මාධ්‍යවේදී නිමල් අබේසිංහයන් විසින් ‘ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය’ කෘතිය වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා හට පිළිගැන්වූ මොහොත.
මාධ්‍යවේදී නිමල් අබේසිංහයන් විසින් රචිත‘ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය’ කෘතිය දොරට වැඩීමේ වැඩසටහන අද දින (අප්‍රේල් මස 4 වන දා) කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත්වීය. මෙම කෘතිය රචනා කිරීමට පාදක වූයේ පසුගිය කාලවකවානුවේ දී වෛද්‍ය මොහොමඩ් සාෆි මහතාට එල්ලවූ ජාතිවාදය පදනම් කොටගත් ව්‍යාජ චෝදනාව සම්බන්ධයෙනි.

මෙම කෘතිය දොරට වැඩීමේ වැඩසටහනේ සමාරම්භක දේශනය විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ ආචාර්ය දියකඩුවේ සෝමානන්ද හිමියන් විසින් පැවැත් වූ අතර එම වහන්සේ පවසා සිටියේ පසුගිය කාලවකවානුව තුළද පූජ්‍ය පක්ෂයේ ඇතැම් පූජකවරුන් මෙම ජාතිවාදී අදහස් ඇවිස්සවීමට කටයුතු කළ බවයි. තවදුරටත් ජාතිවාදී අදහස් මහජනතාව තුළින් තුරන් කිරීමට සාහිත්‍ය හා කලාව ඉතා ප්‍රබල කාර්යභාරයක් සිදු කරන බවත් එයට කදිම උදාහරණයක් ලෙස මෙම ගර්භාෂ යුද්ධය කෘතිය පෙන්වා දිය හැකි බව උන්වහන්සේ තවදුරටත් පෙන්වා දුන්හ.

ජාතිවාදය පැරද්ද වීමට අධ්‍යාපනය කොතරම් අවශ්‍ය ද යන්න යන තේමාව ඔස්සේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා වසන්ති දිසානායක මහත්මිය සිය දේශනය පැවැත්වූ අතර මෙම කාලවකවානුව තුළදීම වෛද්‍ය සාෆි මහතාටත් ඔහුගේ දරුවන්ටත් සිදු වූ මානසික පීඩාවන් සහ දරුවන්ගේ අධ්‍යාපනයට මෙම සිද්ධිය කොතරම් බලපෑවේ ද යන්න පිළිබඳව එහිදී සිහි කළා ය. එමෙන්ම මෙම සිද්ධිය බොහෝ ජන මාධ්‍ය කිසිදු අවබෝධයකින් තොරව සමාජගත කළ බවත්, එමඟින් ගම්‍ය වෙන්නේ දේශපාලන විකිණීම්වලට ජන මාධ්‍ය, මාධ්‍යවේදීන් සහ විවිධ වෘත්තිකයන් ගොදුරක් වී ඇති බවයි. එයට මෙම වෛද්‍ය සාෆි මහතාගේ සිද්ධිය මනා උදාහරණයක් බව ඇය පෙන්වා දුන්නා ය. අවසාන වශයෙන් ඇය කියා සිටියේ අපි රටක් වශයෙන් මුළු ශ්‍රී ලාංකිකයන්ම සමාව ගත යුතු පවුලක් ලෙස මෙම වෛද්‍ය සාෆි මහතාගේ පවුල පෙන්වාදිය හැකි බවයි.

ඉන් පසුව ඇන්ටන් චාර්ල්ස් තෝමස් පියතුමන් සිය අදහස් දැක්වීම තුළින් පෙන්වා දුන්නේ ලංකාව තුළ ප්‍රබල ලෙස ආගමික ත්‍රස්තවාදය ඉස්මතු වී ඇති බවත් එයට මෙම වෛද්‍ය සාෆි මහතාගේ සිද්ධිය සාක්ෂි දරන බවයි. බොහෝ දෙනා බුද්ධාගම ආගමක් ලෙස පිළිගත්තද බුද්ධාගම යනු දර්ශනයක් බවත් ඔහු තවදුරටත් කිය සිටියේ ය. එබැවින් බුද්ධාගම ආගමක් නොවී දර්ශනයක් වීමම ලංකාවට ආශිර්වාදයක් බවත් එතුමා සිය අදහස් තුළින් ඉස්මතු කළේය.

ජාතිවාදය ක්‍රියාත්මක වන අවස්ථාවේ දී රටේ නීතීමය වගකීම කුමක් ද යන්න තේමා කොට ගෙන නීතිඥ දුලාන් දසනායක මහතා අදහස් දැක් වූ අතර ඔහු පෙන්වා දුන්නේ ‘ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය’ කෘතිය තුළින් එම කාලවකවානුවේදී සිදුකළ වැරදි ක්‍රියාමාර්ගයන් වෛද්‍ය සාෆි මහතා සිරගත කිරීම දක්වාම ගෙන යෑමට රුකුලක් වූ බවයි. එම අවස්ථාවේදී මධ්‍යම පාන්තිකයන් ඉතා අවස්ථාවාදී ලෙස හැසිරුණු බව තපෙන්වා දුන් ඔහු තවදුරටත් පැවසා සිටියේ වෛද්‍ය සාෆි මහතාගේ සිරගත කිරීම තුළන් ව්‍යාජ නඩු පැවරීමක් ඉස්මතු වන බවයි. එමෙන්ම මෙය වර්තමානයේ දක්නට ඇති ඛේදනීය තත්ත්වයක් බවද ඔහුට ප්‍රකාශ කර සිටියේ ය.

අවසාන වශයෙන්ම මෙම කතාවේ වස්තු විෂය වන වෛද්‍ය සාෆි මහතා තම අඳුරු මතකයන් අන් අය සමඟ බෙදා හදා ගත් අතර ඔහු ප්‍රකාශ කර සිටියේ ඔහුට සිදුවූ සෑම සිදුවීමකම ධනාත්මක පැතිකඩ පමණක් ඔවුගේ ජිවිතයට ලගා කර ගත් බවත් මෙම ග්රන්ථයද එලෙස එම සිදුවීමේ තවත් එක ධනාත්මක පැතිකඩක් බව ඔහු පෙන්වා දීය. අවසාන වශයෙන් තමන්ට සිදුවූ හානියට වගකිවයුත්තන්ට නීතිමය වශයෙන් සහ ස්වභාවධර්මයෙන් දඬුවම් ලබා දුන් ආකාරය පිළිබඳව මෙහි දෙවනි ග්‍රන්ථය ලෙස එළිදැක්වීය යුතු බව ප්‍රකාශ කර සිටි අතර නැවතත් මෙවැනි සිද්ධීන් සිදු නොවෙන්නට ඉඩක් හැරිය යුතු බවත් ඔහු අවධාරණය කළේ ය.