අතීතයට මුහුණදීමේ අනිවාර්ය අවශ්‍යතාවක් – ජෙහාන් පෙරේරා

වත්මන් ජනතාවගේ අවධානයෙන් පසෙකට කර පැවැති ප්‍රධාන සිදුවීම් දෙකක් හදිසියේම අතීතයේ සිට නැවත මතුවීම ජාතික දේශපාලනය කම්පනයට පත්කර එහි කේන්ද්‍රීය ස්ථානයට පැමිණ තිබේ. අල් ජසීරා රූපවාහිනී නාලිකාව සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරින් නිර්මාණය වූ බටලන්ද ගැටලුව සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි හිටපු හමුදාපතිවරුන් තිදෙනකු සහ පැති මාරුකර එවකට ආණ්ඩුවකට එක් වූ එල්ටීටීඊ අණදෙන නිලධාරියකුට දඬුවම් පැනවීම එම සිදුවීම් දෙකයි. මෙම සිදුවීම් දෙකෙන් ලබාදෙන ප්‍රධාන පාඩම නම්, ජාතික වශයෙන් හෝ අන්තර්ජාතික වශයෙන් පැනනගින සමූහ අපරාධ පිළිබඳ චෝදනා කවදා හෝ විසඳාගත යුතු බවයි. එසේ නොමැති නම්, ඒවා වඩාත් අනපේක්ෂිත ආකාරයකින් නැවත මතුවන තෙක් සහ ඒවා සමඟ කටයුතු කිරීමට වඩාත් අපහසු වන තෙක් ඒවා මතුපිටින් සන්සුන්ව අභ්‍යන්තරයේ පැසෙමින් පවතී.

බටලන්ද ප්‍රශ්න කිරීමේ ස්ථානය සම්බන්ධයෙන්, අතීතයේ වැළලී ගිය බවක් පෙනෙන්නට තිබූ ගැටළු හදිසියේම නැවත මතුවීම අනුමානයකට තුඩු දී තිබේ. වසර 37ක් පැරණි බටලන්ද ගැටළුව කිසිවිටෙකත් සම්පූර්ණයෙන්ම අවධානයෙන් ඉවත් නොවීය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ යුගය සම්බන්ධයෙන් කටයුතු කෙරුණු අවසාන කොමිෂන් සභා පත්කර දශක දෙකකට පසුව, මෙම කාරණය තවදුරටත් මහජන විඥානයේ ප්‍රමුඛස්ථානයේ නොතිබිණි. ඒ කාලයේ සිදු වූ දේ දැනගැනීමට හෝ ඉන් පසුව උපත ලැබූ තරුණ පරම්පරාවේ බොහෝදෙනෙකුට බටලන්දේ සිදු වූ දේ පිළිබඳ කිසිදු අදහසක් නොතිබෙනු ඇත. එහෙත් අල් ජසීරා රූපවාහිනියේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ප්‍රශ්නය මතු වූ පසු, ඔවුන් ප්‍රධාන වේදිකාවට පැමිණ ඇත. හිටපු ජනාධිපතිවරයා සිය දෛවෝපගත සම්මුඛ සාකච්ඡාව ලබාදුන් දින සිට ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල ඒ පිළිබඳ විවරණ සිදුකෙරෙමින් තිබේ.

මෙම ගැටලුව සජීවීව තබාගැනීමට අඛණ්ඩ උත්සාහයක් ගන්නා බව පෙනේ. මැයි 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙන දේශපාලනඥයන්ට බටලන්ද පිළිබඳ ගැටළුව හොඳ පෝෂණයක් සපයයි. බටලන්ද හි සිදු වූ දේ පිළිබඳ ප්‍රචාරය, රටේ වඩාත්ම බලපෑමට ලක් වූ ප්‍රදේශවල, ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය වෙනස් කළ හැකි ආකාරයේ උත්තේජනයක් සපයන්නක් බව සැළකිව යුතු කරුණකි. ගැටලුව වන්නේ තරඟ කරන අනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂද ජවිපෙ කැරැල්ලට සහභාගී වීම හෝ එය මර්දනය කිරීම හෝ දෙකම සම්බන්ධයෙන් චෝදනා ලැබීමට ඉඩ තිබීමයි. මාතලේ වැනි අනෙකුත් සිදුවීම්ද ඊට ඇතුළත් කිරීම ඔස්සේ චෝදනාවල විෂය පථය පුළුල්වීමට මෙය හේතු වියහැක.

දේශපාලනික අත්‍යවශ්‍යතා

එල්ටීටීඊ යුද්ධයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ මේ අවස්ථාවේ මතුවීමට තමන්ගේම දේශපාලන හේතු ඇත, නමුත් ඒවා බාහිර ය. සත්‍යය සහ වගවීම ලුහුබැඳීම විශ්වීය විය යුතු අතර, එය දේශපාලන අභිප්‍රේරණයන්ගෙන් තොර විය යුතුය. යුක්තිය තෝරාබේරා ක්‍රියාත්මක කළ නොහැක. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ සඳහා, ගාසා තීරයේ සහ යුක්රේනයේ මේ අවස්ථාවේ සිදුකරන දේද ඇතුළුව සියල්ලන්ටම අදාළ වන විශ්වීය ප්‍රමිතීන් අවශ්‍ය වුවද, දේශපාලන අවශ්‍යතා විසින් ඇතැම් දේ පාලනය කරනු ලබයි. එක්සත් රාජධානියේ රජය විසින් හමුදාපතිවරුන් පිරිසකට සම්බාධක පැනවීම, අදාළ එක්සත් රාජධානියේ රජයේ අමාත්‍යවරයකු විසින් සාධාරණීකරණය කර ඇත්තේ, ඔහු තම ඡන්දදායකයින්ට දුන් මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමක් ලෙස ය. ශ්‍රී ලංකාව සඳහා යුක්තිය ඉටුකිරීමේ පෙරමුණේ සිටින රටවල ඡන්ද බැංකු ලෙස ක්‍රියාකරන විශාල දෙමළ ඩයස්පෝරාවන් සිටින බව සැළකිව යුතු කරුණකි. දකුණු ඇමරිකාවේ හෝ නැගෙනහිර ටිමෝරයේ වේවා, අන්තර්ජාතිකව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නඩු පැවරීමට සාමාන්‍යයෙන් බොහෝ කාලයක් ගතවන අතර ඩයස්පෝරාවන්ට ඒ වෙනුවෙන් අඛණ්ඩව කැපවීමට රැඳී සිටීමේ බලය සහ සම්පත් ඇත.

හමුදාවන්ට අණදුන් නිලධාරීන්ට පනවා ඇති සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන්, රජයේ ස්ථාවරය වන්නේ, විදේශීය රජයන් විසින් ගනු ලබන එවැනි ඒකපාර්ශ්වික තීරණ සාධාරණ නොවන බවත්, එමගින් ජාතික සංහිඳියාවේ කාර්යය සංකීර්ණ කරන බවත්ය. රජයේ එම සංයමයෙන් යුත් ප්‍රතිචාරය විවේචනවලට ලක්ව ඇති අතර, සමහරු අන්තර්ජාතික ප්‍රජාවට එරෙහිව වඩාත් බලගතු ප්‍රතික්ෂේප කිරීමක් අපේක්ෂා කරයි. කෙසේවෙතත්, එවැනි ගැටළුවලට මුහුණදීමට සිදු වූ පළමු ආණ්ඩුව ජාතික ජන බලවේග ආණ්ඩුව නොවේ. හමුදා අණදෙන නිලධාරීන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට පවා සම්බාධක පැනවීම පෙර පාලන කාලවලදීද සිදුවී ඇත. මේ අවස්ථාවේ එක්සත් රාජධානියේ රජය විසින් සම්බාධක පනවා ඇති හිටපු අණදෙන නිලධාරීන්ගෙන් එක් අයෙකුට 2020 දී එක්සත් ජනපද රජය විසින් ද සම්බාධක පනවා ඇත. එය 2023 දී හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුට සම්බාධක පැනවීමට කැනේඩියානු රජය ගනු ලැබූ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමක් විය. ඊට එරෙහිව එවකට බලයේ සිටි ආණ්ඩු දෙකෙන් එකක්වත් දෘශ්‍යමාන ලෙස ශක්තිමත් ස්ථාවරයන් ගත්තේ නැත.

ඊට අමතරව, ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා නිතරම ඉදිරිපත්ව ඇති අතර, 2012 සිට ශ්‍රී ලංකා රජයට විපක්ෂයව එවැනි යෝජනා රැසක් සම්මත කර ඇත. අතීතයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට එවකට ආණ්ඩුව පොරොන්දු වී ජයග්‍රහණය කළ 2009 දී පැවති පළමු ඡන්දයට අමතරව, ඉන් පසුව පැවැති අනුප්‍රාප්තික සෑම ඡන්දකදීම එම ආණ්ඩුව පරාජයට පත්ව තිබේ. විදේශීය රජයන්ට භාවිත කිරීමට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සාක්ෂි රැස්කිරීම සඳහා ජිනීවා හි සාක්ෂි රැස්කිරීමේ ඒකකයක් පිහිටුවීමෙන් මෙම ක්‍රියාවලිය දැන් අවසන් වී ඇත. විදේශ රටවලට අන්තර්ජාතික අධිකරණය ඉදිරියේ ඒවා ඉදිරිපත් කළ හැකි බැවින් ශ්‍රී ලංකා නායකයන්ට මෙය ආරක්ෂිත තත්වයක් නොවේ. මෙම ප්‍රවණතාව අවසන් වීම රටක් ලෙස ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ගෞරවය සඳහා වැදගත් වේ.

පුළුල් විසඳුමක්

ශ්‍රී ලංකාවට සාමකාමී අනාගතයක් සඳහා, ගැටුම්වල මූලහේතු ආමන්ත්‍රණය කරන බහු-මාන ප්‍රවේශයක් අවශ්‍ය වන අතර, සංහිඳියාව, යුක්තිය සහ සියලුදෙනා ඇතුළත් සංවර්ධනය පෝෂණය කළයුතුව ඇත. මේ දක්වා අන්තර්ජාතික බලපෑම්වලට රජය දක්වන ප්‍රතිචාරය වන්නේ, අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය වැනි දැනටමත් ක්‍රියාත්මක වන අභ්‍යන්තර යාන්ත්‍රණයන් ශක්තිමත් කරන බවත්, ඊට අමතරව සත්‍යය සහ සංහිඳියාව පිළිබඳ කොමිසමක් පිහිටුවන බවත්ය. රජය මුහුණදෙන දුෂ්කරතාව නම්, මෙම සත්‍යය සහ සංහිඳියාව පිළිබඳ කොමිසම වෙනුවෙන් ජාතික එකඟතාවයක් ලබාගැනීමයි. විශේෂයෙන් දෙමළ පක්ෂ සහ වින්දිතයන්ගේ කණ්ඩායම් මෙම යාන්ත්‍රණයේ වටිනාකම පිළිබඳව සැක පළකර ඇත. කොමිෂන් සභා පත්කිරීම සහ එම කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වයන් ඔවුන් දැක තිබේ. සිංහල ජාතිකවාදී පක්ෂ ද එවැනි කොමිෂන් සභා දැඩි ලෙස විවේචනය කරයි. පෙර කොමිෂන් සභාවල නිර්දේශ යළි විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද නවාස් කොමිසම මෙසේ ප්‍රකාශ කර ඇත, “අපේ දූපත් රාජ්‍යයට කොමිෂන් සභා ඕනෑ තරම් තිබේ. මෙම කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දුන් බොහෝ සාක්ෂිකරුවෝ පෙර කොමිෂන් සභා ඉදිරියට ගොස් කිසිවක් නොලැබීම ගැන ඔවුන්ගේ කලකිරීම විස්තර කළහ.”

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් පසුගිය පාලනය විසින් සකස් කරන ලද නමුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ යෝජිත සත්‍යය සහ සංහිඳියා නීතිය පිළිබඳ සවිස්තරාත්මක විවේචනයක් ලියා ඇත. මහාචාර්ය පීරිස් සිය විවේචනයේදී දකුණු අප්‍රිකානු සත්‍යය සහ සංහිඳියා කොමිසමේ තත්වයන් උපුටාගෙන ඇති අතර, එය ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ හා හොඳින් ක්‍රියාත්මක කරන ලද යාන්ත්‍රණයන්ගෙන් එකකි. ශ්‍රී ලංකා නීතිය යෝජනා කරන පරිදි කලාපයකට පමණක් නොව, දකුණු අප්‍රිකානු කොමිසමට මුළු රටම ආවරණය කිරීමට ජනවරමක් තිබූ බව ඔහු පෙන්වාදෙයි. බටලන්ද ගැටළුව නැවත මතුවීමත් සමඟ උතුර හා නැගෙනහිර පමණක් නොව මුළු රටම ආවරණය කිරීමට ශ්‍රී ලංකා සත්‍යය සහ සංහිඳියා කොමිසමක අවශ්‍යතාව පැහැදිලි වේ. රටේ සෑම ප්‍රදේශයකම සහ උතුර හා නැගෙනහිර පමණක් නොව සියලුම ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන් හට බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවී ඇත.

අතීතය සමඟ කටයුතු කිරීම සාර්ථක වියහැක්කේ අනාගතය පිළිබඳ අන්‍යෝන්‍ය එකඟතාවක් ඇති ‘පද්ධති වෙනසක්’ තුළ පමණි. මෙය ප්‍රමාද වන තරමට, විසඳුමක් සඳහා රජයේ කැපවීම පිළිබඳව වින්දිතයන් සහ මහජනතාව අතර සැකය වර්ධනය වනු ඇත. දකුණු අප්‍රිකානු කොමිසමේ වැදගත් ලක්ෂණය වූයේ, එය දිගු හා වෙහෙසකර උපදේශන ක්‍රියාවලියක් හරහා ජාතික එකඟතාවයක් ගොඩනැගීම අරමුණු කරගත් විශාල දේශපාලන ක්‍රියාවලියක කොටසක් වීමයි. දකුණු අප්‍රිකානු ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ අවසාන ඉලක්කය වූයේ, වාර්ගික කණ්ඩායම් අතර බලය බෙදාගැනීම සහ සියලු පාර්ශ්වයන්ට සුවය ලබාගැනීමට පහසුකම් සපයන වගවීමේ පියවර ඇතුළත් පුළුල් දේශපාලන විසඳුමක් නිර්මාණය කිරීමය. ශ්‍රී ලංකාව සැබෑ ප්‍රතිසන්ධානයක් අත්කර ගැනීමට නම්, මෙම අත්දැකීම්වලින් පාඩම් උගෙන, කල් පවතින ජාතික සමගිය පෝෂණය කරන ආකාරයෙන් අතීත අසාධාරණකම් විසඳීමට තීරණාත්මක පියවර ගැනීම අවශ්‍ය වේ. ඒ ඔස්සේ, ආණ්ඩුව, විපක්ෂය සහ ජනතාව සත්‍යය, යුක්තිය සහ සියලු ප්‍රජාවන් ඇතුළත් ව්‍යුහයක් වෙනුවෙන් කැපවුවහොත් සාමකාමී ශ්‍රී ලංකාවක් නිර්මාණය කරගත හැකිය.

Social Sharing
අවකාශය පුවත්