති ට්‍රම්ප්ගේ තීරුබදුවල බලපෑම අවම කිරීම සඳහා කලාපය තුළ වෙළඳාම වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බවට ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ රටවල් 30 කට වැඩි ගණනක නායකයින් පොරොන්දු වී තිබේ. හොන්ඩුරාස්හි පැවති එම නායකයින්ගේ සමුළුවේ දී බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා පැවසුවේ, අත්තනෝමතික තීරුබදු ජාත්‍යන්තර ආර්ථිකය අස්ථාවර කරන අතර උද්ධමනයට හේතු සෘජු හේතුවන බවයි.

Social Sharing
විදෙස්