2025 – 2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ජනපති අද ජනගත කරයි.

 

2025 – 2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම අද එළි දැක්වීය.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දීය. සුපිළිපන් දේශයක් කරා තේමා කරගනිමින් මෙම දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැළැස්ම සකස් කර තිබෙනවා. මේ දක්වා ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි කාලය 2025 දෙසැම්බර් මස අවසන් වීමට නියමිත බැවින් එහි සැලැස්ම සමාලෝචනය කර නව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට මෙහිදී කටයුතු කර ඇත.

දුෂණ විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම නියාමනය කිරීම ඇතුළුව ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය වැළැක්වීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත බලතල පැවරී ඇති අතර එකී බලතල ප්‍රකාරව සහ කැබිනට් මණ්ඩල අනුමැතිය ලත් දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රයේ සඳහන් පරිදි “දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2025-2029” සකස් කිරීම කල යුතු බවත් ඒ සඳහා ජනතා අදහස් කැඳවීම කල යුතු බවටත් කොමිෂන් සභාව පසුගියදා තීරණය කළේය.

ශ්‍රී ලංකාව තුළ අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වූ “දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2025-2029” සකස් කිරීම සඳහා රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය, ප්‍රජාපාදක සංවිධාන, මහජන නියෝජිතයන්, තරුණයන්, දරුවන්, ආගමික සංවිධාන ඇතුළු සමස්ථ මහජනතාවගෙන් සැදුම්ලත් පළාත් මට්ටමින් හා ජාතික මට්ටමින් අදහස් සහ යෝජනා කැඳවීම සඳහා වූ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව විසින් පියවර ගත් අතර එහි ආරම්භක වැඩසටහන අගෝස්තු මස 01 වන දින වයඹ පළාත සේන්දු කරගනිමින් දියත් කර ඇත.

Social Sharing
අවකාශය නවතම පුවත්