අධිවේගී මාර්ගයේ මතුගම සිට ධාවනය වන බස්වල පොල් පටවන්නා සේ සෙනග පුරවාගෙන යාම සාමාන්‍ය දෙයක්. පසුගියදා සිට දොඩංගොඩ පිවිසුමේ සිටින පොලිස් නිලධාරීන් බස් පරීක්ෂා කරන්නට පටන් ගත් නිසා මෙය අඩු වෙලායි තිබුණෙ. දැන් නැවත පටන් අරගෙන.
පොලිසියෙන් චෙක් කරන බව එතනින්ම දැනගන්නට ලැබෙනවා. ඊයෙ මං ආපු කොළඹ බස් එක සෙනග පුරවගෙන ඇවිත් සපුගහවත්තෙදි වැඩි සෙනග කඩවත බස්සෙකකට දුන්නා. කඩවත බස්වල එච්චර ලොකු සෙනගක් නැහැ.
පිවිසුම පහුවෙලා ටික දුරකට පස්සෙ බස් දෙක නවත්තලා අර කොළඹ යන මගීන් ටික ආපසු බස්සෙකට නග්ගා ගත්තා. අසතුටින් වුණත්, මගීන් ඒක කරන්නෙ කැමැත්තෙන්. මතුගමත්, දොඩංගොඩත් අතර මගීන්ට අධිවේගී මාර්ගයේ යන්නට වෙන විකල්පයක් නැහැ. මං වුණත් මෝටර් සයිකලෙන් ආපසු මතුගමට ගිහින් බයිසිකලේ එහෙ දාලා තමයි බස් එකක නගින්නෙ. නැතිනම් ගාලු පාරෙ බඩගාන්නට ඕනැ.
සමහරුන් ලොකුකමට බස් කොන්දොස්තරලාට කෝල් කරලා සීට් බුක් කරවා ගන්නවා. ඒකත් වැරදියි. බස් එකට නගිනකොට සීට් ගානක් උඩ බෝඩ් තියලා. මම නම් කවදාවත් ඒ වැඩේ කරන්නෙ නැහැ. පොදු ප්‍රවාහනයත් ඇඳුනුම්කම් මත වරප්‍රසාදයක් බවට පත්කරගන්නට උත්සාහ කරන අය පවා සිස්ටම් චේන්ජ් කරන්න ආණ්ඩු මාරු කරනවා.
මතුගම කොළඹ හුණ්ඩු බස් අයින් කරන්නට ඕනැ. ඒ වෙනුවට මතුගම සිට මාකුඹුරට ලොකු බස් දාන්න ඕනැ. මාකුඹුරේ සිට ජයවර්ධනපුර පැත්තෙන් 174 රූට් එකේ බස් දාන්න ඕනැ. දැනට කොට්ටාවේ සිට ධාවනය වන බස් සේවයම මාකුඹුරේ සිට ධාවනය කරන්නට පුළුවන්.
මේ මතුගම-කොළඹ හුණ්ඩු බස් කොට්ටාවේ සිට ජම්පිං සීට් අකුලලා අධික සෙනගක් පුරවාගෙන යනවා. ඒ හරියෙන් නගින මගීන් කොච්චර දීන තත්වයට පත්කරලාද කියනවා නම් උන් වැරදිලාවත් අර ජම්පිං සීට් එකක වාඩි වෙන්නෙ නැහැ, කොන්දොස්තරට බයේ. වැඩි ගණන් දීලා තෙරපිලා යනවා. උන් හිතනවා 174 බස් එකට වඩා ගොඩක් කලින් මේවා යනවාය කියලා. විනාඩි පහක විතර වාසියක් ඇති ඕනැ නම්. 174 බස් අර පරණ පාරක් දිගේ පන්නිපිටිය දක්වා බඩගාන එක නවත්තලා ඒ බසුත් හයිලෙවල් පාරෙ යවන්නට ඕනැ. පරණ පාරට යන්න ඕනැ තරම් හරස් මාර්ග තියෙනවා.
ඉතින් අර බස් වහල්ලු ගැන මේකත් කියන්නට ඕනැ. වැඩිදෙනෙක් ඔය ඉසුරුපාය, සෙත්සිරිපාය වගේ රජයේ කන්තෝරුවලට යන රජයේ සේවකයො. අර 80%ක් විතර තැපැල් ඡන්ද මාලිමාවට දුන්න අය.
ආණ්ඩුව පෞද්ගලික වාහනවලින් සීයට දෙතුන්සීය බදු අය කරලා මිනිසුන් වාහන මිලදී ගැනීම අධෛර්යවත් කරනවා නම්, අඩු ගානෙ පොදු ප්‍රවාහනය වෙනුවෙන් යමක් කරන්නට ඕනැ. පසුගිය මාස හයට ඒ වෙනුවෙන්වත් කරපු කිසිම දෙයක් නැහැ. මේක හරිම ඛෙදවාචකයක්.
නිර්ධන පංතියේය කියන ප්‍රවාහන ඇමති බිමල් රත්නායක දැන් තමයි කෝච්චිවල ගිහින් බලන්නෙ. විෂය ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති බව පැහැදිලියි.
මෙතනදි පද්ධති චින්තනය හෙවත් system thinking යොදාගන්නට පුළුවන්. පොඩි වෙනස්කම්වලින් ලොකු ඵලදායිතාවක් ඇතිකරන්නට පුළුවන්. සමහර වෙනස්කම් සඳහා කිසිදු වියදමක් යන්නෙ නැහැ. හැබැයි, ප්‍රශ්නය ගැන හොඳ අධ්‍යයනයක් තියෙන්නට ඕනැ. නිර්මාණාත්මකව හිතන්නට පුළුවන්කම තියෙන්නටත් ඕනැ.
කලින් ආණ්ඩුවලටත් පොදු ප්‍රවාහනය ගැන දැක්මක් තිබුණෙ නැහැ. වත්මන් ආණ්ඩුවටත් තියෙන බවක් පෙනෙන්නෙ නැහැ. යම් දැක්මක් තිබුණාය කියා සිතිය හැකි ජාතික ජන බලවේග ක්‍රියාකාරිකයකු වූ දිලීප විතාරණත් ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉවත් වෙලා. දුර්වල නායකත්වයකට කුසලතා එක්රැස් කරගන්නට බැහැ.
බස් අයිතිකාරයන් කියන්නෙ චන්ඩි. සමහරුන් ලංකාවෙ බස් දුවන්නෙ ඩුබායි ඉඳන්. ඒ නිසා පැමිණිලි කරන එක වගේ දේ මගීන්ට පවරලා ඇඟ බේරගන්න හදන්න එපා. පැමිණිලි කළොත්, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, පොලිසිය පවා පැමිණිලිකරු ගැන තොරතුරු බස් අයිතිකාරයන්ට දෙනවා.