ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථික පද්ධතියට බරපතළ ප්‍රහාරයක් එල්ල කොට ඇත. ඔහු පසුගියදා ප්‍රකාශයට පත්කළ තීරුබදු මගින් ලෝකයේ මෙතෙක් පැවති වෙළෙඳපොළ ක්‍රමය බරපතළ අර්බුදයකට ලක් කොට තිබේ. ලොකු කුඩා සියලු රටවල් කම්පාවට පත්ව තම තමන් මුහුණ දෙන අර්බුද සඳහා විසදුම් සොයන්නට පටන්ගෙන තිබේ.
බරපතළ ආර්ථික අර්බුදයකින් පසු රටේ ආර්ථිකය යන්තම් ස්ථාවර කරගත් ශ්‍රී ලංකාවට ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා ඇති සියයට 44 ක තීරුබදු අනුපාතය විශාල අභියෝගයකි. දැන් මුළු රට ඒ පිළිබඳව කම්පනයට පත්ව සිටින අතර විවිධ විසඳුම් ගැන කතා බහක් ආරම්භ වී තිබේ. බොහෝ දෙනා පෙන්වා දෙන්නේ නිසි පරිදි කළමනාකරණය නොකළහොත් මෙය තවත් ආර්ථික කඩා වැටීමකට හේතු විය හැකි බව යි.
ට්‍රම්ප්ගේ බදු සහ ඔහුගේ ආර්ථික පිළිවෙතත් එයින් ලෝකයට සහ අපට සිදුවන බලපෑමත් පිළිබඳව බොහෝ පැතිවලින් සාකච්ඡා කළ හැකිය. එසේ වුවත්, මෙම ලිපියෙන් හඳුනා ගැනීමට උත්සහ කරන්නේ එහි අපට ඇති ඉක්මන් සහ දිගුකාලීන ප්‍රතිවිපාක පිළිබඳව ය.
ශ්‍රී ලංකාවට සියයට 44 ක බද්දක් පනවා ඇත්තේ මෙරටින් ඇමෙරිකාවට කරන අපනයන සඳහා ය. එයින් ක්ෂණිකව අභියෝගයට ලක්වන්නේ මෙරටින් එරටට කරන අපනයන යි. නමුත් දිගුකාලීන බලපෑම එයින් නවතින්නේ නැත.
ශ්‍රී ලංකාවේ සමස්ත භාණ්ඩ අපනයනය වසරකට ඩොලර් බිලියන 13 ක් පමණ වෙයි. එයින් ඇමෙරිකානු වෙළෙඳපොළට යවනු ලබන ප්‍රමාණය ඩොලර් බිලියන 3 ක් පමණ වෙයි. මුලින් ම තර්ජනයට ලක් වන්නේ මෙම ප්‍රමාණය යි. ශ්‍රී ලංකාවේ සේවා අපනයනයෙන් ද තවත් බිලියන 7 ක පමණ ආදායමක් ලබයි. එම ප්‍රමාණය ද ක්ෂණිකව තර්ජනයට ලක්වන්නේ නැත.
මෙරටට පනවා ඇති සියයට 44 ක අමතර බදු ප්‍රමාණය ගෙවන්නේ අප රට හෝ මෙරට සමාගම් විසින් නොවේ. ඒවා ගෙවන්නේ ඇමෙරිකාවේ භාණ්ඩ ආනයන කරන සමාගම් විසින් ය. එම ගෙවීම් භාණ්ඩ මිලට එකතු වූ විට අවසාන වශයෙන් එය ගෙවන්නේ ඇමෙරිකානු පාරිභෝගිකයින් විසින් ය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිගේ බදුවලට ඇමෙරිකානු ජනයාගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත්තේ ඒ නිසා ය.
ශ්‍රී ලංකාවට සිදුවන්නේ ඉහළ මිල නිසා ඉල්ලුම අඩුවීමෙන් නිෂ්පාදන අඩු කිරීමට හෝ නවතා දැමීමට සිදුවීම යි. එම නිසා අපගේ ඇතැම් කරමාන්ත ශාලා වැසී යාමට හෝ අඩු ධාරිතාවයකින් ක්‍රියාත්මක කිරීමට හෝ සිදුවිය හැකි ය. ප්‍රතිඵල ලෙස විශාල පිරිසකට රැකියා අහිමි විය හැකි ය.
මෙහි දී ශ්‍රී ලංකාවේ තරගකාරී රටවලට ද ඉහළ බදු නියම කොට තිබීමෙන් තරගකාරීබව යම් ප්‍රමාණයකට අඩු විය හැකි ය.
මෙරටට සිදුවන වෙළෙඳපොළ අහිමි වීම ඩොලර් මිලියන 600 ක් පමණ වනු ඇතැයි සමහරු කියති. එය ඊට වඩා වැඩි වීමට ඉඩ ඇත. කෙසේ වෙතත්, ඇඟලුම් නිෂ්පාදනයේ දී සියයට 70 කට වැඩි ආනයන ප්‍රමාණයක් සිදුවන නිසා අපනයන ආදායම අහිමි වීමේ සැලකියයුතු ප්‍රතිශතයකින් ආනයන වියදම ද අඩු වනු ඇත.
මෙම කරුණේ දී තීරණ ගැනීම සිදුවන්නේ අපගේ පාලනයකින් තොරව ය. බදු අඩු කරගත හැක්කේ ඇමෙරිකානු ආණ්ඩුව සමග කරන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියකින් පමණකි. අපට දිගට ම ඇනවුම් ලබා දෙන්නේ ද යන්න තීරණය කරනු ඇත්තේ ඇමෙරිකානු සමාගම් විසින් ය.
මෙම බදු මගින් ඇමෙරිකාවේ සිදුවන දේ සහ අනෙක් රටවල් එයට දක්වන ප්‍රතිචාර අනුව වඩා බරපතළ ප්‍රතිවිපාක ඇතිවිය හැකිය.
ඇමෙරිකාව ලෝකයේ බොහෝ රටවලට පනවා ඇති තීරුබදු අවසන් වශයෙන් ගෙවන්නේ ඇමෙරිකානු ජනතාව විසින් ය. එමගින් ඇමෙරිකානු ජනතාවගේ ජීවන මට්ටම් කඩා වැටීමක් සිදුවිය හැකි ය. ඒ බව මේ වනවිටත් එරට කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් පෙන්නුම් කර තිබේ , දින දෙකක් තුළ කොටස් වෙළෙඳපොළට අහිමි වූ මුදල ඩොලර් ට්‍රිලියන 6 කට වැඩි ය. මෙය 1930 මහා අවපාතයෙන් පසු සිදුව ඇති බරපතළ ම කඩා වැටීම යි. මේ ආකාරයෙන් ඇමෙරිකාවේ ආර්ථික අවපාතයක් සිදු වුවහොත් එය ලෝක ආර්ථික අර්බුදයක් දක්වා වර්ධනය වීමේ අවධානමක් පවතී. එවැන්නක් සිදු වුවහොත් ශ්‍රී ලංකාවට එහි බලපෑම විනාශකාරී එකක් වන බව අමුතුවෙන් කිව යුතු නැත.
අනෙක් අතින් ප්‍රශ්නය වන්නේ අමෙරිකාවෙන් ආරම්භ වන ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වෙනත් රටවල් ද අනුගමනය කිරීමට ඇති ප්‍රවනතාවය යි. එවිට නිදහස් වෙළෙඳාමට සීමා පැනවෙනු ඇත. මෙතෙක් ලෝකය පිළිගෙන සිටි නිදහස් වෙළෙඳාමේ මුලධර්ම ප්‍රහාරයට ලක් වී තිබේ. ජාත්‍යන්තර සංවිධාන සහ සහයෝගීතාවය ද බිඳ වැටෙමින් පවතියි.
එයින් ද වඩාත් පීඩාවට පත්වන්නේ ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් ය.
මෙබඳු තත්ත්වයක දී ඇමෙරිකාව සමග කෙරෙන වෙළෙඳ කටයුතු පමණක් නොව සමස්ත විදේශ වෙළෙඳාමේ පසුබෑමක් සිදුවිය හැකි ය.
ආර්ථික පසුබැස්මක් තුළ සියලු රටවල ජනයාගේ ජීවන මට්ටම් කඩා වැටීමත් සමග සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍රවල ආදායම පවා පහත වැටීමේ අවදානම පවතී.
ඒ අනුව ට්‍රම්ප් ජනාධිපති ලෝක ආර්ථිකයට එල්ල කොට තිබෙන ප්‍රහාරයේ ක්ෂණික බලපෑමට වඩා එහි සමස්ත බලපෑම මෙරටට විනාශකාරී වීමේ හැකියාව සුළු කොට තැකිය නොහැකි ය.
මෙයට මුහුණ දීම සඳහා නව වෙළෙඳපොළ විවෘත කර ගැනීම, වෙළෙඳ ගිවිසුම්වලට කඩිනමින් පිවිසීම ඇතුළු වදබ් පිළිවෙළක් ඉක්මනින් ක්‍රියාවට නැගිය යුතුව ඇත.