කොළඹ මහ නගර සභාව හඳුනාගන්න

මාලිමාවෙන් හෙවත් ජාතික ජන බලවේගයෙන් කොළඹ පුරපති කරන්නට යන අපේක්ෂිකාව වන ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවට මන්ත්‍රීන් 113ක් පත්වන බව කියනවා. ඒ සියල්ලම තම පක්ෂයට ගන්නට කැමති බවත් කියනවා.

කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ආසන ගණන 113ක් නෙමෙයි. ආසන ගණන 119ක්.

ඒ වගේම, පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන්නේ කේවල සහ සමානුපාතික මිශ්‍ර ක්‍රමයකට. 25%ක කාන්තා නියෝජනයකුත් අනිවාර්යයි. මේ මැතිවරණ ක්‍රමය සකස් කරන ක්‍රියාවලියට 2015 වන විට පැවති ජනතා විමුක්ති පෙරමුණ නම් කුඩා පක්ෂයේ බලපෑමක් තිබුණ බව කියැවෙනවා. ඒ නිසා, මැතිවරණ ක්‍රමය සකස් කර තිබෙන්නේ දිනන පක්ෂයට වඩා පරදින පක්ෂයට වැඩි සාපේක්ෂ වාසියක් සැලසෙන ආකාරයටයි. 2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිරීක්ෂණය කළොත් මේ තත්වය දැකගත හැකියි. විශිෂ්ට ජයක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පළාත් පාලන ආයතනවල විශාල බහුතර ආසන සංඛ්‍යාවක් ලැබුණෙ නැහැ.

කොළඹ මහ නගර සභාවේ කොට්ඨාස ගණන 47ක්. කොළඹ හා තිඹිරිගස්යාය නම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක පුරා විහිදුණු කොළඹ නගර සභාව තුළ ලක්ෂ පහක පමණ ජනගහණයක් ජීවත් වෙනවා. තවත් ලක්ෂ දහයකට වඩා දිනපතා කොළඹ නගරයට ඇතුළු වන පිටවන බව වාර්තාවල දැක්වෙනවා. කොළඹ ශ්‍රී ලංකාවේ වානිජ අග නගරය වීම එයට හේතුවක්.

2021 අංක 11 දරණ පනත යටතේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව මගින් පාලනය වන හෙක්ටෙයාර් 269කින් සමන්විත කොළඹ වරාය නගරය හැර සමස්ත කොළඹම කොළඹ මහ නගර සභාව විසින් නියෝජනය කරනවා.

කොළඹ මහ නගර සභාවේ දේශපාලනය කොයි තරම් වැදගත්ද කියනවා නම්, රාජ්‍ය නායකයන් තුන්දෙනෙකුම ජාතික දේශපාලනයට පිවිස තිබෙන්නේ කොළඹ නගර සභාවෙන්. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස ඒ රාජ්‍ය නායකයන්.

කොළඹ මහ නගර සභාව, ධනේශ්වර ලිබරල් එක්සත් ජාතික පක්ෂයේ ආධිපත්‍යයට නතු වුණ සභාවක්. 1947දී පිහිටුවන ලද එහි බලය 1954දී සමසමාජ පක්ෂයට හිමි වුණා. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කොළඹ පුරපති පදවියට පත් වුණා. 2006දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුව ප්‍රතික්ෂේප වුණ නිසා එජාප සහාය ලද, කන්නාඩිය ලකුණ නියෝජනය කරන කණ්ඩායම ජයග්‍රහණය කර ත්‍රිරෝද රියදුරකු ලෙස කටයුතු කළ උවයිස් මොහමඩ් ඉමිටියාස් පුරපති ධූරයට පත් වුණා.

කොළඹ මහ නගර සභාවේ අවසන් පුරපතිනිය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ රෝසි සේනානායකයි. මේ වන විට එක්සත් ජාතික පක්ෂය බෙදී ගොස් සමගි ජන බලවේගය බලවත් වී තිබෙනවා.

පසුගිය මහ නගර සභාවේදී එක්සත් ජාතික පක්ෂයට ආසන 60ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 23ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 12ක්, එක්සත් ප්‍රගතිශීලී සන්ධානය (මනෝ ගනේෂන් නායකත්වය දෙන) ආසන 10ක්, ජනතා විමුක්ති පෙරමුණට ආසන 6ක්, ලංකා කම්කරු කොංග්‍රසයට එක් ආසනයක්, ස්වාධීන කණ්ඩායම් අංක 2 ආසන දෙකක්, එක්සත් සාම සන්ධානය ආසන දෙකක්, ශ්‍රී ලංකා ජාතික බලය ආසන එකක්, යහපාලනය සඳහා ජාතික පෙරමුණ ආසන එකක් සහ එක්සත් ජාතික නිදහස් පෙරමුණ ආසන එකක් ලෙස ආසන බෙදී ගියා.

කොළඹ නගරයේ මැතිවරණ කොට්ඨාස පහක් තිබෙනවා. එනම්, මැද කොළඹ, කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ නැගෙනහිර, කොළඹ බටහිර සහ බොරැල්ලයි. පසුගිය මහ මැතිවරණයේදී මෙම ආසන ජයග්‍රහණය කළේ ජාතික ජන බලවේගයයි.

අද වන විට දෙපාර්තමේන්තු 15 කින් සමන්විත කොළඹ මහ නගර සභාව ප්‍රධාන වශයෙන් මහජන සෞඛ්‍ය සහ රෝග නිවාරණ සේවා, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, මාර්ග නඩත්තුව, ඉඩම් සහ පාරිසරික සංවර්ධනය, වීදි ආලෝකකරණය, ජලය සහ ජලාපවහනය සහ පශු වෛද්‍ය සේවා වැනි සේවාවන් සැපයීම සඳහා වගකිව යුතුය. මේවාට අමතරව සමාජ සේවා, ක්‍රීඩා සහ විනෝදාස්වාදය, පුස්තකාල සේවා සහ මූල්‍ය, අනුපාත, ලේකම් සහ පුහුණු දෙපාර්තමේන්තු ආදී වශයෙන් අංශ ගණනාවක් තිබේ.

උපුටා ගැනීම – අජිත් පැරකුම් ජයසිංහ Praja.lk

Social Sharing
නවතම පුවත්