16ට අඩු දැරියන් බොහෝ දෙනෙකු ගැබ් ගන්නේ පෙම්වතාගෙන්

වයස අවුරුදු 16ට අඩු දැරියන් ගැබ් ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රේම සබඳතා බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කරයි. ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබුණු පසුගිය මාර්තු 08 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදීද මේ ගැන කතා බහට ලක්විය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න පැවසූ පරිදි 2023 වසරේදී අවුරුදු 16ට අඩු දැරිවියන් ගැබ්ගත් අවස්ථා 163ක් වාර්තා වී ඇති බවත් 2024 වසර අවසාන වන විට එම සංඛ්‍යාව තවත් 50කින් පමණ ඉහළ ගොස් ඇති බවය. 2024 දී වාර්තා වූ සිද්ධීන් අනුව අනුව ළමා ගැබිණියන්ගේ සංඛ්‍යාව 213ක් වේ. මෙම 213 දෙනා අතර දස හැවිරිදි ගැබිණියකද සිටී. වසරක් තුළ වාර්තා වූ සිද්ධීන් ප්‍රමාණය මෙය වුවත්, වාර්තා නොවූ සිද්ධීන් තවත් තිබිය හැකියි. මීට අමතරව 90%ක් පමණ කාන්තාවන් පොදු ප්‍රවාහනයේදී විවිධ හිංසාවන්ට ලක්වන බව මන්ත්‍රීවරිය විසින් වැඩිදුරටත් සඳහන් කළාය.

බොහෝ දැරියන් අපයෝජනයට ලක්වන්නේ තමන්ගේම ඥාතියෙකු අතින් හෝ අසල්වාසී අයෙකු අතිනි. මේ වනවිට අවුරුදු 16ට අඩු ගැහැණු දරුවන් වැඩිපුර ගැබිණි මව්වරු බවට පත්වී ඇත්තේ වෙනත් කෙනෙකුගේ බලහත්කාර ලිංගික අපයෝජනයක් නිසා නොව එම දැරියන් සහ පිරිමි ළමයින් අතර තිබෙන ප්‍රේම සබඳතා නිසා ඇතිවන අනාරක්ෂිත ලිංගික හැසිරීම් මත බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පෙන්වා දෙයි.

නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පෙන්වා දෙන්නේ මේ තත්ත්වයන්ට වගකිවයුතු පිරිමින් බොහෝ දෙනෙකු අවුරුදු 18 හෝ සම්පුර්ණ නොකළ දරුවන් බවය.

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා හා යොවුන් මනස පිලිබඳ ජේෂ්ඨ ලේඛකාදිකාරී වෛද්‍ය ඉෂානි ආරියචන්ද්‍ර විසින් පෙන්වා දෙන පරිදි “දරුවන් යෞවන අවධිය කරා පා නගන වයසේදී විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඔවුන් දක්වන ආකර්ෂණය ඉහල යාම, දරුවන් ජංගම දුරකථනය භාවිතා කිරීම හරහා පෙරට වඩා පහසුවෙන් ප්‍රේම සබඳතා වෙත යොමු විය හැකි වීම යනාදිය නිසා බහුතරයක් ගැහැණු දරුවන් සිය ජීවිතය වැරදි තැනකට යොමු කරවා ගන්නා අතර ගුරුවරුන් හා වැඩිහිටියන් මේ තත්ත්වය තේරුම් ගෙන ඒ ගැන වැඩි අවධානයකින් පසුවිය යුතු බවත්ය.”

දැරියක් නිසි වයස් සම්පුර්ණ නොකර ගැබ් ගැනීම ළමා මව්වරුන් ලෙස සරලව හැඳින්වුවද ගැහැණු දරුවෙකු අවුරුදු 20ට පෙර ගර්භණීභාවයට පත්වන්නට තරම් මානසිකව මෙන්ම ශාරීරිකවද සුදානම් නැති බවත්, එලෙස ගැබ්ගැනීම අවදානම් මෙන්ම ගැටළු ගණනාවක් උද්ගතකරන කාරණයක් බවට පත්වී ඇති බව වෛද්‍යවරු සඳහන් කරති.

කෙසේ නමුත් පවත්නා නීතියට අනුව ගැහැණු දැරිවියකගේ වයස අවුරුදු දහසයට අඩුවන අවස්තාවක ඇය කැමැත්තෙන් අන් අයෙකු හා ලිංගික සංසර්ගයේ යෙදුණද එය සැලකෙන්නේ ලිංගික අපයෝජනයකට ලක්වූ අවස්ථාවක් වශයෙනි. එමෙන්ම වයස වුරුදු 16 සම්පුර්ණ කළ පසු තවත් කෙනෙකු සමග කැමැත්තෙන් ලිංගිකව හැසිරීමට ගැහැණු දැරිවියකට නිත්‍යානුකූල අයිතියක් හිමිවුවද ඇයට නීතියෙන් විවාහ වන්නට අවසර ලැබෙන්නේ වයස අවුරුදු 18 සම්පුර්ණ වුවායින් පසුවය. මේ වයස් පරතර දෙක අතර නිර්මාණයවන සමාජ ගැටළු ගැන කාලයක පටන් බලධාරීන් විසින් සාකච්ඡා කළද ඊට තවමත් නිසි විසඳුම් ලැබී නොමැත.

Social Sharing
නවතම පුවත්