අගුණුකොළපැලැස්ස මහවැලි අධිකාරියේ සේවය ලබා ගැනීමට ගිය බටඅත, ගජමන්ගම, අංක 14 හා 14/1 යන ලිපින දෙකෙහි පදිංචි ඩබ්.කේ. සිරිපාල හා ඩබ්.කේ. සැමිනෝනා දෙපළට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් මේ වන විට හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත පැමිණිල්ලක් ලැබි ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා අවශ්‍ය මුලික පියවර මේ වන විට ආරම්භ කර ඇත.තමන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් බටඅත, ගජමන්ගම, අංක 14 ලිපිනයෙහි පදිංචි ඩබ්.කේ. සිරිපාල මෙලෙස අදහස් දැක්වීය.
“මා දැනට ඉහත ලිපිනයේ පදිංචිව සිටින අතර එම ඉඩමේම කොටසක මගේ අක්කත් පදිංචිව සිටියි. මා දැන් පදිංචි වී සිටින මෙම ඉඩමෙහි 1948 දී මගේ පියාට රජයෙන් ලැබුණු ඉඩමකි. මගේ පියා 1977 දීත් හා මව 1997දී මියගියා. පසුව මෙම ඉඩමේ මුල් අයිතිය සාදා ගැනීමට මමත් අක්කත් මහවැලි අධිකාරියට ගියා. නමුත් එම අවස්ථාවේ මහවැලි අධිකාරියේ අගුණුකොළපැලැස්ස කාර්යාලයෙන් පැවසුවේ, මේ ඉඩම් අපිට අයිති නැති බවයි. ඊට පස්සෙ අපි 2017 ඔක්තෝම්බර් මාසයේ අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් හා මහවැලි අධිකාරිය යන ආයතන දෙකෙන්ම මේ ඉඩමෙ මුල් අයිතිය ලබාදෙන ලෙස එක්වර ලිඛිතව ඉල්ලෙමු. ඒ අනුව මහවැලි අධිකාරිය එයට කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූ අතර අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එයට ප්‍රතිචාර දක්වමින් මා ඇතුළු මාගේ සියළු සහෝදරයන් ගෙන්නලා පරීක්ෂණයක් තියලා ඉඩමේ ඔප්පුව ලබා දීමට සැළසුම් කර තිබීයදී නින්දෙන් ඇහැරුණාක් මෙන් මහවැලි අධිකාරිය අගුණුකොළපැලැස්ස විසින් 2022 වර්ෂයේ මුල භාගයේදී අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලිඛිතව දන්වා තිබුණි.
මෙම ඉඩම් කොටස අයිති මහවැලි අධිකාරියට ඒ නිසා වහාම පරික්ෂණ හා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම නතර කරන ලෙසත් ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය විසින් අදාල ලිපි ගොනුව මහවැලියට ලිඛිතව භාර දීය. සියලු පරීක්ෂණ අවසන් වී ඉඩමට අදාල ඔප්පුව දෙන්න සූදානම් වනවිට මහවැලියේ අගුණුකොළපැලැස්ස කාර්යාලයේ නිලධාරින් මෙලෙස කටයුතු කළේය. මෙම නිලධාරීන් මෙය හිතා මතාම කල් මරවන්න තමයි මෙම ක්‍රියාව සිදු කළේ. මේකට ප්‍රධාන හේතුව වන්නේ මාගේ සහෝදරයෙක් වූ පියසේන යන අය මේ ඉඩම් කොටසේ මුල් අයිතිය අපට ලබාදීමට එරෙහි වී ඔහු විසින් මුල අයිතිය ඉල්ලා තිබුණා ද නමුත් ඒ වන විටත් ඔහුට මහවැලි ඉඩමක් තිබුණ නිසා දීර්ග පරික්ෂණයකින් අනතුරුව මෙම ඉඩම අපට ලැබෙන්න නියමිතවයි තිබුණේ. නමුත් දැන් ආයෙත් අපිට මේ ලැබෙන්න තිබුණු ඉඩමේ අයිතිය අහිමි වීමේ අවධානමක් තිබෙනවා. මේ ඉඩම ඉල්ලන මගේ එම සහෝදරයා වන පියසේනගේ බෑණා සේවය කරන්නේ මේ අගුණුකෙළපැලැස්ස මහවැලි අධිකාරී කාර්යාලයේමයි. මේ වන විට ඔහු විසින් මේ පරික්ෂණ ලිපි ගොනු වල ඇති ලියුම් පවා අස්ථාන ගත කර ඇති අතර ඒ විතරක් නෙමේ මේ පරික්ෂණ කටයුතු පවා දිනෙන් දින ප්‍රමාද කර ඇත. මම හා මගේ සහෝදරිය දැන් අවුරුදු 03ක් තිස්සේ ගමන්වාර 100කට වැඩිය ගියා මහවැලි කාර්යාල දෙකට මේ වැඩේ කරගන්න. නමුත් මේ වෙනකම් බැරි වුණා ඒ කටයුත්ත කරගන්න. හැමදාම මොකක් හරි කියලා අපිව හරවලා යවනවා. එක්කෝ ෆයිල් එක නැතිවී ඇති බව පවසනවා. එක්කෝ නිලධාරීන් නැති බව පවසනවා.එක්කෝ මොකක් හරි වචනයක ඉස්පිල්ලක් පාපිල්ලක් වැරිදියි. ඒක බලන්න ඕනි කියලා හරවාල යවනවා. මේ විදියට දැන් අවුරුදු 03ක් තිස්සේ මේ ඉඩමේ අයිතිය ලබා ගැනීමට අවස්ථාව නොදී අනෙකුත් නිලධාරීන් පවා නොමග යවමින් ඉන්නේ මගෙ එක් සහෝදරයෙකුගේ බෑණා කෙනෙකු වන මෙම අගුණුකොළපැලැස්ස මහවැලි අධිකාරී කාර්යාලයේ සේවය කරන නිලධාරියෙකුයි. මම මේ සිදුවීම දැන්විය යුතු නිලධාරීන් සියල්ලටම දැන්වූව ද එයින් පලක් වුණේ නෑ. බැරිම තැන තමයි නිතියේ හා මාධ්‍යයේ පිහිට පැතුවේ යැයි ඔහු අප සමඟ පැවසිය”.
සටහන- හම්බන්තොට තරංහ එල්. පටබැඳිගේ