ව්‍යාපාරිකයන් හා තැන්පත්කරුවන් දෙපිරිසම ආරක්ෂා විය යුතුයි
පරාටේ නීතිය යනු කුමක්ද? යම් දේපළක් බැංකුවට උකස් කර ණය මුදලක් ලබා ගත් පසු, ඒ ණය මුදල සහ ඊට අදාළ පොළී මුදල ණය ගිවිසුමෙන් එකඟ වූ පරිදි නියමිත කාලවකවානුවේදී ගෙවිය යුතුයි. එහෙත් ණය ලබාගන්නා එය ගෙවීමට දිගින් දිගටම අසමත් වුවහොත් බැංකුවට එම ණය මුදල හා පොළිය අධිකරණ ක්‍රියාවලියකින් තොරව අය කරගත හැකියි. පරාටේ නීතිය කියන්නේ එයටයි.
1990 අංක 04 දරන බැංකු මගින් ප්‍රදානය කරන ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ බලපත්‍රලාභී සෑම වාණිජ බැංකුවකට මෙම බලතල තියෙනවා. ෆිනෑන්ස් කොම්පැනිවලට එහෙම බලයක් නැහැ.
පරාටේ ක්‍රියාත්මක කරනු ලබන්නේ මෙසේයි: අදාළ දේපළ වෙන්දේසි කිරීමට තීරණය කර ඇති බව ණය ලබාගත් පුද්ගලයාට දැනුම් දෙනවා. ඉන්පසු ඒ පිළිබඳ භාෂා තුනෙන්ම පුවත්පත් මගින් ප්‍රසිද්ධ කළ යුතුයි. අදාළ දේපළ වෙන්දේසියේ විකිණූ පසු, වෙන්දේසියට වැය වූ මුදල් ද ඇතුළුව බැංකුවට අය විය යුතු සියලු මුදල් අය කරගෙන ඉතිරි මුදල දේපළ කලින් හිමිව තිබූ ණය ලබාගත් පුද්ගලයාට ආපසු ගෙවනු ලැබේ.
2011 අංක 01 දරන බැංකු මගින් ප්‍රදානය කරන ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන ) (සංශෝධන ) පනත අනුව, රු. මිලියන පහට අඩු ණය පැහැර හැරීම සම්බන්ධයෙන් පරාටේ ක්‍රියාත්මක නොකළ යුතුයි.
පරාටේ නීතිය සාධාරණද යන්න සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රය තුළ සංවාදයක් තිබෙනවා. එහෙත්, බැංකු විසින් ණයට ලබාදෙන්නේ තැන්පත්කරුවන්ගේ මුදල් නිසා, තැන්පත්කරුවන්ගේ හා බැංකුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව බැංකුකරුවන් පෙන්වා දෙනවා.
ලංකාවේ ව්‍යාපාරවලින් 99%ක්ම වගේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් බවත්, රටේ රැකියාවලින් 75%ක්ම සපයන්නේ ඔවුන් විසින් බවත් ඇඩ්වොකාටා ආයතනය පවසනවා. පසුගිය කාලයේ පාස්කු ප්‍රහාර, කෝවිඩ් අධි වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් බලපෑමට ලක්වී ණය ගෙවා ගත නොහැකිව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන ලබාදිය යුතු බව ඇත්තක්. පාස්කු ප්‍රහාර, කොරෝනා අධිවසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යවසායකයන් ගැටලුවලට මුහුණ දෙනවා. එහෙත්, ණය ගෙවීම පැහැර හැර සිටින කූට පුද්ගලයන්ට වාසි සැලසෙන අන්දමින් තීරණ ගත යුතු නැහැ.
ශ්‍රී ලංකාවේ බැංකු ව්‍යවසායකයන් සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්ති අනුගමනය කරමින් කටයුතු කළා නම්, දේපළ ඇපයට තබා ව්‍යවසායකයන්ට ණය ලබාගැනීමට සිදුවන්නේ නැහැ. ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර යෝජනාව සලකා බලා නිසි මගපෙන්වීම සිදුකර ණය ලබාදිය යුතුයි.
පරාටේ නීතිය සම්බන්ධයෙන් විශාල සංශෝධනයකට යා යුතු බවත්, ඒ සඳහා නව පනතක් ගෙන ආ යුතු වූ බවත්, හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ මතය වුණා.
පරාටේ ක්‍රියාත්මක කිරීමට එරෙහිව උද්දේශනය කිරීම සඳහා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගම් 10ක් පමණ එක්ව ක්‍රියා කරනවා. පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම නොකළහොත්, තම කර්මාන්තකරුවන් අතරින් ලක්ෂ තුනක පමණ පිරිසකට දේපළ අහිමි වී යා හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.
පසුගිය ආණ්ඩුව විසින් 2024 දෙසැම්බර් 15දා දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමා තිබුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත් වීමෙන් පසු, 2025 මාර්තු 31 දක්වා එකී අත්හිටුවීම දීර්ඝ කළා. 2025 දෙසැම්බර් 31 දක්වාවත් දීර්ඝ කළ යුතු බව සංගම් යෝජනා කරනවා. තවමත් පොළී අනුපාතික අඩු නොවීම, භාණ්ඩ හා සේවා අලෙවිය දුර්වල තත්වයක පැවතීම, අමුද්‍රව්‍ය මිළ ඉහළ අගයක් ගැනීම වැනි හේතු ඔවුන් ඉදිරිපත් කරනවා.
පරාටේ නීතිය අත්හිටුවීම තවදුරටත් දීර්ඝ නොකළහොත්, බැංකුවලින් ගත් ණය ගෙවා ගැනීමට නොහැකි වී සිටින ව්‍යාපාරිකයන්ගේ දේපළ වෙන්දේසි කිරීම නැවත ආරම්භ කළ හැකියි. 2023 වසරේ පමණක් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ දේපළ 1,750ක් වෙන්දේසි කළ බව ව්‍යවසායක අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් සරත් කරුණාරත්න පවසනවා. ඔහු පවසන පරිදි රටේ රටේ නොගෙවා තිබෙන මුළු ණය ප්‍රමාණය රු. බිලියන 2000ක් පමණ වෙනවා. ඒ අතරින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය වන්නේ බිලියන 150ක් පමණයි.
වීඩියෝව නරඹන්න
මේ අතර, ශ්‍රී ලංකා බැංකු සංගමය විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය, කෝවිඩ්-19 වසංගතය සහ ආර්ථික පසුබෑම හේතුවෙන් අහිතකර ලෙස පීඩාවට පත් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත නිවේදනයක් නිකුත් කරමින්, සුදුසුකම් ලත් ව්‍යාපාරයන්ට ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා බැංකු සමග සාකච්ඡා ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිනවා. අදාළ ව්‍යවසායන්ට සාධනීය ව්‍යාපාර සැලැස්මක් තිබිය යුතු අතර, එකඟ වූ ක්‍රියාවලියකට අනුව ප්‍රතිව්‍යූහගත කිරීමට කැමති විය යුතු බව බැංකුකරුවන් පවසනවා.
කෙසේ වෙතත්, පසුගිය මාර්තු 27දා ලංකාදීප පුවත්පතට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පැවසූ පරිදි, ඒ වන විටත් ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා බැංකු වෙත පැමිණ තිබුණේ ව්‍යාපාරිකයන් 500ක පමණ පිරිසක් පමණයි.
අජිත් පැරකුම් ජයසිංහ