-අජිත් පැරකුම් ජයසිංහ-
තවමත් පොලිස්පති වන දේශබන්දු තෙන්නකෝන් ඉතාම නරක පොලිස් නිලධාරියකු ලෙස හඳුන්වනු ලැබේ. ඔහුගේ කාලය තුළ බොහෝ වැරදි ක්‍රියා සිදු කර ඇත. ඇතැම් වැරදි ඔහු ඍජුව මෙහෙයවා ඇත.
මීට කලින් සිටි පොලිස් නිලධාරීන් විසින් ද මෙවැනිම වැරදි කර ඇත. දේශබන්දු හා ඔවුන් අතර වෙනස දේශබන්දු අසු වීම පමණි.
දේශබන්දු පිටුපස රාජපක්ෂලාගේ, ටිරාන් අලස්ගේ මෙන්ම රනිල් වික්‍රමසිංහගේ ද දේශපාලනය ඇති බවට චෝදනා එල්ල වේ. වෙනත් පොලිස් ප්‍රධානීන් පසුපස ද දේශපාලනය තිබිණි. ඒ කාලවලදී එම දේශපාලනය ප්‍රශ්න නොකෙරුන මුත්, දැන් එය ප්‍රශ්න කිරීමට ලක්වන කාලයකි. වෙනස එයයි.
දේශබන්දු හොඳ නැත. අනෙක් අය ද දේශබන්දුට වඩා හොඳ නැත.
දේශබන්දු රනිල් වික්‍රමසිංහ ජනාධිපති කාලයේ ටිරාන් අලස් නායකත්වය දුන් මර්දනය වෙනුවෙන් කැප වූ අයෙකි. ලංකා ඉතිහාසයේ දුෂ්කරම අවධිය වූ රට බංකොලොත් වී තිබුණු සමයේ අරගලය නමින් දියත් වූ රාජ්‍ය විරෝධී කැරැල්ල මර්දනය කිරීම අවශ්‍ය විය. රනිල් ලංකාවේ පාලනය යළි ස්ථාපිත කළේ මර්දනය හරහාය. එහෙත්, එම මර්දනයේදී කිසිවකු ඝාතනයට ලක් නොවූ බව සිහිපත් කළ යුතුය. මහා පරිමාණ සිරගත කිරීම් සිදු වූයේ නැත. එපමණක් නොව, කැරැල්ලට සහභාගී වූ, නායකත්වය දුන්, ගෙවල් ගිනි තැබීම් වැනි අපරාධ සිදු කළ බොහෝ දෙනෙකුට පොදු සමාවක් ද ප්‍රායෝගිකව ක්‍රියාත්මක වේ.
දේශබන්දුට එරෙහිව ගේම සෙට් වෙන්නේ මෙම දේශපාලන සංදර්භය තුළයි. එහි පියවර රැසක් තිබිණි. දේශබන්දුගේ මානව හිමිකම් ප්‍රොෆයිලය හොඳ එකක් නොවීම ඔහුට ගේම දීමට පහසු විය. දේශබන්දුගේ පමණක් නොව, තවත් බොහෝ පොලිස් ප්‍රධානීන්ගේ ද මානව හිමිකම් ප්‍රොෆයිලය හොඳ නැති බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. දේශබන්දුගේ වෙනස අසු වී තිබීම පමණි.
කෙසේ වෙතත්, දේශබන්දුට ෂොට් එක දෙන එක හොඳය. හේතුව, පොලිසියේ වෘත්තිකභාවය ඉහළ නැංවිය යුතුය. පොලිසිය තම වගකීම ඉටු කළ යුතුය. එහෙත්, ක්‍රීස් එකෙන් එළියට පැන ගහනවා නම් ස්ටම්ප් වෙන බව දැනගත යුතුය. ඉස්සර ලෙග් අම්පයර් දේශපාලකයෙකි. ඔහු පොලිස් නිලධාරියා බේරා දුන්නේය. ටිරාන් අලස් එවැන්නෙකි. දැන් තවදුරටත් ඒ කතා නැත. දේශපාලකයා පොලිසියට රැකවරණය දෙන්නේ නැත.
ඒ නිසා පොලිස් නිලධාරීන් ටිංකිරි ගාගන්නට වැඩ කළ යුතු නැත. රාජකාරිය හරියට කළ යුතුය. වගකීම ඉටු කළ යුතුය. වැරදි කළොත් වගවෙන්නට සිදුවන බව සිහියේ තබාගත යුතුය. තව දුරටත් ඔබ ආරක්ෂා කරන දේශපාලනයක් නැති බව ආණ්ඩුව පෙන්වා දෙයි.
Praja.lk