රජය විසින් අප්‍රේල් පළමු දා සිට ලබාදීමට නියමිතව තිබූ ආහාර පැකේජය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදීමට නියමිතව තිබූ මෙම සහන මිලට ආහාර පැකේජය ලබාදීම මෙලෙස අත්හිටුවා ඇත.
ඒ අනුව එම කාලීන ආහාර පැකේජය පළාත් පාලන ජන්ද විමසීමෙන් පසුව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිත හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී ඇති බවට වාර්තා වේ.
අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පිරිස වෙනුවෙන් එනම් ලක්ෂ 08ට අධික පිරිසක් වෙනුවෙන් මෙම සහන පැකේජය ලබා දීමට මෙවර අයවැය යෝජනාවෙන් නියමිතව තිබුණි. ඒ අනුව රුපියල් 5,000ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රුපියල් 2,500ක සහන මිලකට ලබදීමට නියමිත වී තිබුණි.
මෙම කාලීන ආහාර පැකේජය සඳහා පසුගියදා කැබිනට අනුමැතිය හිමි වූ අතර, අප්‍රේල් 1වනදා සිට 13වනදා දක්වා ලංකා සතොස සහ කෝප් අලෙවිසැල් හරහා බෙදාහැරීමට සැලසුම් කර තිබුණි