කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන ආකරායට අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.
ඒ අනුව 2023 වසරේ ජූලි පළමු දා සිට ක්‍රියාත්මක කරනු ලබන, අංක 2415/66 හා 2024-12-21 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් මෙම යෝජනා ක්‍රමය අවසාන වරට සංශෝධනය කර ඇත.
2025 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන තුළ දැනට බලපවත්නා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන ප්‍රතිලාභ සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මෙලෙස හිමිවී ඇත.
එම සංශෝධනයන් ලෙස අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ I වන උපලේඛනයේ අඩංගු සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ හිමිවන කාලපරිච්ඡේදය මෙම වසරේ අප්‍රේල්මස 30 දක්වා දීර්ඝ කිරීම.
එකී යෝජනා ක්‍රමයේ II වන උපලේඛනයේ අඩංගු ආබාධ සහිත තැනැත්තන් සඳහා පිරිනමනු ලබන මාසික ආධාර මුදල සහ වකුගඩු ආධාර ලබන තැනැත්තන් සඳහා පිරිනමන මාසික ආධාර මුදල රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීමත් සහ වැඩිහිටි තැනැත්තන් සඳහා පිරිනමනු ලබන මාසික ආධාර මුදල රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා ඉහළ නැංවීම සහ එම තීරණය 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වනු ඇත.
II වන උපලේඛනයේ දැක්වෙන ආධාර ලබන ආබාධ සහිත තැනැත්තන් සඳහා දීමනාව, වකුගඩු රෝගී තැනැත්තන් සඳහා වන දීමනාව සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වන දීමනාව ඉහත යෝජනාවලට යටත්ව, ගෙවීම් කාලසීමාව මෙම වසරේ දෙසැම්බර් මස 31 දක්වා දීර්ඝ කර ඇත.
එමෙන්ම 2025 අප්‍රේල් මාසයෙන් පසු සංක්‍රාන්තික සමාජ කාණ්ඩය යටතේ දීමනා ගෙවීම නතර වුවත්, එම පවුල්වල සිටින ආබාධ සහිත තැනැත්තන්, වකුගඩු රෝගීන් සහ වැඩිහිටි පුද්ගලයින් සඳහා පිරිනමනු ලබන ප්‍රතිලාභ දීමනා ගෙවීම් කාලසීමාව මෙම වසරේ දෙසැම්බර් මස 31 දින දක්වා දීර්ඝ කර ඇත.
අවසාන වශයෙන් අලුතින් ඉදිරිපත් වී ඇති ආබාධ සහිත තැනැත්තන් සහ වකුගඩු රෝගීන්ගේ අයදුම්පත් උපරිම සීමාවට යටත්ව, ඇතුළත් කර ගනිමින් සුදුසුකම් ලබන්නන්ට මෙම වසරේ දෙසැම්බර් මස 31 දින දක්වා අදාළ දීමනා ගෙවීම යන සංශෝධනයන් සිදු වී ඇත.
එමෙන්ම අඩු ආදායම්ලාභී වයස අවුරුදු 70ට වැඩි ප්‍රතිලාභීන්ට රජය විසින් ලබා දෙන රුපියල් 3,000ක වැඩිහිටි දීමනාව 2024 වර්ෂයේ නොවැම්බර් මස සිට හිඟ දීමනා ද සහිතව ගෙවීමට ද රජය තීරණය කර ඇත. ඒ අනුව වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, චතුර මිහිදුම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මාර්තු මස 20 වනදා සිට අදාළ ගෙවීම් සිදු කිරීමට කටයතු කරන බවයි.
මෙම දීමනාව සුබසධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ස්ලිප් ක්‍රමය මඟින් ඍජුවම ප්‍රතිලාභලාභී වැඩිහිටියන්ට අස්වැසුම් ගිණුම්වලටම ගිණුම් ගත කිරීමට නියමිත වී ඇත. ඒ අනුව මෙතෙක් දීමනාව ලබමින් සිටි අස්වැසුම නොලබන පවුල්හි වැඩිහිටියන්ට පමණක් තැපැල්, උප තැපැල් කාර්යාල මගින් හිඟ දීමනා ද සහිතව මෙම මස 20 දින සිට ගෙවීම් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවට එතුමා වැඩිදුරටත් පවසා ඇත.