පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ආකාරය ගැන ඔබ දැනගතයුතු ම කරුණු 6ක්

පළාත් පාලන මැතිවරණය 2025

වසර කිහිපයක් පුරා විවිධ හේතු නිසා කල් දැමුණු පළාත් පාලන මැතිවරණය මැයි 06 පැවැත්වීමට දින නියම කර තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධාන මැතිවරණ හතරෙන් දැනට වඩාත් සංකීර්ණ මැතිවරණ ක්‍රමයක් තිබෙන්නේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය තුළ ය.

2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත, 2016 අංක 1 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත හා 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත යන පනත්වල මෙම පළාත් පාලන මැතිවරණයට අදාල කරුණු සඳහන් වේ.

මහ නගර සභා 28ක් නගර සභා 36ක් ඇතුළු පළාත් පාලන ආයතන 336කට නියෝජිතයන් අසන්න වශයෙන් 8000කට වැඩි සංඛ්‍යාවක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී තෝරාගැනීමට නියමිත ය.

1 ක්‍රමවේදය කුමක් ද?

පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මක වන්නේ මිශ්‍ර සමානුපාතික ක්‍රමය අනුව ය.

යම් පළාත් පාලන බල ප්‍රදේශයක කොට්ඨාස මට්ටමින් සහ පොදු ලේඛනයකින් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම මිශ්‍ර සමානුපාතික ක්‍රමය ලෙස හැඳින්වේ.

ඒ අනුව කොට්ඨාස මට්ටමින් නියෝජිතයින් 60%ක් සහ සමානුපාතික පදනම යටතේ නියෝජිතයින් 40%ක් ද තෝරා ගැනෙයි.

සීමා නීර්ණය කොමිෂන් සභාව විසින් ජනගහණය, භූමි ප්‍රමාණය, ජනවාර්ගික පදනම යන කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් මේ වන විට දිවයිනේ සියළුම පළාත් පාලන ආයතන සඳහා අදාළ කොට්ඨාස මොනවාද යන්න පිළිබඳව තීරණය කර එම තීරණ 2015.08.21 දිනැති 1928/26 අංක දරන සහ 2017.02.17 දිනැති අංක 2006/44 දරන ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ දැක්වේ.

ඒ අනුව කේවල කොට්ඨාස සහ බහු කොට්ඨාස ලෙස පළාත් පාලන ආයතන බෙදා ඇති කොට්ඨාස වර්ග දෙකක් තිබේ.

කේවල සභික කොට්ඨාස 4750ක්, සභිකයන් දෙදෙනෙකුගෙන් සමන්විත බහු කොට්ඨාස 165ක් සහ සභිකයන් තිදෙනෙකුගෙන් සමන්විත බහු කොට්ඨාස 04ක් ඇත.

2 නාම යෝජනා පත්‍රයෙහි ඇතුළත් කළ යුතු දේවල් මොනවා ද?

ක්‍රම දෙකක් යටතේ මැතිවරණය පැවැත්වෙන නිසා ස්වාධීන කණ්ඩායම් හෝ පක්ෂ නාම යෝජනා පත්‍ර දෙකක් ලබා දිය යුතු ය.

පළාත් පාලන ආයතනයට කොට්ඨාස පදනමින් තෝරා පත් කර ගැනීමට නියමිත සභික සංඛ්‍යාවට සමාන අපේක්ෂකයන් සංඛ්‍යාවකගේ නම් පළමු නාම යෝජනා පත්‍රයේ ඇතුළත් විය යුතු ය.

පළාත් පාලන ආයතනයේ මුළු සභික සංඛ්‍යාවෙන් 40%ක සංඛ්‍යාව ගණනය කර ලැබෙන සංඛ්‍යාවට අමතර 03 ක් එකතු කිරීමෙන් ලැබෙන සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවකගේ නම් අපේක්ෂකයන් ලෙස අතිරේක නාම යෝජනා පත්‍රයට ඇතුලත් කළ යුතුවේ.

යම් ප්‍රාදේශීය සභාවක සමානුපාතික ව පත්වන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 10ක් නම් නාම යෝජනා පත්‍රයේ නම් 13ක් ඇතුළත් විය යුතු ය.

නාමයෝජනා පත්‍ර දෙකේම අපේක්ෂකයන්ගේ එකතුවෙන් 25%ට නොඅඩු සංඛ්‍යාවක් වයස 35ට අඩු තරුණයන් විය යුතු ය.

එවැනි අපේක්ෂකයන්ගේ වයස තහවුරු කිරීම සඳහා සාම විනිසුරුවරයෙකු හරහා ලබා දෙන දිවුරුම් පෙත්සමක් හෝ සහතික කළ උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් නාම යෝජනා සමග ලබා දිය යුතු ය.

කොට්ඨාස නාමයෝජනා පත්‍රයෙන් 10%කට නොඅඩු සංඛ්‍යාවක් සහ අතිරේක නාමයෝජනා පත්‍රයෙන් 50%කට නොඅඩු සංඛ්‍යාවකට සමාන කාන්තා අපේක්ෂිකාවන් සංඛ්‍යාවක් ද නාම යෝජනාපත්‍රවලට ඇතුළත් වීම අනිවාර්ය වේ.

3 ඡන්දය ලබා දෙන්නේ කොහොම ද?

පළාත් පාලන මැතිවරණයේ එක් එක් පළාත් පාලන ආයතනයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂ වල නම් සිංහල භාෂාවේ අකාරාදී පිළිවෙලින් ඡන්ද පත්‍රිකාවේ භාෂා ත්‍රිත්වයෙන් ම දැක්වෙන අතර, අතර ඊට පහළින් තරඟ කරන ස්වාධීන කණ්ඩායම් හා ඒවා හඳුනා ගැනීමට වෙන් කර දෙන ලද අංක ද සමග මුද්‍රණය කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ දැක්වේ.

ඡන්ද පත්‍රිකාවේ පක්ෂවල නම් සහ ස්වාධීන කණ්ඩායම්වල නම් ඉදිරියෙන් ඒවාට අනුමත ඡන්ද ලකුණු මුද්‍රණය කර එම ලකුණු වලට ඉදිරියෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හිස් කොටුවක් මුද්‍රණය කරනු ලබයි.

කොට්ඨාස යටතේ හා සමානුපාතික ලැයිස්තුව යටතේ ඔබේ කොට්ඨාසයෙන් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන අපේක්ෂකයින් කවුරුන් වන්නේ දැයි ඔබට දැනගැනීමට හැකි වන්නේ නිල ඡන්ද පත්‍රිකා සමග නිවසට ලැබෙන ගෘහ දැන්වීම මගින් ය.

එයින් ඔබ ඡන්දය ලබා දීමට කැමති නියෝජිතයාගේ පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම සහ ලකුණ ඉදිරියෙන් ඇති හිස් කොටුවේ කතිරයක් යෙදීමෙන් ඔබට ඔබගේ ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි ය.

4 ඔබේ ඡන්දයෙන් සභිකයන් පත්වෙන්නේ කොහොම ද?

යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් අදාල පළාත් පාලන ආයතනයේ මුළු සභික සංඛ්‍යාවෙන් 50% කට වඩා ජයග්‍රහණය කර ඇත්නම් එම දේශපාලන පක්ෂයේ ලේකම්වරයාට හෝ අදාළ ස්වාධීන කණ්ඩායමේ නායකයාට නගරාධිපති හෝ සභාපති ධූරයන් සඳහා පත්කිරීම සිදුකළ හැකි ය.

කේවල කොට්ඨාසයට අයත් සියළුම ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද ගණන් කිරීමෙන් පසු වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා ලද පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයා එම කොට්ඨාසයට අදාළ සභිකයා ලෙස තේරී පත් වේ.

බහු සභික කොට්ඨාසයක වැඩිම ඡන්ද ලබා ගන්නා දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම විසින් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන ලද දෙදෙනා හෝ තිදෙනා එම කොට්ඨාසයේ සභිකයන් ලෙස නම් කරනු ලබති.

5 සමානුපාතිකව හිමි ආසන සංඛ්‍යාව තීරණය කරන්නේ කොහොම ද?

පළමු ව පළාත් පාලන ආයතනයේ වලංගු මුළු ඡන්ද සංඛ්‍යාව එම ආයතනයේ මුළු සභික සංඛ්‍යාවෙන් බෙදා ‘තීරක අගය’ ලබා ගත යුතු ය.

ඉන්පසුව එක් එක් පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම ලබාගත් ඡන්ද සංඛ්‍යාව එම තීරක අගයෙන් බෙදූ විට ලැබෙන පිළිතුර එම පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමට හිමි විය යුතු මුළු අසන සංඛ්‍යාව වේ.

එම මුළු අසන සංඛ්‍යාවෙන් එම පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම කොට්ඨාස මට්ටමින් හිමි කරගෙන ඇති අසන සංඛ්‍යාව අඩු කළ විට ලැබෙන පිළිතුරට සමාන අගයක් සමානුපාතික ක්‍රමවේදය යටතේ පත් කිරීමට ඔවුන්ට අවස්ථාව හිමි වේ.

පහත උදාහරණය දෙස බලන්න.

B නම් දේශපාලන පක්ෂය ලැබූ මුළු ඡන්ද සංඛ්‍යාව තීරක අගයෙන් බෙදූ විට ඔවුන්ට ආසන 15ක් හිමි විය යුතු ය. ඔවුන් මේ වන විටත් කොට්ඨාස මට්ටමින් ආසන 10ක් ජයග්‍රහණය කර තිබේ. එම නිසා ඔවුන්ට ඉතිරි ආසන 5 සඳහා අතිරේක නම යෝජනා ලැයිස්තුවෙන් 5 දෙනෙකු පත් කරගැනීමට හැකි ය.

එම පළාත් පාලන ආයතනයට ම තරග කළ X නම් ස්වාධීන කණ්ඩායමට හිමි මුළු ආසන සංඛ්‍යාව 10ක් නම් හා ඔවුන් කොට්ඨාස මට්ටමින් හිමි කරගෙන ඇත්තේ ආසන 5ක් නම් ඔවුන්ට අතිරේක නාම යෝජනා ලැයිස්තුවෙන් 10 දෙනෙකු පත් කරගැනීමට හැකි ය.

6 25%ක් කාන්තා සභිකයන් පත් කිරීම

පළමුව, පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ තරග කරන ලද සියළුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතරින් මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 20% කට වඩා අඩුවෙන් ඡන්ද ලබාගත් සහ සභිකයන් තිදෙනෙකු හෝ ඊට අඩුවෙන් ලබා ගත් පක්ෂ වල ඡන්ද ප්‍රමාණයන් ඉවත් කොට ඉතුරු ඡන්ද ප්‍රමාණය ගණනය කරයි.

ඉන්පසුව, එම ඡන්ද සංඛ්‍යාව අදාල පළාත් පාලන ආයතනය සඳහා තේරී පත් විය යුතු අවම කාන්තා මන්ත්‍රීධූර සංඛ්‍යාවෙන් (25% ක සභික සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවෙන්) බෙදීමෙන් පසු ලැබෙන අගය ගණනය කරයි.

අවසානයේදී එම අගයෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව බෙදීමෙන් එක් එක් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් පත් කළ යුතු කාන්තා සභික සංඛ්‍යාව තීරණය කරනු ලබයි.

BBC සිංහල

Social Sharing
අවකාශය පුවත්