අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය එරටට සංචාර සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා නව තහනමක් පැනවීමට උත්සහකරන බවට වාර්තා වන අතර ඒ අනුව රටවල් 43 ක පුරවැසියන් ඉලක්ක කිරීම සළකා බලමින් සිටින බව විදෙස් ජනමාධ්‍ය සඳහන් කරන අතර එය ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය තුළ පනවා ඇති සීමාවන්ට වඩා පුළුල් වනු ඇති බව මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.
ඒ සඳහා රාජ්‍යතාන්ත්‍රික සහ ආරක්ෂක නිලධාරීන් විසින් සකස් කරන ලද නිර්දේශවල කෙටුම්පත් ලැයිස්තුවක් මගින් යෝජනා කරන්නේ, පුරවැසියන්ට එක්සත් ජනපදයට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් කරන රටවල් 11 ක ‘රතු ලැයිස්තුවක්’ සකස් කරන බවත් එම රටවල් අතරට ඇෆ්ගනිස්ථානය, භූතානය, කියුබාව, ඉරානය, ලිබියාව, උතුරු කොරියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව, වෙනිසියුලාව සහ යේමනය අයත් බවයි.
සති කිහිපයකට පෙර මෙම ලැයිස්තුව රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඇති බවත්, එය ධවල මන්දිරයට යොමුවූ විට වෙනස්කම් සිදුවිය හැකි බවත් වාර්තා වේ. එමෙන්ම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, තානාපති කාර්යාලවල සහ ප්‍රාදේශීය කාර්යාංශයේ නිලධාරීන් සහ අනෙකුත් දෙපාර්තමේන්තු සහ බුද්ධි අංශවල ආරක්ෂක විශේෂඥයෝ කෙටුම්පත සමාලෝචනය කරමින් සිටිති.
ඔවුන් යම් යම් රටවල් සම්බන්ධයෙන් අඩුපාඩු පිළිබඳ විස්තර නිවැරදිද යන්න හෝ ප්‍රතිපත්තිමය හේතු තිබේද යන්න ගැන අදහස් ඉදිරිපත් කරන අතර වෙනත් ප්‍රමුඛතාවයක් මත සහයෝගීතාවයට බාධා නොකිරීම වැනි කරුණු ඇතුළුව ඇතැම් රටවල් සම්බන්ධයෙන් නැවත සළකා බැලීමට නියමිතය.
සංචාර සීමා කෙරෙන නමුත් කපා නොහරින රටවල් 10 ක ‘තැඹිලි ලැයිස්තුවක්’ ද කෙටුම්පත් යෝජනාවට ඇතුළත් වී ඇති අතර එම රටවල ධනවත් ව්‍යාපාරික සංචාරකයන්ට සිය රටට ඇතුළු වීමට ට්‍රම්ප් අවසර ලබා දෙනු ඇත. එහෙත් සංක්‍රමණ හෝ සංචාරක වීසා මත ගමන් කරන පුද්ගලයන්ට අමෙරිකාවට ඇතුළුවීමට අවසර හිමි නොවන අතර එම ලැයිස්තුවේ සිටින පුරවැසියන් වීසා බලපත්‍රයක් ලබාගැනීම සඳහා අනිවාර්ය පුද්ගල සම්මුඛ පරීක්ෂණවලට ද යටත් වීමට සිදු වනු ඇත. ඒ අනුව එම රටවල් වශයෙන් බෙලාරුස්, එරිත්‍රියාව, හයිටි, ලාඕසය, මියන්මාරය, පකිස්ථානය, රුසියාව, සියරා ලියොන්, දකුණු සුඩානය සහ ටර්ක්මෙනිස්තානය ඇතුළත් වේ.