යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් ලබන මස අගදී මෙරටට

යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් ලබන මස අගදී මෙරටට පැමිණීමට නියමිතව ඇත. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) ඉවත් කිරීම සහ නව මාර්ගෝපදේශයන්ට අනුව ජීඑස්පී ප්ලස් (GSP+) සඳහා සුදුසුකම් ලැබීමට අන්තර්ජාල ආරක්ෂණ පනත සංශෝධනය කිරීම ඇතුළු වගකීම් ඉටුකිරීම රජය විසින් කළ යුතු අතර පීඩනයකට ලක්ව සිටින දූෂණ විරෝධී ක්‍රියාමාර්ග වැඩිදියුණු කිරීම ද රජයේ වගකීමකී.

යුරෝපා සංගමය 2027 සිට GSP+ ප්‍රතිලාභී සඳහා සුදුසුකම් ලබන රටවල් සඳහා වන නිර්ණායක සංශෝධනය කරනු ලබයි. GSP+ යනු තිරසාර සංවර්ධනය සහ යහපාලනය සඳහා වූ විශේෂ දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් වේ. වත්මන් ක්‍රමයට අනුකූලව ශ්‍රම හා මානව හිමිකම්, පාරිසරික සහ දේශගුණ ආරක්ෂණය සහ යහපාලනය සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් ක්‍රියාත්මක කරන, අවදානමට ලක්විය හැකි අඩු සහ පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා GSP+ තීරුබදු බිංදුව දක්වා අඩුකර තිබේ.

මූලාශ්‍රවලට අනුව පාරිසරික හා යහපාලන සම්මුතීන් ඇතුළු සියල්ලේ මූලධර්මවලට අනුකූල වීම ප්‍රතිලාභීන් සඳහා අනිවාර්ය වේ. එමෙන්ම, වගකීම් ඉටු නොකළහොත් පහසුකම ඉක්මණින් ඉවත්කර ගැනීමක් සිදුවන අතර ඒ සඳහා ද ක්‍රියාපටිපාටියක් පවතී.

GSP+ ප්‍රතිලාභීන් සඳහා, අලුතින් එකතු කරන ලද සම්මුතීන් අනුමත කිරීම සඳහා වසර දෙකක සංක්‍රාන්ති කාලයක් ලබාදෙන අතර සියලුම සම්මුතීන් පද්ධතියට ඇතුළත් කිරීම සඳහා සවිස්තරාත්මක ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට සිදුවේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එහි වර්තමාන ස්වරූපයෙන් පිළිගත නොහැකි බව යුරෝපා සංගමය දැනටමත් ශ්‍රී ලංකාවට දන්වා ඇත. නව ක්‍රමය තුළ දූෂණය සහ අල්ලස වැළැක්වීමේ අර්ථවත් ක්‍රියාමාර්ග හඳුන්වාදීම සහ විශ්වාසදායක විනිවිද පෙනෙන මහජන ටෙන්ඩර් පටිපාටියක් ක්‍රියාත්මක කිරීම වැදගත් භාවය ඉස්මතු කරයි.

ශ්‍රී ලංකාවට වරක් GSP+ සහනය අහිමි වූ අතර එය නැවත මෙරටට ලැබුණේ 2017 දී වන අතර එම සහනය නැවත මෙරටට ලැබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු වීමත් සමඟය.

 

Social Sharing
ආර්ථික නවතම පුවත්