‘වොයිස් ඔෆ් අමෙරිකා’ වසා දැමීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

අමෙරිකාවේ පැරණිතම සහ විශාලතම අන්තර්ජාතික ජනමාධ්‍ය ආයතනය වන ‘වොයිස් ඔෆ් අමෙරිකා’ (Voice of America) ජනමාධ්‍ය ජාලය වසාදැමීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇති බවට වාර්තා වේ. මෙලෙස අත්සන් තබා ඇත්තේ ට්‍රම්ප් විරෝධී රැඩිකල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා කරමින් ය.

වොයිස් ඔෆ් අමෙරිකා මාධ්‍ය ජාලය දෙවැනි ලෝක යුද සමයේ 1942 වසරේදී ආරම්භ වන්නේ, නාසි සහ ජපන් ප්‍රචාරණ වලට එරෙහි විකාශන ජාලයක් ලෙසින්‍ ය.

BBC මාධ්‍ය ජාලයෙන් කුලී පදනම මත ලබාගත් සම්ප්‍රේෂණ උපාංග ඔස්සේ එහි විකාශය කටයුතු ආරම්භ වී ඇති අතර මේ වනවිට ලොව පුරා භාෂා 48 කින් එහි විකාශන ජාලය ව්‍යාප්තව ඇත්තේ, ගුවන් විදුලි, රූපවාහිනී සහ ඩිජිටල් යන සියලු විද්‍යුත් ජනමාධ්‍ය ජාලා ඔස්සේය.

ඒ වටා දෛනිකව රොක්ව සිටින ගෝලීය ප්‍රේක්ෂක සහ ශ්‍රාවක ප්‍රජාව, මිලියන 361 ඉක්මවන අතර Voice of America ජනමාධ්‍ය ජාලය රාජ්‍ය ජනමාධ්‍ය ආයතනයක් බවට පත්කිරීමේ විධායක නියෝගයට 1976 වසරේදී අත්සන් තැබුවේ, එවක හිටපු ජනාධිපති ජෙරල්ඩ් ෆෝඩ් විසිනි. එතැන් සිට එය පාලනය වන්නේ, අමෙරිකානු ආණ්ඩුවේ ෆෙඩරල් අරමුදල් ඔස්සේය.

වාර්ෂික අයවැයෙන් ඒ සඳහා වෙන්කෙරෙන මුදල, අමෙරිකානු ඩොලර් මිලියන 267 කට අධිකය. ජනාධිපතිවරයා උපදේශකයකු වන එලෝන් මස්ක් Voice of America වසා දමන්නැයි සිය x ගිණුමෙන් පසුගියදා ඉල්ලීමක් ද කර තිබූ අතර ජනාධිපතිවරයා එය වසාදැමීමට තීරණය කිරීමත් සමග එහි සේවය කළ 1300 ක් පමණ වූ සේවක පිරිසට වැටුප් රහිත නිවාඩු දී තිබේ.

අමෙරිකාවේ පැරණිතම අන්තර්ජාතික ජනමාධ්‍ය ජාලයක් එලෙස වසාදැමීමට තීරණය කිරීම හරහා ට්‍රම්ප් ආණ්ඩුවේ ජනමාධ්‍ය මර්දනකාරී වැඩපිළිවෙළ මනාව පිළිබිඹු වන බව, බොහෝ විචාරකයන් පවසන අතර අන්තර්ජාතික ජනමාධ්‍ය සංවිධාන පෙන්වා දෙන්නේ, එය ජනමාධ්‍ය නිදහසට එල්ල කළ බරපතළ පහරක් බවයි.

Social Sharing
පුවත් විදෙස්