“ජනාධිපති සමාව” අභියෝගයට : අධිකරණයෙන් ප්‍රශස්ත නියෝගයක්!

– සම්පත් සමරකෝන් –

2000 වසරේ දෙසැම්බරයේදී, යාපනයේ, මිරුසිවිල් ප්‍රදේශයේදී, 5 හැවිරිදි දරුවෙක් සහ තවත් නිරායුද දෙමළ මිනිසුන් 8දෙනෙකු ඝාතනය කිරීමට වැරදිකරුව මරණිය දණ්ඩනය නියම වී, බන්ධනාගතකර සිටි යුද හමුදා හිටපු සැරයන් සුනිල් රත්නායකට, 2020 මාර්තු 26 දා එවකට ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ විසින් ‘ජනාධිපති සමාව’ ලබා දුන්නේය. මෙම ‘ජනාධිපති සමාව’ අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ, විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ඉදිරිපත් කරන ලද මූළික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරනය පසුගිය මාර්තු 20 දා, සුනිල් රත්නායකට විදෙස් ගමන් තහනමක් පණවනු ලැබීය. අධිකරණය විසින් ලබා දී ඇති එම නියෝගය, සුනිල් රත්නායක විසින් සිදුකරන ලද මිරුසවිල් හී සමූහ ඝාතක අපරාධය ට යුක්තිය ඉටුවනු ඇති බවට ප්‍රභල සංඥාවකි. ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ අධිකරණයට ඒ පිළිබදව අපගේ ගෞරවය හිමි විය යුතුය. එය තවදුරටත් ශක්තිමත් වන්නේ ජනතා විරෝධය හමුවේ රටින් පළාගිය ජනාධිපතිවරයෙක් වූ ගෝඨාබය රාජපක්ෂ විසින් ලබා දී ඇති ‘ජනාධිපති සමාව’ ආපසු හැරවූ පසුය.

කිසිදු විමර්ශනාත්මක අදහසකින් තොරව සිය ‘හිතු මනාපයට’ ජනාධිපති සමාව ලබාදිය නොහැකි බවත්, එය විනිවිදභාවයකින් සහ ජනතාවගේ පොදු යහපත වෙනුවෙන් සිදුවිය යුත්තක් බව පිළිගත් මතය යි. මෙම ලිපියෙන් ඒ පිළිබදව සාකච්ඡා කිරීමට අදහස් නොකරමි.

සුනිල් රත්නායකට විදේශ ගමන් තහණමක් පනවමින් ලබා දී ඇති අධිකරණ නියෝගයෙන් පසු ලේ තැවරුණු ජාතිවාදී මිනිස් රංචු නැවතත් සිය මුග්ධබාවය ලොව හමුවේ පෙන්වමින් තිබේ. සමාජ මාධ්‍ය ඇතුලු සංවාද කලාපවල මෙම ප්‍රවණතාවය මතුවෙමින් තිබේ. එබැවින් සුනිල් රත්නායක විසින් සිදුකළ මහපොළව නුහුළන ජන ඝාතනය පිළිබද නැවත ශ්‍රී ලංකා සමාජයට මතක් කර දීම එවැනි අපරාධයක් යළි කිසිදු දිනක සිදුනොවීමට යම් දායකත්වයක් සපයනු අතැයි විශ්වාස කරමින් මෙම සටහන ලියමි.

නඩුවේ ඉතිහාසය කෙටියෙන්

2000 වසරේ 20වන දින, උඩුප්පිඩ්ඩි හී සරණගාත කදවුරක දිවි ගෙවූ යුද්ධයෙන් පීඩාවට වූ දෙමළ මිනිසුන්, මිරුසවිල් ප්‍රදේශයේ පිහිටි තම නිවාස සහ ඉඩම් බැලීම සදහා ගොස් ඇති අතර, මෙ සාහසික ඝාතනය සිදුකර තිබෙන්නේ ඒ අවස්ථාවේදී බව සාක්ෂි සහිතව අධිකරණය හමුවේ ඔප්පු විය. දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරී සී. කාතිර්වේතිපිල්ලේ ගේ පරික්ෂණ සහ නිගමනයන්ට අනුව ඝාතනය කළ අයගේ ගෙල තියුණු ආයුධවලින් කපා දමා තිබුණු බව නඩු විභාගයේදී හෙළි වූ අතර, මරා දැමුණු නිරායුද මිනිසුන් 8දෙනා අතර විල්වරාජා ප්‍රසාද් නම් 5 හැවිරිදි දරුවෙක් ද සිටියේ ය.

මෙම සමූහ ඝාතනය සිදුවූයේ චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිවරියගේ පාලන කාල තුළය. කෙසේ නමුත්, ජාතික හා ජාත්‍යන්තර සංවිධාන විසින් දිගින් දිගටම සිදුකරන ලද බලපෑම් හමුවේ, මෙම ඝාතනය පිළිබද පරීක්ෂණ සිදු කිරීමට චන්ද්‍රිකා බණ්ඩාරණායක ආණ්ඩුවට සිදු විය. එම බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙස, සුනිල් රත්නායක ඇතුලු හමුදා සාමාජිකයන් 14 දෙනෙක්ට එරෙහිව පළමු අවස්ථාවේ දී, යාපනය, චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයේ දී චෝදනා ගොනු විය.

පසුව, ආරක්ෂක හේතූන් මත යැයි පවසින්, අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට නඩුව මාරු වූ අතර, ඉන් අනතුරුවත්, නීතිපතිවරයා විසින් අදාළ සැකකරුවන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබද ප්‍රශ්ණයක් ඇතැයි සළකා, කොළඹ මහාධිකරණයේ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා ගොනු කරනු ලැබූහ. අධිචෝදනා ගොනු කිරීමේන් පසු, අදාල සැකකරුවන් 9 දෙනකුට එරෙහිව, ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම යන කාරණාව සලකා ඔවුන්ව නිදහස් කළ අතර, 5 දෙනකුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු විය. ඒ අතර සුවිශේෂ සිදුවීමක් විය. එය නම්, විනිසුරුවරුන් සිය කැමැත්තෙන්ම අපරාධ ස්ථානය නිරීක්ෂණය කිරීම සදහා මිරුසවිල් ගිය අතර, වසර තණනාවක දීර්ඝ නඩු විභාගයකින් පසු සාජන් සුනිල් රත්නායක චෝදනා 17කට වරදකරු ලෙස, 2015 ජූනි 25වන දින අධිකරණය විසින් තීන්දු කලේය. ඒත් සමග අනික් චූදිතයන් 4දෙනා සදහා වූ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු නොවීම මත නිදහස් කළේය.

පසුව එම මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් වූ අතර, එය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල මහාධිකරණය ලබා දුන් නඩු තීන්දුව ඒකමතිකව අනුමත කළේය.

ජනාධිපති සමාව

ජනතා විරෝධය හමුවේ රටින් පළායාමට සිදුවූ (හිටපු ජනාධිපති) ගෝඨාබය රාජපක්ෂ විසින් 2020 මාර්තු 26 දා ‘ජනාධිපති සමාව’ ලබා දුන්නේ එවැනි දිර්ඝ අධිකරණ ක්‍රියාවලියකින් පසුව වැරදිකරුවකු වූ අපරාධකාරයෙක්ටය. දරුවෙක් ඇතුලු තවත් 8 දෙනෙක් ගේ ගෙළ කපා, සාහසික ලෙස ඝාතනය කල මුග්ධ ඝාතකයෙක්ට, රටක ජනාධිපතිවරයෙක් විසින්, ජනාධිපති සමාව ලබා දීම ශිෂ්ඨ ලෝකය තේරුම් ගෙන අවසන්ය. එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශයේ ඉහළ පෙළේ නිළධාරීන් තිදෙනෙක්ට සම්බාධක පැනවීම එක් පියවරක් පමණි.

මිරුසවිල් සාහාසික ඝාතනය සහ ඉන් දිවි බේරාගත් අයෙක්ගේ මතකය

(ඉනෝක ජීවන් විසින්, 2015 ජූනි 27, එනම් නඩු තීන්දුවෙන් දින 4කට පසු, මෙම ම්ලේච්ඡ ඝාතනය පිළිබදව මෙසේ ලීවේය.)

කතානායකයා මහේශ්වරන්. භාෂාව දෙමළ. යාපනයට කිලෝමීටර් 16ක් පමණ දුරකින් පැවති මිරුසවිල් නම් ප්‍රදේශය කාලයකට ඉහත එම ප්‍රදේශය එල්ටීටීඊ සංවිධානයේ පාලනයට නතු වෙලා තිබ්බ ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ පදිංචිව හිටපු මිනිස්සු ආරක්ෂාව පතා රජයේ පාලන ප්‍රදේශවලට ඇවිත් තිබෙනවා.

2000 වසර වන විට මිරුසවිල් ප්‍රදේශය LTTE යෙන් මුදවාගෙන රජයේ හමුදා විසින් පාලනය කරන තත්වයක තමයි තිබුණෙ. කලින් මිරුසවිල් ප්‍රදේශයේ පදිංචි කරුවන් විදිහට හිටපු මිනිසුන් වරින් වර තමන් හිටපු ඉඩම්වලට ගොස් තම තමන්ගේ භව භෝග ආදිය රැගෙන නැවතත් තමන් වර්තමානයේ පදිංචි ප්‍රදේශවලට එන එක පුරුද්දක්ව තිබුණා. ඒ ප්‍රදේශය පදිංචිය අත්හැරිය ප්‍රදේශයක් නිසා තරමක වන ගහනයකින් යුක්තව තමයි ඒ වනවිට මිරුසවිල් ප්‍රදේශය තිබුණේ.

2000 වසරේ දෙසැම්බර් 20 වැනිදා මහේශ්වරනුත් ඔහුගේ නෑදෑ පිරිසකුත්, එක් නෑදෑ සොහොයුරකුගේ දරුවන් දෙදෙනා වන වයස අවුරුදු 5 සහ අවුරුදු 13 වන අයත් සමගින් පුද්ගලයින් 9 දෙනෙකුන් යුත් කණ්ඩායමක් මිරුසවිල් ප්‍රදේශයට, බයිසිකල්වල නැගී පිටත් වූයේ තමන්ගේ ඉඩම්වල ඇති භව භෝග රැගෙන ඒමේ හා ඉඩමට සාත්තු සප්පායම් කිරීමේ අරමුණෙන්. කලින් සදහන් කළ කුඩා දරුවන් දෙදෙනා ද දෛවෝපගත ලෙසම තම පියා සමගින් එම ගමනට එක්ව තිබුණා. දිවා කාලයේ තම ඉඩමට පැමිණ තම කාර්යන්හි නිරතව ගෙදර යෑමට සූදානම් වූ අවස්ථාවේ යුද හමුදා ඇදුම්වලට සමාන ඇදුම්වලින් සැරසුණු පිරිසක් පැමිණ ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් අනතුරුව එම පිරිසේ සිටි 9 දෙනාගේම දෑස් බැද දමමින් ඔවුන් යම් දිශාවකට රැගෙන ගොස් වැටකින් එහා පැත්තට ඔවුන් ඔසවා විසි කර තිබෙනවා. ඒ අවස්ථාවේදී මහේශ්වරන්ගේ ඇස් බැද තිබුණු රෙදිකඩ එහා මෙහා වෙලා මහේශ්වරන්ට අවට පෙනෙන්න අරගෙන තියෙනවා. ටික වෙලාවකින් යුද හමුදා ඇදුමට සමාන ඇදුමකින් සැරසී සිටි පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මහේශ්වරන්ව අසල තිබුණු වැසිකිලි වලක් ලගට රැගෙන ගිහින් තියනවා. එතන ආයුධ සන්නද්ධ තවත් හමුදා ඇදුමට සමාන ඇදුම් ඇදගත් පුද්ගලයෙක් ඉදලා තියනවා. වැසිකිලි වල තුල මිනිසුන් කෑගසන දගලන ශබ්දයනුත්, අවට තම නෑදෑයින් පිරිස නැති බව දැනීමෙන් බියට පත් වුණු මහේශ්වරන් තම ගමේ තමන්ට ඇති හුරුපුරුදුව නිසා හමුදා සෙබලුන්ගෙන් මිදිලා කැළයට පැන ගෙන පණ බේරගෙන තියෙනවා.

පහුවෙනිදා වෙනකම් කැළයේ ඇතුළේ අසීරු ගමනකින් පස්සෙ තමන් එවකට පදිංචි නිවසට එන මහේශ්වරන් තම පියා දැනුවත් කරලා, රෝහල් ගත වෙනවා. ඉන් දවස් දෙක තුනකට පස්සෙ EPDP සංවිධානයට දැනුම් දීලා ඔවුන්ගෙ මාර්ගයෙන් මානව හිමිකම් සංවිධානවලටත්, යුද හමුදාපතිවරයාටත් දැනුම් දෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වුනු යුද හමුදාපතිවරයා, පොළීසියට නීතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දෙමින්, යුද හමුදා පොලීසියටත් පරීක්ෂණ කරන්න බාර දෙනවා.

යුද හමුදා පොලීසිය මහේශ්වරන්ගෙන් ප්‍රශ්න කරන්න ආවට, ඒ හමුදා ඇදුමටත් බය වුණු මහේශ්වරන් පසුව කෙමෙන් කෙමෙන් යුද හමුදා පොලීසියට හුරු වෙලා තියෙනවා. ඉන් අනතුරුව යුද හමුදා පොලීසිය විසින් මහේශ්වරන් ඔය සිදුවීම සිදු වුණු ස්ථානයට එක්කරගෙන ගිහින් තියෙනවා. ඒ, එම සිදුවීමෙන් දින 7කට 8කට විතර පස්සෙ. එම ස්ථානයට යන විට සිදුවීම සිදු වූ වැසිකිලිවල මත රුධිරය දක්නට ලැබිලා තියනවා. ඒත් එක්කම ඒ අවට එළ්‍රවෙකුගේ මාංශ කොටස්, එළ්‍රවෙකුගෙ හම් කැබලි මෙන්ම එළ්‍රවෙක් ඇල්ලීමට යොදාගන්නා ලදැයි සැක කල හැකි මංදක් දකින්නට ලැබිලා තියනවා. නමුත් සැකය අත් නොහළ යුද හමුදා පොලීසිය විසින් වැසිකිලි වළ තුළ යම් කිසි හෝඩුවාවක් තිබේ දැයි විපරම් කරලා තියනවා. ඒත් වැසිකිලි වළ තුළ කිසිම මළ සිරුරක් දකින්නට ලැබිලා නෑ. යුද හමුදා පොලිස් නිලධාරීන් එතනින් ඉවත් වෙන්න යන අවස්ථාවෙදී ඒ ආසන්නයේ ගැවසුණු හමුදා අනුකණ්ඩයක් දැකලා, ඔවුන්ව ළගට ගෙන්නගෙන තියනවා. එක් වරම එක් පුද්ගලයෙක් දුටු මහේශ්වරන් මහ හඩින් විලාප දෙමින් තමන්ට පහර දුන් පුද්ගලයා ඔහු බවට හදුනාගෙන තිබෙනවා. ඒ තමයි පළමු විත්තිකරු සාජන්ට් සුනිල් රත්නායක.

ඉන් පසුව ක්‍රියාත්මක වුනු යුද හමුදා පොලීසිය සාජන්ට් සුනිල් රත්නායකගෙන් ඒ සම්බන්ධව ප්‍රශ්න කරලා. ඔහු හෙළිකල කරුණු අනුව සහ ඔහුගේ මගපෙන්වීම අනුව කැලයේ යම් තැනක් සොයාගෙන එය පස්වලින් යමක් වසා දැමූ සලකුණු පෙන්නලා තියනවා. එතැන මළ සිරුරු ඇතැයි සැකකල යුද හමුදා පොලීසිය විසින් ශ්‍රී ලංකා පොලීසිය හා මහේශ්ත්‍රාත්වරයා හා අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා දැනුවත් කරමින්, එම ස්ථානයෙන් මළ සිරුරු 8ක් ගොඩට ගෙන තිබෙනවා. ඒ සියලුම මළ සිරුරු ගෙල කපා ඝාතනය කර තිබූ ඒවා. ඔවු ඒ එදා මහේශ්වරන් සමග පැමිණි කුඩා දරුවන් දෙදෙනාද ඇතුලත් නෑදෑ පිරිස.

තව දුරටත් සුනිල් රත්නායකගෙන් කළ ප්‍රශ්න කිරීම් මගින්, කපිතාන් රාජසිංහ, වෙදකාරගෙදර සේනක මුණසිංහ, යුද හමුදා බළලත් නිළදාරී ගාමිණි මුණසිංහ, සැරයන්වරුන් වන හෙරත් මුදුයන්සේලාගේ ජයරත්න හා සුබසිංහ ආරච්චිලාගේ පුෂ්ප සමන් කුමාර යන අයවත් සැකකරුවන් ලෙස නම් කරමින් අධිකරණය ඉදිරියෙහි චෝදනා ගොනු කරමින් නඩු පවරනවා. අර කලින් කියපු වැසිකිලි වළ උඩ තිබුනු ලේ එලුවෙක්ගෙ ලේ නොවෙයි, ඒ මිනිස් ලේ කියල රජයේ රස පරීක්ෂක වරයට හෙළි වෙනවා. සැකකරුවන්ගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම් හමුවේ වෙනත් වැසිකිලි වළක තිබිලා මහෙශ්වරන්ගෙ පිරිස ආපු බයිසිකල් හමුවෙනවා. වසර ගණනාවක් පමණ කල් ගතවුනු අධිකරන ක්‍රියාවලිය අවසානයේ දී එනම් පසුගිය 2015 ජුනි 25 අධිකරණය විසින් පළමු  විත්තිකරුව වැරදිකරු කරමින් ද, අනෙක් විත්තිකරුවන්ට එරෙහි ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා සැකයේ වාසිය ඔවුන්ට දෙමින් ඔවුන් නිවැරදිකරුවන් කරමින් තීන්දුව ලබා දෙනවා

ගෝඨාබය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව ලබා දෙනු ලැබූවේ මෙවැනි මුග්ධ අපරාධකරුවෙකුටයි.

කෙසේ නමුත් ජාති, ආගම්, පොහොසත්, දුප්පත්, බලය ඇති, බලය නැති ආදී කිසිදු තත්ත්වයක් මත නොපිහිටා, ඝාතකයන්-ඝාතකයන් ලෙස හදුනා ගන්නට ලේ වැකි 30 අවුරුදු යුද්ධයකට පසුව ද ලාංකීය සමාජයට තවමත් නොහැකි වී තිබේ. ඒ වගේම ‘අපේ රැහේ’ එකෙක් නම් කුමන තත්ත්වයක අපරාධකාරයෙක් වුවත් එය සාධාරනීයකරණය කිරීමට තරම් බොහෝ පිරිසක් ගෝත්‍රික වී ඇත. පහුගිය කාලය පුරාම ඝාතකයන් ‘වීරයන්’ වූයේ එසේය. එය ජනඝාතක යුද්ධය විසින් ලංකාවට ඉතිරි කළ තවත් එක් අශිෂ්ට තත්ත්වයකි. වර්ගවාදීන් සහ ඇතැම් ජනමාධ්‍ය විසින් තවත් සිදුකරමින් සිටින අශීලාචාර තත්ත්වයන්ගේ ද එක් ප්‍රථිපලයකි. සියලු ‘ඝාතනයන්’ බරපතල අපරාධ ලෙසත්, ලොව කොතනක හෝ සිදුකරන මනුෂ්‍ය ඝාතනයන්ට විරුද්ධව පෙනී සිටින්නට උගන්වන්නේ නැති ක්‍රමයක ප්‍රථිපලයකි. අවසන කිසිදු ඛේදවාකචයකින් තවමත් ඉගෙන නොගන්නා ලාංකීය සමාජයේ තවත් එක් ප්‍රතිඵලයකි. තව ද සුනිල් රත්නායකට ‘රණවිරු පට්ටම’ බදින අයට වර්තමානයේත් පැවසීමට ඇත්තේ, සුනිල් රත්නායක සහ එවැන්නන් ‘වීරයන්’ නොව ‘මුග්ධ ජන ඝාතකයන්’ බවය.

සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධව එවකට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා කොමසාරිස්වරියගේ ප්‍රකාශක, රූපට් කොල්විල් විසින් 2020 මාර්තු 27 වන විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසා සිටියා ය.

“මෙය, දශක ගණනක් පැවති යුද්ධයේ දී වූ සිදුවීම් අතර චෝදනා ඔප්පු කළ හැකි වූ විරල මානව හිමිකම් නඩුවලින් එකකි. ලබා දී ඇති ‘ජනාධිපති සමාව’, වින්දිතයින් අවමානයට ලක් කරන්නකි. එසේම යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ අනෙකුත් බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව ප්‍රමාණවත් වගකීමක් ඇති කිරීමට ඇති අන්තර්ජාතික මානව හිමිකම් බැඳියාවන්ට අනුගතවීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම පිළිබඳ මෙය තවත් එක් නිදසුනකි.”

(මෙම ලිපිය පසුගිය අප්‍රේල් 6වන ඉරිදා ‘අනිද්දා’ පුවත් පතේ මුල්වරට පළවිය)

www.vikalpa.org

සම්පත් සමරකෝන්

Social Sharing
අවකාශය නවතම විශේෂාංග