පුද්ගලික සමාගමක් විසින් “කල්ලරාව” මෝය කට වසා දමයි!

කල්ලරාව

“කල්ලරාව” මුහුදු තීරය හා සම්මුඛ “යාන් ඔය” මෝය කට සුප්‍රකට සමාගමක් විසින් අනීතික ලෙස වෙනස් කිරීම හේතුවෙන් අතීතයේ ධීවර කර්මාන්තයට කෙම් බිමක් වු කල්ලරාව මුහුදු තීරය මේ වන විට ඵලදායිතාවකින් තොර ස්ථානයක් බවට පත්ව ඇති බව කල්ලරාව ධීවර ජනයා මැසිවිලි නඟති.

දේශපාලන සහ අධිකාරිමය බලය යොදා ගනිමින් සිදුකළ මෙම ‍‍ඵෙතිහාසික වැරැද්ද වහා නිවැරැදි කර තම ජීවනෝපාය ආරක්ෂා කර දෙන ලෙස කල්ලරාව ගම්වාසීන් දිගින් දිගටම බලධාරීන්ගෙන් ඉල්ලීම් කළ ද, එය තව දුරටත්  බිහිරි අලියාට වීනා වයනවා වැනි නිෂ්ඵල කාර්‍යයක් බව කල්ලරාව ශාන්ත අන්තෝනි ධීවර සමිතියේ සභාපති මානෙල් පොඩිනේරිස් මහත්මිය කියා සිටියි.

ශාන්ත අන්තෝනි ධීවර සමිතියේ සභාපති මානෙල් පොඩිනේරිස් මහත්මිය

ත්‍රිකුණාමලයේ සිට කිලෝ මීටර් 50ක් පමණ උතුරට වන්නට පිහිටි කල්ලරාව ධීවර ගම්මානයේ, වර්තමානයේ සියයකට ආසන්න ධීවර පවුල් ප්‍රමාණයක් එහි වෙසෙති. ඈත දියඹේ වෙසෙන මසුන් සිය ප්‍රජනන අවධිය ගත කිරීමට සමූහ ලෙස නැතහොත්, මාළු රංචු ලෙස කල්ලරාව මුහුදු තීරයට පැමිණීම කල්ලරාව ‘ගැහැණු මුහුද’ ලෙසින් හැඳින්වීමට හේතුව බව කල්ලරාව ධීවරයෝ කියති.

මධ්‍යම කඳුකරයේ උතුරු බෑවුමෙන් ගමන් අරඹන “යාන් ඔය” කල්ලරාවෙන් මහ සයුර සමග එක්වීම හා ඒ මගින් ඇතිවන මත්ස්‍ය හිතකර පාරිසරික තත්වයන් කල්ලරාව මුහුදු තීරය වසර පුරාවටම සරුසාර මත්ස්‍ය අස්වැන්නකට හිමිකම් කීමට හේතුව වී ඇත. තිස් වසරක යුද ගැටුම් සමයේ මෙන්ම සුනාමි වැනි ස්වභාවික උපද්‍රව හමුවේ ද කල්ලරාව අතහැර නොගිය ධීවරයන් වර්තමානයේ දරු පැටවුන්ගේ කුසගිනි නිවීමට නොහැකිව කල්ලරාවේ ධීවර කර්මාන්තය අතහැර කුලී වැඩ සොයා යන ශෝචනීය ඉරණමට මුහුණ දී සිටින බව කල්ලරාවේ රොෂාන් සුරනිමල මහතා පැවසීය.

රොෂාන් සුරනිමල මහතා

පාත්ෆයින්ඩර් ඇඩ්වෙන්චර් නැමැති පුද්ගලික සමාගමක් විසින් යාං ඔයේ මෝය කට අවධිමත් ලෙස වෙනස් කිරීම මේ සියලු සන්තෑසියනට පාදක වු බව කල්ලරාව ධීවර ජනතාවගේ අදහසයි.  මේ හේතුවෙන්  ජීවනෝපාය අහිමිවීමේ ඛේදජනක ඉරණම පමණක්ම නොව, වැසි සමයේ කල්ලරාව ගම්මානය හා ත්‍රිකුණාමලය පුල්මුඩේ ප්‍රධාන මාර්ගය ද අසල්වැසි තිරියාය ගම්මානයේ කුඹුරු ඉඩම්ද ගංවතුර තර්ජනයට ලක් වන බව රොෂාන් සුරනිමල මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. සමස්ත ප්‍රජාවම නියෝජනය කරමින් ඔහු ඉල්ලා සිටින්නේ, තම හදවත බඳු කල්ලරාව මෝය කට පෙර තිබු පරිදි සකසා තම පාරම්පරික ජීවනෝපාය ආරක්ෂා කර දෙන ලෙසයි.

“අපි පාරම්පරික ධීවරයෝ. ගමේ අය ඒ කාලේ ඉඳන්ම කළේ, මාදැල් රැකියාවයි, කලපු රස්සාවයි. 2008 හෝ 2009 අවුරුද්දේ පාත්ෆයින්ඩර් ඇඩ්වෙන්චර් කියන පුද්ගලික සමාගම මේ මෝය කට ගාව තිබුණ ඉඩම හෝටලයක් හදන්න මිළදී ගත්තා. 2012 අවුරුද්දේ වගේ එයාලා ඒ ඉඩමේ ආරක්ෂාවටයි,  ගමේ ආරක්ෂාවටයි කියලා  ගමේ අයම කුලියට අරගෙන වැලි කොට්ටා ගහලා මේ මෝය කට හරස් කළා. ඊට පස්සේ පැරණි මෝය කටේ ඉදන් මීටර් 800 විතර දුරකින් කලින් තිබ්බ පුංචි මෝය කට තව ටිකක් වැඩිපුර කපලා මෝය කට එතනින් තිබ්බා. එදා ඉදන් මුහුදේ වතුර කලපුවටවත්,කලපුවේ  වතුර මුහුදටවත් යන්නේ නැහැ.මේ නිසා .කලපුවේ විතරක් නෙවෙයි, මුහුදෙත් අද වෙන කොට මාළු හිඳිලා ගිහිල්ලා. මේකට ප්‍රධානතම හේතුව මෝය කට වහපු එක බව තේරෙන කොට අපි ප්‍රමාදයි. මේ මෝය තමා අපේ හදවත. මේක නැත්නම්, කල්ලරාවේ ධීවර කර්මාන්තයක් නැහැ. අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ, අපිට අපේ පරණ මෝය කට තිබ්බ තැනින්ම ආපහු අරන් දෙන්න කියලයි.”

අදාල සමාගම විසින් සවිකර ඇති නාම පුවරුව සහ අදාල  ඉඩම පෙන්වන ධීවරයන්

කල්ලරාව ගම්වාසීන් කියන අන්දමට කල්ලරාව මෝය කටෙහි දකුණු ඉවුරේ පිහිටි ධීවර ව්‍යාපාරිකයෙකුට අයත් බව කියන ඉඩමක්, පාත්ෆයින්ඩර් ඇඩ්වෙන්චර් නැමැති පුද්ගලික සමාගම විසින් 2008 වසරේදී හෝ ඊට තදාසන්න කාලයකදී මිළදී ගෙන ඇත්තේ, සංචාරක හෝටලයක් ඉදි කිරීමේ අදහසිනි. කෙසේ වෙතත්, වැසි සමයේ මෝය කටෙන් පිටවන මහා ජල දහරෙන් මෙම ඉඩම ඛාදනයට ලක්වීම වැලැක්වීමේ අරමුණින් අදාළ සමාගම කල්ලරාව ගම්වාසීන්ද යොදා ගනිමින්  මෝය කට වැලි කොට්ට ගසා වෙනස් කිරීමට ලක්කළ බව කල්ලරාව ශාන්ත අන්තෝනි ධීවර සමූපකාර සමිතියේ උප සභාපති රොහාන් සුරවීර මහතා පෙන්වා දෙයි.

ශාන්ත අන්තෝනි ධීවර සමූපකාර සමිතියේ උප සභාපති රොහාන් සුරවීර මහතා

“සමාගමේ අය අපිට කිව්වේ,මෙහෙම වැලි කොට්ටා ගැහැව්වෙ නැත්නම්, ගංඉවුර සේදිලා ගංවතුරෙන් ගම යට වෙන්න පුළුවන් කියලයි. නමුත්, අපිට පස්සේ තමා තේරුණේ, අපිව නොමග යවලා එයාලා එයාලගේ ඉඩම බේර ගන්නයි, ඉඩම ලොකු කර ගන්න ගහපු  ප්ලෑන් එකක් මේක කියලා. ඒක තේරුම් යනකොට අපේ මෝය කට සදහටම අපිට නැති වෙලා.”

පාත්ෆයින්ඩර් ඇඩ්වෙන්චර් සමාගම විසින් 2011 වසරේදී ගම්වාසීන්ද කුලීකරුවන් ලෙස යොදාගනිමින් කල්ලරාව මෝය කට වැලි කොට්ට ගසා වෙනස් කිරීමට අමතරව ජී.පී.ආර්.එස්. තාක්ෂණය උපයෝගි කර ගනිමින් රාජ්‍ය ආයතන යොදනු ලබන මායිම් කණුවලට සමාන වු මායිම් කණු සිටුවා පැරණි මෝය කට පිහිටි භූමිය ද සිය ඉඩමේ අයිතියට පවරා ගත් බව මානෙල් පොඩිනේරිස් මහත්මිය කියා සිටී. කෙසේ වෙතත්, කෝපයට පත් ගම්වාසීන් මේ වන විට එම කණු ගලවා ඉවත් කර ඇති බව කියවේ. එහෙත්, වැලි කොට්ට ගසා වසා දැමුණු මෝය කට භූමියේ, අදාළ සමාගම විසින් මේ වන විට පයිනස් ගස් රෝපණය කර මෝය කටේ සාක්ෂි මකා දැමීමට කටයුතු කර ඇති බවක් දැකිය හැක.

වසරේදී වැලි කොට්ට ගසා වසා දැමීමට පෙර කල්ලරාව මෝය කට පැවති ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක්
වර්තමානයේ පවතින තත්වය පෙන්නුම් කරන ගුවන් ඡායාරූපයක්
වර්තමානයේ පවතින තත්වය පෙන්නුම් කරන ගුවන් ඡායාරූපයක්

“මේක අපි පොඩි කාලේ දුවලා පැනලා සෙල්ලම් කරපු මෝය කට. අපි පුල්මුඩේට ඉස්කෝලෙ පවා ගියේ, මේ මෝය කට හරහා බෝට්ටුවෙන්. වාරකන් කලෙට මේ මෝය කට වැලිවලින් වැහෙනවා. වැසි කාලෙට ඒ වැලි පාරේ කැඩිලා ගිහින් කලපුවේ වතුර මුහුදට යනවා. ඔය කාලෙට තමා, මුහුදේ ඉන්න මාළු, ඉස්සෝ, කකුළුවෝ මේ කලපුවට ඇතුල් වෙලා බිත්තර දමන්නේ. නමුත්, 2011දි මේ මෝය කට ඔය කියන සමාගම අපිවම කුලියට අරගෙන වැලි කොට්ට ගහලා ඒක වැස්සෙව්වට පස්සේ මේ හැම දෙයක්ම නැති වෙලා ගියා.” යි මානෙල් පොඩිනේරිස් මහත්මිය පැවසුවාය.

පසුගිය කාලයේ  ඇති වූ ගංවතුර තත්වය හමුවේ, සිය ගම්මානය බේරා ගැනීමට ස්වභාවිකව වැලිවලින් වැසී ගිය මෝය කට කපා ජලය බැස්සවීමට ඉදිරිපත්වු ගම්වාසීන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට කුච්චවේලි පොලිසිය 2011 වසරේ දී කටයුතු කර තිබුණි. අනීතික ලෙස මෝය කට වසා දැමීමට එරෙහි නොවු කුච්චවේලි පොලිසියේ නීතිය කල්ලරාව ධීවරයන් අරභයා ක්‍රියාත්මක වී ඇත්තේ ඒ අන්දමිනි.

ජනතාව නොමග හැරීමේ අරමුනින් සමාගම විසින් සවිකල බව කියන සීමා මායිම් දැක්වෙන ගල් කණු
ජනතාව නොමග හැරීමේ අරමුනින් සමාගම විසින් සවිකල බව කියන සීමා මායිම් දැක්වෙන ගල් කණු.

2011 වසරේ සංශෝධිත වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව යම් ගංගාවක මෝය කට ආශ්‍රිතව සිදුවන ක්‍රියාවලීන් නියාමනය සිදුවනුයේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්මේන්තුව මගිනි. ඒ අනුව ගංගාවක් මුහුදට වැටෙන මෝය කටේ සිට රට තුළට ලම්භකව අදිනු ලබන කිලෝ මීටර් දෙකක වු සීමාව කළමනාකරණය කිරීමේ බලය පැවරී ඇත්තේ එම දෙපාර්මේන්තුව යටතටය. ඔවුන්ගේ අනුමැතියකින් තොරව කිසිදු ආකාරයක සංවර්ධනයක් කිරීමේ බලයක් කිසිවෙකුටත් නොමැත. යම් හෙයකින් එවැනි සංවර්ධන කටයුත්තක් සිදු කරන්නේ නම්,ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සැකසීම, එය මහජන අදහස් සඳහා විවර කිරීම කළ යුතු අතර, අනුමැතියකින් තොරව එය ක්‍රියාත්මක කළ නොහැකිය.

පුද්ගලික සමාගමක් විසින් කල්ලරාව මෝය කට වසා දැමීම සම්බන්දයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්මේන්තුව වෙතින් පළමු වර ලබාගත් තොරතුරුවලට අනුව අදාළ ආයතනය සදහන් කර ඇත්තේ, ගම්වාසීන් කියන අන්දමට මෝය කට වසා දැමීමක් සිදුව නොමැති බවයි. එය කාගේ උවමනාවක් මත සිදු වීද යන්න කිසිවෙකුත් නොදනී. කෙසේ වෙතත්,දෙවන වරටත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ විමසීමකදී එකී ආයතනය දන්වා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් සිදු කරමින් පවතින බැවින් පසුව තොරතුරු ලබා දෙන බවකි. කල්ලරාව මෝය කට වසා දැමීම සදහා තම ආයතනයේ අනුමැතිය කිසිවෙකුටත් ලබා දී නැති බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්මේන්තුවේ ත්‍රිකුණාමලය  ප්‍රාදේශීය ඉංජිනේරු එම්.තුලසිදාසන් මහතා අප කළ විමසීමකදී අවධාරණය කර සිටියේය.

තව දුරටත් ඉතිරිව ඇති පැරණි වැලි කොට්ට
තව දුරටත් ඉතිරිව ඇති පැරණි වැලි කොට්ට

“අපි මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කියපුවහම එයාලා අහනවා මේ මෝය කට වෙන තැනකින් දෙන්නද කියලා. අපි ඒකට විරුද්ධයි. අපිට ඕනේ අපේ කලින් තිබුණු මෝය කටමයි කියලා කිව්වහම එයාලා හරි විහිළු කතාවක් කියනවා. එයාලා කියනවා ඉස්සර මෝය කට තිබ්බේ මෙතනින්මයි කියලා දිවුරුම් ප්‍රකාශ දෙක තුනක් අරන් එන්නලු. මීට අවුරුදු දහයකට පහලොවකට එහා තිබ්බ තත්වය චන්ද්‍රිකා ඡායාරූප හරහා ගන්න පුළුවන් බව ධීවරයෝ වෙච්ච අපිත් දන්න එකේ, මේවා මහ විහිළු කතා.” එසේ කියන්නේ, කල්ලරාව සුළු පන්න ධීවර කාර්මිකයෙකු වන සුමිත් ප්‍රියන්ත මහතායි.

සමාගමක් විසින් කල්ලරාව මෝය කට වසා දමා ධීවර ප්‍රජාව අගතියට පත් කිරීම සම්බන්ධයෙන් අප ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර මහතාගෙන් විමසීමක් කළෙමු. එහිදී හර්මන් කුමාර මහතා අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර මහතා

“අපි දකින දේ තමා ව්‍යාපාරිකයන්ගේ උවමනාකම් ඉටු කිරීමට කටයුතු කරන රජයන්, ජනතාවගේ සාධාරණ උවමනාකම් ඉටු කරන්න කටයුතු කර නැහැ. අපි අවධාරණය කරන්නේ, මේ මෝය කට වෙනස් කිරීම තුලින් කලපුවට වෙච්ච බලපෑම් වෙනස් කිරීමට රජයන් පියවර ගත යුතුයි කියන එක. වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව ධීවරයන්ට කියනවා නම්, කලින් මෝය කට තිබිච්ච තැන සොයා දෙන්න කියලා ඒක හරිම අසාධාරණ කතාවක්. ඒ වගේම විහිළුවක්. මොකද මේ රටේ වෙරළ තීර ආශ්‍රිත සියලු තොරතුරු දත්ත වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව සතුයි.  ධීවර කළමනාකරණ පනත යටතේත්, වෙරළ සංරක්ෂණ පනත යටතේත් එහි කළමනාකරණ කටයුතු අයිති වෙන්නේ, වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුවට. ධීවරයෙකුටවත් අවසරයකින් තොරව වෙරළේ කිසිදු බාහිර ක්‍රියාකාරකමක් කරන්න බැහැ. හැබැයි, දිගු කාලයක් මුළුල්ලේ යාන් ඔය මුහුදට වැටුන මෝය කට වෙනස් කරලා සංචාරක කර්මාන්තය දියුණු කරන්න වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව දිගින් දිගටම කටයුතු කරනවා නම්, මේ රජයත් ධීවර ප්‍රජාවට කරන්නේ බරපතල අසාධාරණයක්.  එදා ඔවුන් කිව්වේ, අපිට මේවා කරන්න බලය නැහැ, ඒ නිසා බලය දෙන්න කියලා. දැන් ඒ  බලය ලැබිලා තියෙනවා. අපි කියන්නේ, දැන් ධීවරයන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න කියලයි.”

කල්ලරාව මෝය කට වසා දැමීමට තම ආයතනයේ අනුමැතිය ලබා දී නැති බවත්, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්මේන්තුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ඉංජිනේරුවරයා කියා සිටියද, පාත්ෆයින්ඩර් සමාගමේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව 2011.09.09 වන දින යොමු අංක CC/P/GEN/42/C ලිපිය මගින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්මේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) ගාමිණි හේවගේ යන අය විසින් මේ සදහා අනුමැතිය ලබා දී ඇති බව හෙලිදරව්  කර ගැනීමට ලියුම්කරුට හැකි විය. එම අනුමැතිය ලබාදී ඇත්තේ, කලු ගල් හෝ සිමෙන්ති යොදා නොගෙන විකල්ප ක්‍රමවේදයක් මගින් අදාළ කටයුත්ත සිදු කරන ලෙසයි. ධීවරයන්ගේ ධීවර කටයුතු වලට බාධාවක් නොවන සේ එය ක්‍රියාත්මක කළ යුතු බවත්, වෙරළ තීරය මහජන කටයුතු වෙනුවෙන් විවර විය යුතු බවත්, විශේෂයෙන් එහි සඳහන් කර ඇත.

පරිසරවේදී සජීව චාමිකර මහතා

කෙසේ වෙතත්,වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් පාත්ෆයින්ඩර් පුද්ගලික සමාගම වෙත ලබාදී ඇති අනුමැතිය සම්බන්ධයෙන් අදහස් දක්වන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සාමාජික පරිසරවේදී සජීව චාමිකර මහතා කියා සිටින්නේ, 2011 සංශෝධිත වෙරළ සංරක්ෂණ පනතට අනුව එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ බලයක් වෙරළ සංරක්ෂන දෙපාර්මේන්තුව සතුව ඇතත්, ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සකස් කර, එය මහජන ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කර, ඊට  මහජන අදහස්  ලබා ගත යුතු බවයි.

කෙසේ නමුත්, එවැනි ව්‍යාපෘතියක් සදහා මහජන අදහස් විමසීමක් කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සිදුව නොමැති බව අප කළ විමසීමකදී  කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය තහවුරු කර සිටියේය.

කල්ලරාව මෝය කට වසා දැමූ බවට ගම්වාසීන් චෝදනා කර සිටින පාත්ෆයින්ඩර් පුද්ගලික සමාගමට අයත් මෙකී ඉඩම, මේ වන විට පවරා ඇත්තේ, සෙන්ටිනල් රියලිටි පුද්ගලික සමාගමට වන අතර, එය ජෝන් කීල්ස් හෝල්ඩින් සමාගමට අයත් සමාගමක් බව අප කළ සොයා බැලීමේදී තහවුරු විය. ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් ජාලය වන්නේ ද ජෝන් කීල්ස් හෝල්ඩින් සමාගමයි. සෙන්ටිනල් රියලටි පුද්ගලික සමාගමේ සභාපතිත්වය දරන්නේ ද, බර්නාඩ් ගුණතිලක මහතායි. මේ සම්බන්ධ යෙන් තොරතුරු දැන ගැනීමට 0112306000 දුරකතන අංකයට ඇමතුවද,පටිගත කළ හඬපටයෙන් පසු කිසිවෙකුත් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

කල්ලරාව මෝය කට වෙනස් කිරීම හා ඒ මගින් සිදුවී ඇති ආර්ථික සහ පාරිසරික පරිහානිය සම්බන්දයෙන් මෙයට පෙර මහත් උද්යෝගයෙන් කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවිධායක අරූන් හේමචන්ද්‍ර මහතා වර්තමාන ජාතික ජනබලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකි. මේ සම්බන්ධයෙන් අප හේමචන්ද්‍ර මහතාගෙන්  කළ විමසීමකදී ඔහු පැහැදිලිවම කියා සිටියේ, අනීතික ලෙස වසා දැමු කල්ලරාව මෝය කට යළි විවර කිරීමට මේ වන විටත් කටයුතු සිදු කරමින් සිටින බවයි. එසේම මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් සමග සාකච්ඡා කර අදාළ උපදෙස් හා නිර්දේශ ද නිකුත් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

කල්ලරාව මෝය කට යලි විවෘත කිරීම සම්බන්දයෙන් පවතින තත්වය පිලිබදව අප කුච්චවේලි සහකාර ප්‍රාදේශීය ලේකම් බාමා මුරලිදරන් මහත්මියගෙන් විමසීමක් කළෙමු. එහිදී සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය  දක්වන්නේ මෙවන් අදහසකි.

කුච්චවේලි සහකාර ප්‍රාදේශීය ලේකම් බාමා මුරලිදරන් මහත්මිය

“කල්ලරාව ධීවරයන්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව අප පසුගිය දිනක මේ ස්ථානයේ ඒකාබද්ධ නීරීක්ෂණ චාරිකාවක් සිදුකළා. ඒකෙදී අපි අපේ නිර්දේශ අදාළ අනෙකුත් ආයතන වෙත ලබාදී තිබෙනවා. අපි ලබා දී තිබෙන නිර්දේශය වන්නේ, මෙම මෝය කට නැවත විවර කිරීමට අනෙක් ආයතන විරුද්ධ නොවේ නම්, අපේ විරෝධයක් නැහැ කියන එකයි. කොහොම වුණත්, පැරණි ගූගල් සිතියම් නිරීක්ෂණයේදී මෙම මෝය කට මෙයට පෙර මෙම ස්ථානයෙන් විටින් විට පැවති බවට සාක්ෂි තිබෙනවා.”

කල්ලරාව ධීවරයන්ගේ එකම  ඉල්ලීම වන්නේ, සුප්‍රකට සමාගමක් විසින් සොරා ගත් තම මෝය කට පෙර තිබු පරිදිම තමන්ට ලබා දෙන ලෙසයි.

වීඩියෝව පහතින්..

මංගලනාත් ලියනආරච්චි – ත්‍රිකුණාමලය.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග